“ මම, මුන්ව මරාගෙන කනවා” | දිනමිණ

“ මම, මුන්ව මරාගෙන කනවා”

ලෝභය, අකුසල මූල තුනෙන් එකකි. රාගය හා තණ්හාව ද ඊට සමානාර්ථ වචන වේ. ලෝභය යනු ඇස, කන , නාසය, දිව, කය , මනස යන ද්වාරයන්ගෙන් උරා බීමය. ලෝකය අබ්බ කිරීමය. රාගය යනු මත්වීමෙන් ගන්නා ඇලීමයි. යම් අරමුණක් නිච්චයි. සුඛයි, සාරයි කියා ඇලීමයි.

තණ්හා යනු තන්හි හාවීමයි. ලෝභය, රාගය, තණ්හාව යන මේ හැම එකකින්ම කියැවෙන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදැන ( මිත්‍යාවෙන්) අල්ලා ගැනීමයි. ඇලීමයි, මෙහි විපාකය, ප්‍රතිඵලය වන්නේ දුකමයි.

මෙසේ අල්ලා ගනු ලබන කිසිවක් අපේ කැමැත්තට අනුව පවත්වා ගත නොහැකි වේ. ජරාවට පත් වෙයි. සාරයක් නැති වේ. මෙවැනි ලෝභ සිත් ඇත්තෝ ඔවුන්ගේ මරණාසන්නයේ ද චුති සිතට ලෝභයක් ඇති වුවහොත් ඇය හෝ ඔහු ඒ වස්තුවටම ඇළුණු සිතින් පේ‍්‍රතයෙක්ව උපදී. සා පිපාසාවෙන් දුක් විඳී. තරහින් හෝ ද්වේෂයෙන් මිය ගියද එවැන්නෝ පේ‍්‍රත ආත්මවල උපදිති.

නිසංසලා නුගේගොඩ පදිංචි පනස් හැවිරිදි බැංකු නිලධාරිනියකි. දෙදරු මවකි. ස්වාමිපුරුෂයා සරත් ව්‍යාපාරිකයෙකි. නිසංසලා ආහාර අරුචියෙන් පෙළෙයි. මීට අවුරුදු දෙකකට පෙර කිලෝ ග්‍රෑම් හැට පහක බරින් සිටි ඇගේ දැන් බර කිලෝ ග්‍රෑම් තිහකි. ඇගේ දෑස් යටට ගිලී ඇත. සිරුරේ තුවාල හටගෙන දැවිල්ලෙන් පෙළෙයි. දැන් ඇය රැකියාවට යන්නේ ද නැත.

රෝගාබාධයක් සඳහා ප්‍රතිකාර ගන්නට ගියත් වෛද්‍යවරුන්ට රෝගය අසු නොවේ. පරීක්ෂණ වාර්තාවලින් රෝගයක් ඇති බවට නිගමනය ද නොවේ. මේ පරීක්ෂණ වාර්තා රුධිර සාම්පල් ඉන්දියාවේ ඇපලෝ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වෙත යවා බැලූවිට ඇයට රෝගයක් ඇතැයි වාර්තා නොවිණි.

තාක්ෂණ උපකරණවලින් පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන නොවන පියවි ඇසට නොපෙනෙන දේවල් ද ලෝකයේ පවතින බව පිළිගන්නා සරත් අවසානයේ ගුප්ත විද්‍යා ගවේෂණ මධ්‍යස්ථානය කරා නිසංසලා කැඳවාගෙන ආවේය. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී ඇගේ රෝග තත්ත්වය පැහැදිලි කොට ප්‍රතිකාර පැතීය.

පළමුවැනි රෝග පරීක්ෂාවේදීම නිසංසලාට භූතාත්මයක් ආවිශ්ට වී කෑ ගසන්නට විය. “ මම මුන්ව මරනවා... මරාගෙන කනවා....” මහත් වූ වෛරයකින් භූතාත්මය කෑ ගසන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“ කවුද මේ කෑ ගහන්නේ?” “ මම ජයවතී, ජයවතී ඉස්කෝලෙ හාමිනේ. මේකිගෙ අම්මා. මම මේකිව මරාගෙන කනවා.” “ ඇයි මෙයාව මරාගෙන කන්න හදන්නේ? වෙන දරුවෝ නැද්ද?” “ ඉන්නවා... ඉන්නවා... පුතාලා දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නා ඉන්නේ එංගලන්තයේ, උන් මගේ මළ ගමට වත් ආවේ නෑ. මම මැරුණේ මහලු නිවාසයක දුක් විඳලා.” පේ‍්‍රතිය ගවේෂකවරයා ඉදිරියේ කියාගෙන ගියාය.

