පො‍හොර සහනාධාරය ලබාදීම ඇරැඹේ | දිනමිණ

පො‍හොර සහනාධාරය ලබාදීම ඇරැඹේ

අසේල කුරුළුවංශ

රජය විසින් ගොවි ජනතාව ලබාදෙන පොහොර සහනාධාර වැඩපිළිවෙළ යටතේ 2018 මහ කන්නය සඳහා සහනාධාර වශයෙන් පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ a (07) සිට ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇත.

2018 මහ කන්නයේ පොහොර නිකුත් කිරීම පිළිබඳ 2/2018 නව චක්‍රලේඛය සම්බන්ධයෙන් සියලුම කෘෂි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ වැඩමුළුවට ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලංකා පොහොර සමාගම, කොමර්ෂල් පොහොර සමාගම ඇතුළු සියලුම අංශ නියෝජනය කරන නිලධාරීහු සහභාගි වූහ.

2015 වත්මන් රජය ආණ්ඩුව භාරගන්නා විටත්, කලින් පැවැති රජය පොහොර ණයට ගැනීම නිසා රුපියල් කෝටි 2700ක මුදලක් සමාගම්වලට ණය වී තිබූ අතර, එම ණය ගෙවන තෙක් පොහොර ලබා නොදීමට පොහොර සමාගම තීරණය කර තිබූ බව කී ඇමැතිවරයා වත්මන් රජය එම ණය සියල්ල මේ වන විටත් ගෙවා අවසන් වී ඇති බවත්, පොහොර සහනාධාරය සඳහා 2018 වසරේ රජය වැය කරන මුදල රු. මි. 35000ක් ඉක්මවන බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

විශේෂයෙන්ම රජය නොමිලයේ ගොවීන්ට පොහොර ලබා දෙන අතර, අපේ රටේ පො‍හොර අධිභාවිතය නිසා ලබාදෙන පොහොරවලින් 30% ක් අපතේ යන බවත් කඳුකර ප්‍රදේශවල අපතේ යන පොහොර ප්‍රමාණය 50% ක් තරම් ඉහළ මට්ටමක පවතින බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් කළ සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි ද ඇමැතිවරයා කීය.

කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම සඳහා රජය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන අතර, කාබනික වී ගොවිතැනේ නිරතවන ගොවීන්ට කාබනික පොහොර මිලදී ගැනීම සඳහා රු. 18000ක මූල්‍ය ප්‍රතිපාදන හෙක්ටයාර් එකක් වෙනුවෙන් ලබාදෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. කෙසේ වුවද ගොවීන් වෙත ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදීමට රජය කටයුතු කරන අතර, ලබන වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදන අතිරික්තයක් ඇතිවනු ඇතැයි රජය විශ්වාසය පළ කරන බවත් කීය. එමෙන්ම 2018 යල කන්නයේ දී පොහොර ලබාදීමේ දී කිසිදු හිඟයකින් තොරව ගොවීන් වෙත පොහොර නිකුත් කිරීමට රජයට හැකි වූවා මෙන්ම 2018 මහ කන්නයේදී ද කිසිදු ගැටලුවකින් තොරව පොහොර ලබාදීම සඳහා පොහොර නිකුත් කිරීමේ කටයුතු අරඹන බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.


නව අදහස දක්වන්න