මියන්මාරය අකුරුවලට විලංගු | දිනමිණ

මියන්මාරය අකුරුවලට විලංගු

ධම්මික සෙනෙවිරත්න
සිර දඬුවමට නියම වූ මාධ්‍ය‍ෙව්දීන් දෙදෙනා

වාලොන් සහ ක්යෝ කළ වරදක් ලෙස සටහන්ව ඇත්තේ කැරැලිකාරීන්ගේ දුරකතන අංක සන්තකයේ තබාගැනීමය. සිය සගයන් දෙදෙනා වෙනුවෙන් හඬ නඟන සහෝදර මාධ්‍යවේදීන් පවසන්නේ එම දුරකතන අංක එරට බොහෝ මාධ්‍යවේදීන් සතුව ඇති ඒවා බවය. එසේ නම් ඔවුන් සියලුදෙනා අත්අඩංගුවට ගත යුතු බව ද ඔවුහු පෙන්වා දී තිබේ.

රාජ්‍ය රහස් පිළිබඳ නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ වාලොන් සහ ක්යෝ සෝ ඕ නම් රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනාට මියන්මාර අධිකරණය පසුගියදා සත්අවුරුදු සිරදඬුවමක් නියම කළේය.

රොහින්ගයා හි මුස්ලිම් වැසියන් දසදෙනකු මරාදැමීමට මියන්මාර ආරක්ෂක අංශ වගකිවයුතු බවට කළ හෙළිදරව්වත් සමඟ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද්දේ ඉකුත් දෙසැම්බරයේදීය. එවක් පටන් මාස නවයක කාලසීමාවක් තිස්සේ ඔවුන් අත්අඩංගුවේ පසුවිණි.

තිස් දෙහැවිරිදි වාලොන් මසක් වයසැති දරුවකුගේ පියෙකි. විසිඅට හැවිරිදි ක්යෝ සෝ ඕ තුන්හැවිරිදි දියණියකගේ පියෙකි. සැමියන් නිදහස් කරන මෙන් ඔවුන්ගේ බිරින්දෑවරු ආයාචනය කරති. ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් හැඬූ කඳුළින් යුතුව ඔවුන් විශ්වාසය පළකළේ රජය සිය සැමියන්ට සමාව දෙනු ඇත කියාය. මාධ්‍යවේදීන් ලෙස තම සැමියන් කර ඇත්තේ ඔවුන්ගේ රාජකාරිය ඉටුකිරීම බව ඔවුන් පවසා තිබිණි.

විරෝධතා ව්‍යාපාර

මාධ්‍යවේදීන් දෙදෙනාගේ බිරින්දෑවරුන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ ඔවුන්ගේ ආයාචනය මියන්මාර නායිකා අවුන් සාන් සුඛී වෙත යොමුකරන බව පවසා ඇත. ඉකුත් ජූනි මාසයේදී ජපානයේ NHK රූපවාහිනියට ප්‍රකාශයක් කරමින් සුඛී කියා සිටියේ, මේ මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ රොහින්ගයා හි හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ කළ ගවේෂණ නිසා නොව රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කළ නිසා බවය. ඒජන්සි වාර්තාවල දැක්වුණේ බොහෝ දෙනාගේ ගෞරවය දිනාගත් නායිකාවක ලෙස ඇය එවැනි ප්‍රකාශයක් කිරීම ගැන කනගාටුවන බව ක්යෝ සෝ ඕගේ බිරිය ප්‍රකාශ කළ බවය.

මාධ්‍යවේදීන් දෙදෙනාට සිරදඬුවම් නියම වීමත් සමඟ විරෝධය පළකරමින් විවිධ ක්‍රියාමාර්ග දියත් වී තිබේ. විරෝධතා පුවරු රැගත් මාධ්‍යවේදීන් පිරිසක් සටන් පාඨ හඬ නැඟීමකින් තොරව නිහඬව හිඳිමින් එක් විරෝධතාවක් දියත් කර තිබිණි. බංග්ලාදේශයේ සිටින රොහින්ගයා සරණාගතයන් පනස්දෙනකු පමණ සහභාගි වූ විරෝධතා ගැන ද වාර්තා විය. ලෝකයේ නොයෙක් රටවල සිටින රොයිටර් මාධ්‍යවේදීහු ද සිය සගයන් වෙනුවෙන් පෙරට පැමිණ සිටිති.

