ශ්‍රී ලංකා-ඉන්දීය කාන්තා එක්දින තරගාවලිය හෙට ඇරැඹේ | දිනමිණ

ශ්‍රී ලංකා-ඉන්දීය කාන්තා එක්දින තරගාවලිය හෙට ඇරැඹේ

ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තු සහ ඉන්දීය පිලේ නායිකා මිතාලි රාජ් කුසලානය සමග.

හොඳින් පුහුණුවීම් කර සැලසුම් ඒ අයුරින්ම සාර්ථක කරගැනීමට සමත්වූ කණ්ඩායම් ජයග්‍රහණය අත්කරගනු අතීතයේදී දක්නට ලැබුණු බැවින් මෙවර ඉන්දියානු පිලට එරෙහිවත් එවැනිම සැලසුමක් අනුව ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු කියයි. සිය කණ්ඩායම පසුගිය දිනවල ඉතා සාර්ථකව පුහුණුවීම් කළ බවත්, පුහුණු තරග රැසකටත් සහභාගි වී දස්කම් මුවහත් කරගත් බවත් කී චමරි අතපත්තු ඉන්දියානු පිලට දැඩි අභියෝගයක් එල්ල කිරීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළාය.

ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයේ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන මේ පරිණත පිතිකාරිනිය සිය අදහස් පළ කළේ තරගාවලිය පිළිබඳ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදි එසේ කීවාය.

මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළ හර්ෂ ද සිල්වා නැවත එම තනතුරට පත්වීමෙන් පසුව පැවැත්වෙන පළමු තරගාවලිය මෙය වේ. පළපුරුදු පුහුණුකරුවකු වන හර්ෂ යටතේ මෙවර තරගාවලියේ දී ජයග්‍රහණය අත්පත් කරගැනීමෙන් මේ එක්දින තරගාවලිය අයත්වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින ශූරතාවලියේ සෙසු කණ්ඩායම් අතරින් ඉදිරියට පැමිණීම ශ්‍රී ලංකා පිලේ අරමුණ වී තිබේ.දෙපිල අතර පළමු එක්දින තරගය හෙට (11) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර දෙවැනි තරගය 13 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය. තුන්වැනි එක්දින තරගය මේ මස 13 වැනිදා කටුනායක මේරියන්ස් (වෙළෙඳ කලාපීය ක්‍රීඩාංගණය) පිටියේදි පැවැත්වෙයි.

 

නව අදහස දක්වන්න