කොළඹ වරාය ලොව වර්ධන අනුපාතයෙන් ප්‍රථමයා වෙයි | දිනමිණ

කොළඹ වරාය ලොව වර්ධන අනුපාතයෙන් ප්‍රථමයා වෙයි

Alphaliner වාර්තාවලට අනුව කොළඹ වරාය 2018 පළමු අර්ධය තුළ ලෝකයේ ප්‍රධාන බහලු මෙහෙයුම් වරායයන් 30 අතර පළමු ස්ථානයට පත්ව තිබේ.

2018 පළමු අර්ධයේ බහලු මෙහෙයුම් 15.6% ක වර්ධනයක් පෙන්නුම් කරයි. එය පසුගිය වසරට සාපේක්ෂව ගත් කළ සුවිශේෂී වර්ධන තත්ත්වයකි. මෙය කොළඹ වරාය ලැබූ සුවිශේෂී ජයග්‍රහණය වන්නේ ප්‍රධාන යුරෝපියානු වරායයන්, ඩුබායි හා ආසියානු වරායයන් ද අතරින් මෙම විශිෂ්ටත්වයට පත්වීමට හැකිවීම තුලිනි. ඇල්ෆාලයිනර් (Alphaliner) වාර්තාවලට අනුව බහලු මෙහෙයුම් වරායයන් අතර මෙතෙක් ප්‍රමුඛස්ථා‍නයේ පසු වූ සිංගප්පූරු වරාය 11.6% වර්ධනයක් පෙන්නුම් කරමින් දෙවන ස්ථානයද, 8.6% ක වර්ධනයක් පෙන්නුම් කරන ගොන්ෂු (Guangzhou) වරාය තෙවන ස්ථානය ද, 8.3% අගයක් හිමිකර ගත් බෙල්ජියමේ ඇන්ටවීජ (Antwerp) වරාය සිව්වැනි ස්ථානයට ද, 7.6% අගයක් පෙන්නුම් කරන චීනයේ සියාමෙන් (Xiamen) වරාය පස්වන ස්ථානයටත් පත්ව තිබේ.

වරාය හා සමුද්‍රීය සේවා හා සම්බන්ධ වරාය අධිකාරිත්වය, පර්යන්ත මෙහෙයුම්කරුවන්, සේවා සැපයුම් ආයතන මූල්‍ය ආයතන ආදී දත්ත මත පදනම් කරගනිමින් ඇල්ෆාලයිනර් වාර්තා සකස් කිරීම සිදුකෙරේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය සිදුකරන ජයබහලු පර්යන්තයක් (JCT), SAGT පර්යන්ත හා CICT පර්යන්තය අතර පසුගියදා සිදුකරන ලද කොළඹ වරාය ප්‍රවර්ධනය කිරීමේ අවබෝධතා ගිවිසුම යටතේ පර්යන්ත ත්‍රිත්වය සාමුහිකව බහලු මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරනු ලබන අතර මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාවය වර්ධනය කරගැනීම මඟින් සියලු ජාත්‍යන්තර බහලු මෙහෙයුම් සේවාවන් වෙත ඵලදායි සේවාවක් ලබාදීම සිදුකෙරේ. වත්මන් රජයේ වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමාගේ විශිෂ්ට නායකත්වයත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතාගේ නිසි කළමනාකාරිත්වයත්, වරාය මෙහෙයුම් ක්‍රියාවලියට සම්බන්ධ සියලුම පාර්ශ්වයන්ගේ යහපත් දායකත්වය තුලින් ජයබහලු පර්යන්තය ප්‍රමුඛ ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය වසරවලට සාපේක්ෂව කඩිනම් සංවර්ධනයක් කරා ළඟාවීමට හැකිවිය.

2017 වසරේදී කොළඹ වරාය බහලු මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකට එළැඹෙමින් බහලු‍ මෙහෙයුම් මිලියන 6.2 සීමාව ඉක්මවීමට ද සමත් වූ අතර Drewry වරාය සම්බන්ධතා දර්ශකය වරායයන් 20 අතර 13 වැනි ස්ථානය හිමිකර ගැනීමට ද සමත්විය. 18 වැනි ස්ථානයේ පසුවූ කොළඹ වරාය 2017 සිව්වැනි කාර්තුවේදී මෙලෙස වරායයන් 5 ක් අභිබවා මුල් පෙළට පැමිණීම සුවිශේෂිතය. තවද Drewry වරාය සම්බන්ධතා දර්ශකය අනුව කොළඹ වරාය ආසියාවේ විශිෂ්ටතම සම්බන්ධිත වරාය බවට පත්ව ඇත.

එමෙන්ම කොළඹ වරාය ලෝකයේ සමුද්‍රික සිතියම තුළ ස්වකීය ස්ථානය කරා යමින් ග්ලෝබල් පෝර්ට් ෆෝර්ම් (GPF) 2018 වසරේ වරාය අධිකාරිය සම්මානය දිනා ගැනීමට ද සමත්විය.

 

නව අදහස දක්වන්න