“ ඉතින් පුතාලා හොයාගෙන යන්නෙ නැතුව මේ දුවට කරදර කරන්නේ මොකද? කරුණාකර ඉවත් වෙලා යන්න” ගවේෂකවරයා භූතාත්මයට කීවේය. “ බෑ..... බෑ..... මට යන්න බෑ.... මේකිව මරාගෙනමයි මම යන්නේ.” එදින ප්‍රතිකාර නතර කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා විසි එකක් පවත්වා මෑණියන්ට පින් අනුමෝදන් කර නැවත එන්නැයි ඔවුන්ට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේදී ගවේෂකවරයා මිය ගිය මව ගැන තොරතුරු නිසංසලාගෙන් විමසුවේය. “ මහත්මයා, අපේ අම්මා හරිම ආත්මාර්ථකාමියි. අපට මුල ඉඳලාම ලෝභකම ඉගැන්නුවා. පන්ති ගියාමත් අනුන්ගෙ පිඟානෙ තියෙන මාළු කෑල්ල අරගෙන කන්න කියලා ඉගැන්නුවා. මගේ දරුවන් ලොකු කරන්න ඕනෑ කියලමයි කිව්වේ.

අපි හැදුණෙ එහෙමයි. අයියලා දෙන්නත් එහෙමයි. සල්ලි වියදම් වෙනවා කියලා රට ඉඳලා කෝල් එකක්වත් දෙන්නේ නෑ. අපේ අම්මා ආච්ච්ටයි සීයටයි සැලකුවෙත් නෑ. තාත්තගෙ අම්මටයි තාත්තටයි සැලකුවෙත් නෑ. කන්න දුන්නෙත් නෑ. ඒ ආච්චිලා දෙන්නයි සීයලා දෙන්නයි කෑවෙ බිව්වේ අනිත් දරුවන්ගෙන්.” “ ඉතින් ඔබ තවමත් ඒ වගේම ද ?”

“ අනේ නෑ. මම විවාහ වුණාට පස්සේ මහත්තයගෙ පවුලෙ මව්පියෝ, සහෝදර සහෝදරියෝ බෙදා හදාගෙන සමගියෙන් ජිවත් වෙන හැටි දැකලා මට පුදුම හිතුණා. පංගු පේරු නැතුව වුවමනාවකදී වියදම් කරන හැටි දැකලා අනේ කොච්චර හොඳ ද කියලා හිතුණා. මමත් ඒ විදිහට පුරුදු වුණා. අපේ අම්මා විශ්‍රාම ගියත් කෙනෙකුට රුපියල් සීයක් හරි දුන්නේ රුපියල් එකසිය පනහකවත් පින් බලාපොරොත්තුවෙන්.

” නිසංසල ගවේෂකවරයා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කීවාය. ගවේෂකවරයා ප්‍රතිකාර ආරම්භ කරමින් නිසංසලාට භූතාත්මය දිෂ්ටි ගන්වා ප්‍රශ්න කරන්නට විය. “ ඉතින් මේ දුව යන කොට ඔබත් බෝධි පූජාවලට ගියාද?” ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය. “ ගියා නම් තමයි. ඒත් මට පිනක් දැනුණේ නෑ.” පේ‍්‍රතිය කීවාය.

“ ඔබ ජීවත්ව ඉන්දැද්දී දරුවො තුන් දෙනාට ගුණ ධර්ම ඉගැන්නුවාද ?” “ නැතුව, නැතුව, මම ළමයි තුන් දෙනාට හොඳට ඉංගී‍්‍රසි ඉගැන්නුවා. ලෝකයේ ඕනෑම තැනක ගිහින් රස්සාවල් කරන්න හරි හම්බ කරගන්න වියදම් කරලා ඉගැන්නුවා.” “ ඒවා නොවෙයි මම ඇහුවේ.

මිනිස්කම, ගුණ දහම් ඉගැන්නුවද?” “ ඒවායෙන් මොනවද තියෙන ලාභ ප්‍රයෝජන?” පේ‍්‍රතිය ගවේෂකවරයා ඉදිරියේ ඔහුගෙන් තර්ක කළාය. “ නමුත් දරුවන්ට ගුණ දහම් ඉගැන්නුවා නම් මොකද පුතාලා දෙන්නා තමන් මිය ගියාට පස්සේ දානයක් වත් නොදුන්නේ?” ඒ ප්‍රශ්නයෙන් නිරුත්තර වූ පේ‍්‍රතිය දෑස් උඩ තියාගෙන කල්පනා කරමින් සිට හිටි හැටියේ මහ හඬින් හඬන්නට වූවාය.

