සරසවි දරුවන්ගේ අනාගතය විනාශ කරන්න දෙන්න බෑ | දිනමිණ

සරසවි දරුවන්ගේ අනාගතය විනාශ කරන්න දෙන්න බෑ

නවක වදයට දැඩි දඬුවම්

නවක වදයට දැඩි දඬුවම් ලබාදීමේ නීති ක්‍රියාත්මක කරන බව ජනපති පවසයි.

නවක වදය වැළැක්වීම පිළිබඳ පනත නිසි ලෙස ක්‍රියාත්මක කරමින්, නවක වදයට සම්බන්ධ වන පිරිස් වෙත දැඩි දඬුවම් ලබාදීමේ නීති ඉදිරියේ දී ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

විශ්වවිද්‍යාල දරුවන්ගේ අනාගතය විනාශ කරන එම වැඩපිළිවෙළට ඉඩ තැබිය නොහැකි අතර, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් ද ඉදිරියේ දී රජය විශේෂ වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ඉදිකිරීමට යෝජිත පොලොන්නරුව ජාතික වෘත්තීය පුහුණු ආයතනය සඳහා මුල් ගල් තැබීමේ අවස්ථාවට ඊයේ (07) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහි දී අදහස් දැක් වූ ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ විශ්වවිද්‍යාල වරම් ලැබුව ද නවක වදය හේතුවෙන් පසුගිය කාලය තුළ විශ්විවද්‍යාලවලට ඇතුළත් නොවූ සිසුන්ගේ සංඛ්‍යාව 1500 කට වැඩි බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන බවයි. එමෙන්ම පසුගිය වසර 25 තුළ නවක වදය හේතුවෙන් මිය ගිය සිසුන් සංඛ්‍යාව 25 කට ආසන්න බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉන් මානසිකව මෙන්ම ශාරීරිකව ද පීඩාවට පත් වූ පිරිස දහස් ගණනක් බව කියා සිටියේය.

සුළු පිරිසකගේ මෙවන් ම්ලේච්ඡ ක්‍රියාකාරකම් හේතුවෙන් බහුතරයක් දරුවන්ගේ අනාගතය විනාශවීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. අද ඇතැම් දේශපාලන කණ්ඩායම් විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බිලිගෙන තිබෙන අතර, රට භාර ගැනීමට සිටින දරු පරපුර අතර ම්ලේච්ඡත්වය පැතිරවීමට දරන එම උත්සාහයන් පරාජය කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහි දී වැඩි දුරටත් කියා සිටියේය.

එමෙන්ම පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳ ද අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටියේ ලෝකයත් සමඟ ඉදිරියට යන රටක් ලෙස මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ සඳහා ඇතැම් අවස්ථාවල දී අධ්‍යාපන විශේෂඥයන් තවමත් සුදානම් නොමැති තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බවයි. ජනප්‍රිය යැයි සැලකෙන ඇතැම් පාසල් සඳහා වාර්ෂිකව අධික සිසුන් පිරිසක් ඇතුළත් කර ගැනීම පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිරිහීමට එක් හේතුවක් වී තිබෙන බව මෙහි දී සඳහන් කළ ජනාධිපතිවරයා මෙවන් අභියෝගකාරී තත්ත්වයන් පිළිබඳ වගකිවයුතු පිරිස්වල අවධානය නිසි කලට යොමුවීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

වෘත්තීය අධ්‍යාපනයේ තිබෙන සාම්ප්‍රදායික තත්ත්වයන් වෙනස් කරමින් අලුත් ලෝකය සහ නවීන තාක්ෂණය සමඟ එය යාවත්කාලීනවීමේ වැදගත්කම ද පැහැදිළි කළ ජනාධිපතිවරයා ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට, තාක්ෂණික හා කර්මාන්ත ක්ෂේත්‍රවලට අවශ්‍ය වෘත්තීය කුසලතා සපිරි දක්ෂ තරුණ තරුණියන් පිරිසක් මෙන්ම විදෙස් රැකියා වෙළෙඳ පොළ ඉලක්ක කරගත් පුහුණු ශ්‍රම බළකායක් නිර්මාණය කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

නවීන තාක්ෂණික පහසුකම් සහිත පොළොන්නරුව නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පොළොන්නරුව, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය පාරේ, දොර දෙක ප්‍රදේශයේ පිහිටි අක්කර 17ක භූමි භාගයක ඉදිකෙරෙන අතර, වැය කෙරෙන මුදල රුපියල් මිලියන 6500 කි. නෙදර්ලන්ත රජය ඊට ණය පහසුකම් සපයයි. නවීන තාක්ෂණික පහසුකම් සහිත මේ පුහුණු ආයතනය මඟින් ජාතික වෘත්තීය සුදුසුකම් 4 හා 5 වන මට්ටමේ තාක්ෂණික ශිල්පීන් හා ඩිප්ලෝමාධාරින් 1325ක් සඳහා වාර්ෂිකව පූර්ණ කාලීන පාඨාමාලා පුහුණුව ලබාදීමටත් ඊට අමතරව රැකියාවේ නියුතු වෘත්තිකයන් සඳහා තාක්ෂණික දැනුම යාවත්කාලීන කිරීමේ අර්ධකාලීන පාඨාමාල පැවැත්වීමටත් යෝජිතයි. එමෙන්ම ඉදිකිරීම්, මෝටර් තාක්ෂණය, විද්යුත් යාන්ත්‍රික, ආගන්තුක සත්කාර හා සංචාරක, කෘෂිකර්මික යන ක්ෂේත්‍ර යටතේ පුහුණු පාසල් 05ක් ආරම්භ කර ඒවායේ නවීන තාක්ෂණික පහසුකම් සහිත පූර්ණකාලීන වෘත්තීය පාඨාමාලා 34ක් පවත්වාගෙන යාමට ද නියමිතය. අදාළ ඉදිකිරීම් වසර 03 කින් නිමකර 2022 ජනවාරි මස සිට පුහුණු කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කළ ජනාධිපතිවරයා එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. නිපුණතා සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය එළි දැක්වුණේ ද ජනාධිපතිවරයා අතිනි.

ඇමැති සරත් අමුණුගම, නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති රවී ජයවර්ධන, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න යන මහත්වරුන් ද නෙදර්ලන්ත තානාපතිනි Joanne Dloornewaard මහත්මිය ඇතුළු ආරාධිත පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න