වාලොන් සහ ක්යෝ කළ වරදක් ලෙස සටහන්ව ඇත්තේ කැරැලිකාරීන්ගේ දුරකතන අංක සන්තකයේ තබාගැනීමය. සිය සගයන් දෙදෙනා වෙනුවෙන් හඬ නඟන සහෝදර මාධ්‍යවේදීන් පවසන්නේ එම දුරකතන අංක එරට බොහෝ මාධ්‍යවේදීන් සතුව ඇති ඒවා බවය. එසේ නම් ඔවුන් සියලුදෙනා අත්අඩංගුවට ගත යුතු බව ද ඔවුහු පෙන්වා දී තිබේ.

මියන්මාර පුවත්පත් මෙම දඬුවමට විරෝධය පළකරමින් එය විවිධ අයුරින් සංකේතවත් කර තිබිණි. 7 Daily පුවත්පතේ මුල් පිටුවේ සැලකිය යුතු කොටසක් කළු පැහැ අවකාශයකින් පමණක් පිරී තිබුණේය. එක් කාටුනයකින් විමසා තිබුණේ ඊළඟට කවුද? යන පැනයයි. තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමඟ මාධ්‍යවේදීන් දෙදෙනා බන්ධනාගාරයට රැගෙන යන වාහනය විරෝධතාකරුවන්ගේ බාධා කිරීම් නිසා නතර කිරීමට සිදුව ඇත. ඒ අපව සිරගත කළ හැකියි, නමුත් ජනතාවගේ ඇස් කන් වසාදැමීමට නොහැකියි’ යනුවෙනි.

මෙම දඬුවමට එරෙහිව පැවැති විරෝධතා කුඩා පරිමාණයේ ඒවා විය. සමාජ මාධ්‍ය ඔස්සේ දියත් වූ සාමකාමී විරෝධතාවක් මඟින් පණිවිඩයක් ලබා දී තිබිණි. එහි සඳහන්ව තිබුණේ’දුරකතන අංක හෝ දත්ත මත පදනම්ව මාධ්‍යවේදියකු අත්අඩංගුවට ගන්නේ නම් මමත් අත්අඩංගුවට ගන්න’ යනුවෙනි. යැංගොං නුවර දී කළු බැලුන් ගුවනට හැරීමේ විරෝධතාවක් ද දියත් විය.

විරෝධතාකරුවන්ගේ අදහස මෙම අත්අඩංගුවට ගැනීම සහ සිරදඬුවම මාධ්‍ය නිදහස මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය වීමක් බවය. මෙම දඬුවම ප්‍රකාශයට පත්වීමෙන් පසු අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ට්විටර් පණිවිඩයක් තබමින් කියා සිටියේ, ආගමික නිදහස හා මාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් බවට අත්‍යවශ්‍ය අංග බවය. මෙම තීරණය ආපසු හරවන ලෙස හා මාධ්‍යවේදීන් දෙදෙනා වහාම නිදහස් කරන ලෙස ඔහු ඉන් ඉල්ලා තිබිණි. හමුදා පාලනයක සිට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් දක්වා ගමන් කළ මියන්මාරයේ ඇතිවූ මේ තත්ත්වය පිළිබඳ අමෙරිකාව වැඩි අවධානයක් දක්වන බව පෙනෙන්නට ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිනී නිකී හේල්ද ඔවුන් දෙදෙනා කොන්දේසි රහිතව නිදහස් කරන ලෙස ඉල්ලා තිබිණි.

