කෝටි 600ක වියදමින් කි.මී. 7000ක විදුලි වැටක් | දිනමිණ

කෝටි 600ක වියදමින් කි.මී. 7000ක විදුලි වැටක්

විජයානි එදිරිසිංහ

වසර තිස්පහකට වැඩි කාලයක් තිස්සේ කිසිදු විසඳුමක් නිසියාකාරව නොලැබුණ අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබා දෙමින් වනයේ සිටින හත්දහසක් පමණ වූ අලි ඇතුන්ගේ ආරක්ෂාවත් අලි ගැටුමට ලක්වන ගම් වැසියන්ගේ ආරක්ෂාවත් වෙනුවෙන් රුපියල් කෝටි හයසියයකට අධික වියදමකින් වසරක් වැනි කෙටි කාලයක් තුළ කිලෝ මිටර් හත්දහසක් පුරා ස්ථිර විදුලි වැටක් සමඟ තවත් ආරක්ෂක පියවරවල් රැසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

එහි දී සිවිල් ආරක්ෂක බළකායෙන් තුන්දහසක පිරිසක් සහ තවත් තුන්දහසක පිරිසක් අලුතින් බඳවා ගැනීමටත් ඔවුන්ට අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි ලබා දීමටත් පියවර ගෙන ඇති බව පවසන ඇමැතිවරයා මෙසේ ගිනි අවි ලබා දෙන්නේ අලින්ට හෝ මිනිසුන්ට වෙඩි තැබීමට නොව වෙනත් ආරක්ෂක පියවර වශයෙන් බව ද කියා සිටියේය.

වනජීවී කටයුතු හා සැසදීමේ දී අංක එකට එනම් සියයට අනූවක් ලබා දී ඇත්තේ මේ අලි මිනිස් ගැටුම විසඳීමට බව ප්‍රාදේශීය සංවර්ධන සහ වනජීවී ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ‍‍ෆොන්සේකා මහතා පවසයි. මේ සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු පැහැදිලි කිරීමට ඊයේ විශේෂයෙන් මාධ්‍ය හමුවක් පවත්වා ඇමැතිවරයා මේ සැළසුමට අදාළ කරුණු පැහැදිලි කළේ්ය. මේ සැළසුමට කැබිනට් අනුමැතිය ද ලැබී ඇත.

අලි මිනිස් ගැටුමෙන් ගිය වසරේ අලි 270ක් මිය ගොස් මිනිසුන් 85 දෙනකුද මිය ගොස් තිබේ. 1985 වන විට රටපුරා අලි දෙදහස් පන්සියයක් සිට ඇත. මේ වසර වන විට ගණන් කරන ලද අලි හයදහසක් සිටින අතර, ගණන් නොකරන ලද අලිත් සමඟ හත්දහසක් පමණ සිටියි. අලි මියයාමේ හේතු මත සියයට හැත්තෑපහක් අලි මිය යන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා බව ද හඳුනාගෙන ඇත. අලින් නිසා කෟෂිකර්මාන්තය සියයට විසිපහක පමණ හානි සිදුවෙයි. මේ වන විට මෙය ජාතික ප්‍රශ්නයක් බවට පත්වී ඇති බව පවසන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එම ගැටලුවට ස්ථිර විසඳුමක් දීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සම්පුර්ණ අවධානය යොමු කර ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව ද කියයි.

අලින්ට සහ මිනිසුන්ට එකට ජීවත්විය නොහැකියි. දෙගොල්ලම වෙන වෙනම ජීවත්විය යුතු වන බැවින් ඒ සඳහා මේ වකවානුව තුළ ස්ථිර විසඳුමක් දීම අත්‍යවශ්‍ය බව ද පවසයි.

මේ සඳහා අවශ්‍ය මුදල් රජයට බරක් නොවී සිදු කිරීමටත් තවත් මුදල් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ලැබෙන බවත් පැවැසේ.

දැනට ඇති අලි විදුලි වැට කිසිසේත් නඩත්තු කර නොමැත. මේ අලිවැට ඉදිකිරීමේදී ගම් වදින අලි එක්දහස් පන්සියයක පමණ පිරිසක් කැලයට තල්ලු කරනු ලබයි. එහි දී ඔවුන්ට අවශ්‍ය භුමිය තීරණය කර ඔවුන්ට හිමිව තිබූ මිනිසුන් විසින් අත්පත් කරගෙන ඇති ප්‍රදේශ යළි රක්ෂිත තුළට කර අලි වැට ඉදිකිරීම සහ නිවෙස් හදාගෙන සිටින පිරිසට වෙනත් ප්‍රදේශවලින් ඉඩම් ලබා දෙනවා ද යන්න තීරණය කිරීම පිණිස වනජීවී, මහවැලි‍ ප්‍රාදේශීය ලේකම් ඉඩම් වාර්මාර්ග ගොවි ජන සේවා ඇතුළු විවිධ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් හරහා තීරණය කරන බව ද පවසයි.

මේ අතර මිනී මරණ අලි සියයක් පමණ රක්ෂිත තුළ සිටින බව හඳුනාගෙන ඇත. මේ අලි හොරොව්පතාන විශේෂ රක්ෂිතයට ගෙන ගොස් දැමීම ද සිදු කරනු ලබයි.

මේ අතර රක්ෂිත තුළට කොටුවන අලින්ගේ ආහාර ප්‍රශ්නය වෙනුවෙන් රක්ෂිත තුළ තෘණ භූමි ඇති කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා අක්කර තුන්දහසක පමණ ප්‍රදේශයක් හඳුනාගෙන ඇත. රක්ෂිත තුළ වැව් ඇළ දොළ ඇතුළු සියලුම ජලාශ අලුත්වැඩියා කිරීමද මේ නව වැඩ පිළිවෙළ යටතේ සිදුවෙයි.

මේ අලිවැට ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවා කිසිදු දූෂිත ක්‍රියාවලියක් සිදු වීමට ඉඩ නොතබා ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා කියා සිටියේය.


නව අදහස දක්වන්න