හදිරම හන්දියේ සනීපාරක්ෂක පද්ධතිය විවෘත කිරීම ප්‍රමාද අැයි | දිනමිණ

හදිරම හන්දියේ සනීපාරක්ෂක පද්ධතිය විවෘත කිරීම ප්‍රමාද අැයි

පසුගිය ලේකම් පාලන සමයේ මිනුවන්ගොඩ නගර සභාව මඟින් රුපියල් ලක්ෂ හැටක වියදමකින් ඉහළ ප්‍රමිතියකින් යුක්තව හදිරම හන්දියේ ඉදිකර තිබෙන සනීපාරක්ෂක පද්ධතිය විවෘත කිරීම පාලක පක්ෂයේ හා විපක්ෂයේ තර්ක විතර්ක මධ්‍යයේ ප්‍රමාදවෙමින් පවතී. මෙම ගැටලු සම්බන්ධයෙන් මිනුවන්ගොඩ නගර සභාවේ එජාප නාගරික මන්ත්‍රිනී එල්. කේ. ඩී. එන්. ආශාවරී ගුණසේකර මහත්මිය මෙසේ පැවසුවාය.

නගරයට එන කාන්තාවකට තම සනීපාරක්ෂක කටයුතු සිදුකර ගැනීමට තරම් සුදුසු වැසිකිළියක් මිනුවන්ගොඩ නගරයේ නැති නිසා පසුගිය ලේකම් පාලන සමයේදී මිනුවන්ගොඩ නගර සභාව මඟින් රුපියල් ලක්ෂ හැටක වියදමකින් ඉහළම ප්‍රමිතියක් යටතේ ඉදිකර තිබෙන වැසිකිළි පද්ධතිය නගර සබාවේ නව පාලක පක්ෂය විසින් විවෘත නොකර මඟහරිමින් සිටිනවා. රජයත් සම්බන්ධ වෙලා කරපු ව්‍යාපෘතියක් නිසා විවෘත කරන්න අකමැතියි.

නගර සභාවේ සභාපති එච්. කේ. නීල් ජයසේකර (ශ්‍රී.ල.පො.පෙ.) මහතා කියා සිටින්නේ විවෘත නොකර මඟහරිමින් සිටීමක් හෝ ප්‍රමාද කිරීමක් සිදු නොවන බවයි.

මිනුවන්ගොඩ නගරයේ හදිරම හන්දිය අසල ඇති සභාව සතු භූමියේ ආපන ශාලාවක් සහිත මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ව්‍යාපෘති වාර්තාවක් සභාවට ඉදිරිපත් කර සභාවේ අනුමැතිය ඉල්ලා තිබෙනවා. එම අනුමැතිය ලැබී තිබෙනවා. එසේ අනුමත ව්‍යාපෘතිය යටතේ එකී වැසිකිළියක් ඇතුළත් වන පරිදි ඉදිකර අවසන් වූ පසු විවෘත කරනවා.

උඩුගම්පොළ සමූහ

 

නව අදහස දක්වන්න