ගෝඨා ඇතුළු සැකකරුවන්ට විශේෂ මහාධිකරණයෙන් සිතාසි | දිනමිණ

ගෝඨා ඇතුළු සැකකරුවන්ට විශේෂ මහාධිකරණයෙන් සිතාසි

සිරන්ජනි කුමාරි

මිලියන 81ක් වැය කරමින් වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මිලියන 49ක මුදලක් සපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද සිදු කිරීමේ චෝදනාව ඇතුළු පොදු දේපළ විෂයෙහිලා සිදු කරන වැරැදි සම්බන්ධයෙන් චෝදනා ලද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් කිහිපදෙනකුට මේ මස 10 වැනි දින ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩුවේ නඩු කටයුතු ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (7) අවසන් කළේය.

සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බැවින් මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ නඩු කටයුතු අවසන් කරන ලෙසට නීතිපතිවරයා විසින් අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීම සලකා මහෙස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය.

සිද්ධියට අදාළ නඩු ගොනුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත යොමු කර ඇති බවත් සැකකරුවන් වෙත මේ මස 10 වැනි දින එම අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් අධිකරණය විසින් නිකුත් කළ නොතිසි භාර දී අවසන් බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

වැඩි දුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේ නො.2, පැගිරිවත්ත මාවත, මිරිහාන, නුගේ‍ගොඩ පදිංචි හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, නො. 68, අළුබෝගහවත්ත ඇන්ඩසන් පාර, දෙහිවල පදිංචි ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියනආරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, නො 82/23 වික්‍රමසිංහපුර, බත්තරමුල්ල පදිංචි ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සමාන්‍යධිකාරි ගමඇතිරාළලාගේ භද්‍රා උදුලාවතී කමලදාස, නො 109, පස්වන පටුමඟ, කොළඹ 5 පදිංචි, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් වන සුදම්මික කේමින්ද ආටිගල, නො 26/19 එමරල්පාර්ක් සමරකෝන් මාවත, පිළියන්දල පදිංචි සමන් කුමාර අබ්‍රහම් ගලප්පත්ති, නො 26/2 ජයවර්ධන මාවත, මහාබෝධිපාර, කඩවත පදිංචි මාරුක්කු දේවගේ මහින්ද සාලිය, නො 3 ශ්‍රී ජයවර්ධනපුර වැලිකඩ රාජගිරිය පදිංචි මදම්පෙරුම ආරච්චිලා‍ගේ ශ්‍රීමතී මල්ලිකා කුමාරි සේනාධීර යන සැකකරුවන් වෙත ඉකුත් 10 වැනි දින කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් නොතිසි නිකුත් කර ඇත.

නව අදහස දක්වන්න