ගමේ පන්සලට හීලට දන් අඩුක්කුවක් පූජා කර මියගිය මවගේ නම කියා පැන් වඩා නැවත එන්නැයි ගවේෂකවරයා නිසංසලාට උපදෙස් දෙමින් කීවේය. දානය පිරිනමා නැවත පැමිණෙන විට නිසංසලාගේ ශරීරයේ තුවාල වියැළී ගොස් තිබුණි. ආහාර අරුචිය ද ඉවත් වී මුහුණ පැහැපත්ව තිබුණි. එදින ද භූතාත්මය දිෂ්ටි ගන්වා ගවේෂකවරයා ප්‍රශ්න කළේය. “ දානය දවසේ පන්සල් ගියාද?” “ ගියා මහත්මයා.

දාන ආනිසංස දේශනා කරන විට මට හරියට දුක හිතුණා. ජීවත්ව ඉන්දැද්දී පිනක් දහමක් කරගන්න බැරිවීම ගැන.” පේ‍්‍රතිය ගවේෂකවරයා හමුවේ දුකෙන් මෙන් කීවාය. “ ඔබ දන් නොදුන් නිසා දැන් සා පිපාසය නිසා දුකින් පෙළෙනවා. ඒ නිසා දැන්වත් ඔය පෙරේත ආත්මයෙන් මිදී ඉහළ තලයකට යන්න. පින් දහමේ කරන තැනකට ගිහින් අධිෂ්ඨාන කර හිත හදා ගන්න.” ගවේෂකවරයා පේ‍්‍රතියට කීවේය.

“ අනේ, මහත්මයා මට ඒ වගේ තැනකට යන්න උදව් කරන්න” පේ‍්‍රතිය ගවේෂකවරයාගෙන් ඉල්ලා සිටියාය. මෑණියන් ජිවත්ව සිටියදී ඇය පාවිච්චි කළ රත්තරන් කරාබුවක් හෝ විකුණා ඒ මුදලින් පිරිසිදුවට රසවත් ආහාරයක් සකසා හිඟන්නන්ට දානයක් පිරිනමා පළතුරු වට්ටියක් ද රැගෙන නැවත එන්නැයි ගවේෂකවරයා නිසංසලාටත් ඇගේ සැමියාටත් කීවේය.

ඒ වනවිට නිසංසලා සම්පූර්ණයෙන්ම සුවපත් වී සිටි අතර සියල්ල ඉටු කිරීමෙන් පසු ඔවුහු නැවත ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණියහ. එදින ඔවූහු පළතුරු වට්ටියක් ද රැගෙන ආහ. “ තමුන් සිද්ධස්ථානයකට යන්න කැමතියි කියා කලින් දවසේ කීවා නේද? දැන් ඔබව මේ පළතුරු වට්ටියට සම්බන්ධ කොට අනුරාධපුරයට යවන්නයි අපි සූදානම් වෙන්නේ.” ගවේෂකවරයා පේ‍්‍රතිය දිෂ්ටිි ගන්වා යළිත් කීවේය.

“ බැහැ මහත්මයා. දුව පින් අනුමෝදන් කළ නිසා දැන් මට අමුතු ශක්තියක් ආවා. ඒකට දුවටත් මහත්මයාටත් පින් සිද්ධ වෙනවා.

අනුරාධපුරයට මට තව වැඩකටයුත්තක් කරන්න තියෙනවා.” පේ‍්‍රතිය කීවාය. “ ඒ මොකක්ද? ’ “ මම විය පැහැදම් කර උස් මහත් කරලා උගන්නපු අර එංගලන්තයේ ඉන්න පරයෝ දෙන්නට දඬුවමක් දෙන්න ඕනෑ. ඒ නිසා මම උන් දෙන්නා හොයාගෙන යනවා.”

එසේ කියමින් පේ‍්‍රතිය නිසංසලාගේ ශරීරයෙන් ඉවත් වී “ දුවේ මම ආයෙත් කරදර කරන්නේ නැහැ” යි කියා ඉවත්ව ගියාය. නිසංසලාටත් සරත්ටත් නිවාසයටත් ආධ්‍යාත්මිය ආරක්ෂාව යෙදීමට ගවේෂකවරයා පියවර ගත්තේය.

(මතුගම මහින්ද විජේතිලක)


නව අදහස දක්වන්න

Or log in with...