ශූරයා යුද හමුදාවේ ගිහාන්: ශූරිය ගුවන් හමුදාවේ දිල්රුක්ෂි | දිනමිණ

ශූරයා යුද හමුදාවේ ගිහාන්: ශූරිය ගුවන් හමුදාවේ දිල්රුක්ෂි

පැරා ශූරතාව කුමාරට

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ තෙවැනි වරටත් සංවිධාන කළ එස්.එල්.ටී. ස්පීඩ් අප් පාපැදි සවාරියේ ප්‍රධාන ඉසව්ව වූ පිරිමි තරගයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ ගිහාන් පුෂ්පකුමාර සමත් විය. තරගය අවසන් කිරීම සඳහා ගිහාන් පැය.20 මි.07තත්.07ක කාලයක් වාර්තා කළේය.

අදියර පහකින් සමන්විත වූ මෙම සවාරිය පසුගිය 4 වැනිදා කොළඹින් ආරම්භ වූ අතර, එය නිදහස් ගමන් මාර්ග ද සහිතව කි.මී. 821ක දුරක් ගෙවමින් පසුගියදා (8) කුලියාපිටියෙන් අවසන් විය.

මෙහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ මධුසංක ප්‍රභාත් විසින් දිනාගනු ලැබීය. අවුරුදු 23න් පහළ ක්‍රීඩකයකු වන ප්‍රභාත් අදියර පහ අවසන් කිරීම සඳහා පැය 20මි.07තත්.35ක කාලයක් වාර්තා වාර්තා කළේය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කළ රමේෂ් විරාන් මෙහි තෙවැනි ස්ථානයට පත්වූ අතර ඔහුට තරගය නිමා කිරීම සඳහා පැය.20මි.07තත්.38ක කාලයක් ගතවිය.

මෙවර සවාරියේ දක්ෂතම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්මාන දිනා ගත්තේය. ඊට අමතරව කඳු නැගීමේ ශූරයා ලෙස රමේෂ් විරාන් (වරාය අධිකාරිය), වේගවත්ම ධාවකයා ලෙස අවිශ්ක මැඩොන්සා (වරාය අධිකාරිය) හා යොවුන් පාපැදි ශූරයා ලෙස මධුසංක ප්‍රභාත් (නාවික හමුදාව) සම්මානයට පාත්‍ර වූහ.

තරගකරුවන් 122 දෙනෙකු මෙවර සවාරියට සහභාගි වූ අතර සමස්ත ශූරයාට රුපියල් මිලියනයක මුදලක් හිමි විය. දෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂ 5ක් ද, තුන්වැනි ස්ථානයට රුපියල් ලක්ෂ 3ක් ද හිමි විය. සෙසු ස්ථාන පිළිවෙළින් රුපියල් ලක්ෂ 2ක්, එක්ලක්ෂ පනස්දහසක්, රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක්, රුපියල් ලක්ෂයක්, අසූදහසක්, හැත්තෑදහසක්, හැට දහසක් වශයෙන් පිරිනැමිණි. 10 වැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථානය දක්වා රුපියල් හතළිස් දහස බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.

අදියර දෙකකින් පැවැති මෙහි කාන්තා සවාරියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිනේෂා දිල්රුක්ෂි සමත් වූවාය. එහි දෙවැනි හා තෙවැනි ස්ථාන ද ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සතු වූහ. ඒ අනුව පිළිවෙළින් සුගන්ධිකා ප්‍රියදර්ශනී හා පංචාලි සුලෝචනා දෙවැනි හා තුන්වැනි ස්ථාන අත්කර ගත්හ.

කාන්තා පාපැදි සවාරිය දින දෙකක් පුරා පැවැති අතර එය මෙරට පාපැදි ඉතිහාසයේ කාන්තා තරගයක් දෙදිනක් පුරා පැවැති පළමු අවස්ථාව විය. මෙහි සමස්ත ශූරියට දෙලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාගයක් හිමිවිය. එහි දෙවැනි හා තුන්වැනි ස්ථාන සඳහා රුපියල් ලක්ෂ 2ක් සහ එක්ලක්ෂ විසිපන්දහස බැගින් පිරිනැමිණි.

මේ සවාරියට පළමු වරට හඳුන්වා දුන් පිරිමි පැරා අංශයේ ශූරතාව දිනා ගැනීමට ජී.පී.අයි.ආර්. කුමාර සමත් විය. එහි දෙවැනි ස්ථානය ඒ.එම්.පී.කේ. අත්තනායක විසින් ද, තෙවැනි ස්ථානය උදය කුමාර ජයලත් විසින් ද දිනාගනු ලැබූහ. එම තරගය කුරුණෑගල සිට කුලියාපිටිය දක්වා කිලෝමීටර් 75ක දුරකින් යුතුව පැවැත්විණි. එහි ජයග්‍රාහකයාට රුපියල් එක්ලක්ෂ පනස්දහසක් හිමිවූ අතර දෙවැනි හා තුන්වැනි ස්ථාන සඳහා පිළිවෙළින් රුපියල් ලක්ෂයක් සහ රුපියල් හැත්තෑපන්දහසක් පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.

නව අදහස දක්වන්න