මාධ්‍ය නිදහස

මෙම තීන්දුව යළි සලකා බලන මෙන් ඉල්ලා සිටි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් අදහස් ප්‍රකාශනයේ හා තොරතුරු දැනගැනීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ මුරගල් බව ද පවසා තිබේ. රොයිටර් පුවත් සේවයේ කලාපීය සංස්කාරක කෙවින් ක්‍රොලිකි පවසා සිටියේ, ඔවුන් දායක වී ඇත්තේ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බවයි. මාධ්‍යවේදීන් දෙදෙනා සේවය කළේ ඔහු සමඟය. ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ අධ්‍යක්ෂිකා ටිරානා හසන් ද මාධ්‍ය‍වේදීන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු යැයි කියා සිටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලම් කියා ඇත්තේ මෙමඟින් මියන්මාරයේ සිටින සියලු මාධ්‍යවේදීන්ට බියෙන් තොරව සිය කාර්යය කරගෙන යාමට නොහැකිය යන පණිවිඩය යැවෙන බවය. රොයිටර් පුවත් සේවයේ ප්‍රධාන සංස්කාරක ස්ටෙපාන් ජේ. ඇඩ්ලර් සිය මාධ්‍යවේදීන් දෙදෙනාට දඬුවම් නියම වූ දිනය මියන්මාරයට කනගාටුදායක දිනයක් බව කීවේය. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙමඟින් ප්‍රජාතන්ත්‍රවාදය කරා ගමන් කරමින් සිටි මියන්මාරය විශාල පියවරක් පසුපසට තබා ඇති බවය. යුරෝපා සංගමයේ ප්‍රකාශිකාවක වන ෆෙඩ්රිකා මොගාරිනි පවසන පරිදි, මෙම තීන්දුව මඟින් මාධ්‍ය නිදහස, තොරතුරු දැනගැනීම සඳහා මහජනයාට ඇති අයිතිය අවතක්සේරුවට ලක්වී ඇති අතර නීතියේ පාලනයට අදාළව සිදුවෙමින් පැවැති වර්ධනයට අහිතකර බලපෑමක් ද එල්ල වී තිබේ.

මාධ්‍යකරුවන් දෙදෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් හඬ නැ‍ඟෙද්දී මෙය නීතිය ක්‍රියාවට නැංවීමක්ය යන සාධාරණීකරණය කිරීම දැනට මියන්මාරයෙන් පළවී ඇත. මාධ්‍යවේදීන් දැමූ බවට ලක්කළ පනත 1923 දී සම්මත කරන ලද්දක් වන අතර ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ මාධ්‍ය නිදහස අරබයා නව නීති හඳුන්වා දීමට කාලය එළැඹ ඇති බවය. ඇතැම් විට මාධ්‍යවේදීන් දෙදෙනාගේ දඬුවම ලිහිල්වීමට හෝ ඔවුන් නිදහස් කිරීමට ඉඩ තිබේ. එහෙත්, තවමත් එවැනි ප්‍රතිචාරයක් පළවී නොමැත.

රොහින්ගයා ප්‍රශ්නය

මේ තත්ත්වය යටතේ අමෙරිකා සම්බාධක දැඩි කළ යුතුය යන මතය ද පළවී තිබේ. එය කිසිසේත් සුබදායක පුවතක් නොවනු ඇත. අවුන් සාන් සුඛී නායිකාවක ලෙස අසාර්ථක බව පෙන්නුම් කෙරෙතැයි ද මත පළවේ. එහෙත් රොහින්ගයා ප්‍රශ්නය බාහිර පාර්ශ්වවලට අවශ්‍ය පරිදි විසඳාගත යුතු ද නැත. විය යුතුව ඇත්තේ තවදුරටත් පමා නොවී ඊට සාධාරණ මෙන්ම ස්ථාවර විසැඳුමක් සෙවීමට මියන්මාරය යුහුසුළු වීමය.

මියන්මාරයේ බටහිර දිග රඛීන් ප්‍රදේශයේ ජීවත්වන රොහින්ගයා වැසියන් සුන්නි මුස්ලිම්වරුය. ඔවුන් එරට ජනවර්ගයක් ලෙස මියන්මාර රජය පිළි නොගනී. එබැවින් පුරවැසිභාවය ද ලැබී නොමැත. ඔවුන් පැමිණ ඇත්තේ බංගලිදේශ සරණාගතයන් ලෙස බැවින් තම රටේ ජනකොටසක් ලෙස පිළිගැනීමට නොහැකි බව රජයේ මතයයි. මේ තත්ත්වය යටතේ බහුතර බෞද්ධ ජනයා සහ රොහින්ගයා මුස්ලිම් වැසියන් අතර ගැටුම් හටගෙන ඇත. කැරැළිකාරී ක්‍රියාකාරකම් හමුවේ රොහින්ගයාහි කැරැළිකරුවන්ට එරෙහිව ආරක්ෂක හමුදා ක්‍රියාත්මක වී තිබේ. 2015 වර්ෂයෙන් පසු රොහින්ගයා ප්‍රශ්නය සරණාගත අර්බුදයක් දක්වා වර්ධනය විය. මේ වන විට මෙම කාලසීමාව තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසත් රොහින්ගයා සිට බංග්ලාදේශය දක්වා පළා ගොස් ඇති බව ඇතැම් වාර්තාවල දැක්වේ.


නව අදහස දක්වන්න

Or log in with...