කාසිය මාලදිවයින පැත්තට පෙරැළෙයි | දිනමිණ

කාසිය මාලදිවයින පැත්තට පෙරැළෙයි

ප්‍රින්ස් ගුණසේකර

* ශ්‍රී ලංකාව ද. ආසියා පාපන්දු සටනින් ඉවතට
*ජෝර්දානයේ විනිසුරුට එරෙහිව පැමිණිල්ලක්

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වෙයි. මූලික වටයේදී ශ්‍රී ලංකාව හා මාලදිවයින සම තත්ත්වයකට පත්වීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ බංගබන්ධු ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පාපන්දු නායක සුභාෂ් මධුසංක හා මාලදිවයින් පන්දු නායක අබ්දූල් ගහානී අතර කාසියේ වාසිය අරගා බැලූ අතර එහිදී මාලදිවයින ජයග්‍රහණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා පිලට මේ ශූරතාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට යෑමට සිදුවිය. මෙවර මූලික වටයේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව හා මාලදිවයින ගෝල් 2-0 බැගින් පරාජය කිරීම මේ සම තත්ත්වයක් නිර්මාණයවීමට ප්‍රධානතම හේතු විය.

කෙසේ වුවද පසුගිය 7වැනිදා ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර තරගයේදී පිටියේ ප්‍රධාන විනිසුරු ජෝර්දානයේ හසන් මොහොමඩ් අරෆා මහතා ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය උදුරාගත් බවට දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ තරග තීරක වෙත පැමිණිල්ලක් ශ්‍රී ලංකාවෙන් යොමු කරන බව පුහුණුකරු රුමී පකීර් අලී මහතා ‘දිනමිණ’ට පැවැසීය. එම පැමිණිල්ල ආසියානු පාපන්දු සම්මේලනයට ඉදිරිපත් කරන ලෙස කළමනාකාරීත්වයට උපදෙස් දුන් බව පුහුණුකරු සඳහන් කළේය. තරගය පුරා ශ්‍රී ලංකාවට අවාසි සහගත තීන්දු දෙමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට බලපෑම් කළ බවට පැමිණිල්ල ගොණුවී ඇත.

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර තරගය ගෝල් වාර්තා නොවී ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ හෙයින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට ඊයේ පැවැති ඉන්දියා - මාලදිවයින අතර තරගයේ ප්‍රතිඵලය දෙස බලා සිටීමට සිදුවිය.

ශ්‍රී ලංකා - මාලදිවයින තරගයේ 23වැනි මිනිත්තුවේදී ගෝල් කණුව ඉදිරිපිටදී මොහොමඩ් ෆසාල් උඩින් එල්ල කළ පහරක් අසේල මධුෂාන් උඩ පැන පාදයෙන් ගෝල් කණුව ඇතුලට තල්ලු කොට ගෝලයක් සටහන් කළද පැති විනිසුරු එය ‘ඕෆ් සයිඩ්’ බවට සංඥා කිරීමෙන් එම ගෝලය ප්‍රධාන විනිසුරු අවලංගු කළේය. මාලදිවයින් ගෝල් කීපර් අන්ද මන්ද කරමින් ලබාගත් ගෝලය විශිෂ්ට එකක් බවත් එය නීත්‍යානුකූලව එල්ල කළ ගෝලයක් බවත් ශ්‍රී ලංකා කළමනාකාරීත්වයේ අදහසවී තිබිණි. එමෙන්ම එම තරගය සජීව ලෙස විකාශය කළ ‘චැනල් 9’ රූපවාහිනී විස්තර ප්‍රකාශකයෝද එම ‘ඕෆ් සයිඩ්’ විනිසුරු තීරණය ඉතා වැරදි තීන්දුවක් බව ප්‍රකාශ කළහ.

මෙදින දෙපිලම ඉතා වේගවත් ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කළකට පසුව හොද තරගකාරීත්වයක් ලබාදුන් මිනිත්තු 90ක් ලෙස විචාරක පැසසුමට භාජනයවීම ද විශේෂත්වයකි.

ගෝල් 2-0කින් පරාජයට පත්වූ ඉන්දියාව සමග තරගයට ක්‍රීඩා කළ නායක සුභාෂ් මධුෂාන්, මොහොමඩ් රිෆ්නාස් හා සජිත් කුමාර වෙනුවට, මාලදිවයින තරගයේදී 30 හැවිරිදි ඩිලාන් කෞෂල්‍ය, 26 හැවිරිදි හර්ෂ ප්‍රනාන්දු, 18 හැවිරිදි අසේල මධුෂාන් කැඳවීමට පුහුණුකරු රුමී පකීර් අලී මහතා පියවර ගත්තේය. එම ආදේශන වඩාත් සාර්ථක මට්ටමක තිබිණි.

දකුණු ආසියා පාපන්දු ශූරතාවලි ඉතිහාසයේදී මාලදිවයින හමුවේ ශ්‍රී ලංකාවට එතරම් වාසිදායක අතීතයක් නොමැති අතර හමුවූ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව පසුපසින් සිටී. එබැවින් මාලදිවයින සමග මෙලෙස ජය පරාජයෙන් තොරව නිමාවීම ශ්‍රී ලංකා පිලේ ඉදිරි ගමනට සුබ පෙර නිමිත්තකි.

වසර 1999 තරගාවලියේදී මාලදිවයින හා ශ්‍රී ලංකාව ගෝල් වාර්තා නොකොට ජය පරාජයෙන් තොරව නිමාවී ඇති අතර 2005තරගාවලියේදී 2-0කින් ශ්‍රී ලංකාව පරාජයට පත් විය. 2008දී 1-0කින්, 2009දී 5-1කින් හා 2013දී ගෝල් 10 – 0කින් ශ්‍රී ලංකා පිලට පරාජය අත් විය.

නව අදහස දක්වන්න