නියමිත කාලයට පෙර ජනපතිවරණයක් නෑ | දිනමිණ

නියමිත කාලයට පෙර ජනපතිවරණයක් නෑ

මහින්ද අලුත්ගෙදර

දවස තීරණය කළ හැකි බලතල අැත්ෙත් තමන්ට බව ජනපති කියයි

ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් අනවශ්‍ය උණුසුමක් රටතුළ ඇතිකර තිබුණ ද නියමිත කාලයට එක් දිනකට හෝ ප්‍රථම මැතිවරණයක් නොපවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ඉතා ඉක්මණින් ජනාධිපතිවරණයක් ලබාදෙන බවට ඇතැමුන් ප්‍රකාශ නිකුත් කළද නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට තමාගේ කිසිඳු සූදානමක් නොමැති බව පෙන්වාදෙන ඒ මහතා එසේ ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් ඒ පිළිබඳ තීරණයක් ගත හැක්කේ තමාට පමණක් බවද ඊළඟ මැතිවරණයෙන් පසුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ බලතල තවදුරටත් සීමාවන හෙයින් ප්‍රධාන තනතුර වනුයේ ජනාධිපතිධූරය නොව අගමැතිධූරය බවද පෙන්වාදෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (08) පෙරවරුවේ නිවිතිගල මහජන පොළ භූමියේ දී පැවති නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය බලමණ්ඩල රැස්වීම අමතමිනි.

මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඊළඟ මැතිවරණයෙන් පසුව අලුතින් පත්වන ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය තිබෙන නමුත් වර්තමානයේ තිබෙන බලතල ද අඩුවන බවත් එබැවින් දේශපාලන ක්ෂේත්‍රයේ සියලූදෙනාගේ සංවාදයට සහ සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළග ජනාධිපතිවරණයක් පිළිබඳව නොව රටට හොඳ අගමැතිවරයෙක් තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් බවත්ය.

රටට හොඳ අගමැතිවරයෙක් පත්කර ගැනීමේ අවශ්‍යතාවය පෙන්වාදුන් ජනාධිපතිවරයා එම අගමැතිවරයා හොඳ අගමැතිවරයෙක් යනු රටට ආදරය කරන, දේශීයත්වය අගය කරන, අපේ සංස්කෘතීන් හා වටිනාකම්වලට අගයක් දෙන, අපේ ඉතිහාසය සමඟ වගකීම් සම්බන්ධයෙන් කටයුතු කරන සැබෑ අංවක දූෂණයෙන්, වංචාවෙන් තොර අගමැතිවරයෙක් වියයුතු බවද 19 වැනි සංශෝධනය තුළ රටේ බලධාරියා ඊළඟ මැතිවරණයෙන් පස්සේ ජනාධිපතිවරයා නොව අගමැතිවරයා බවද පැවසීය.

ජනාධිපතිධූරයක් ගැන කතා කරකර අපි මේ වැරැදි පාරක යන බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන වශයෙන් සංවාඳ කරන අයත් අවධානය යොමු කළයුත්තේ ඊළඟ මැතිවරණයෙන් පසුව තෝරා ගන්නා අගමැතිවරයා කවුරුන් වියයුතු ද යන්න බවද ඒ සම්බන්ධයෙන් ජනතාවගේ සාකච්ඡාවට ලක්විය යුතුවන බවද කීවේය. පුද්ගලයින් වටා ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාර තාවකාලික වන අතර රටට අවශ්‍ය වන්නේ දර්ශනයක් සහ දැක්මත් සහිත දේශපාලන ව්‍යාපාරයක් බවද මාතෘ භූමිය පිළිබඳ නිසි දැක්මත් සහ දර්ශනයක් ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධාන ශක්තිය වැඩි කරගනිමින් අද සාර්ථක ඉදිරි ගමනක නිතරව සිටින බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ඊට අමතරව ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේ මෙම 24 වන දා තමන් එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතව තිබෙන බවත් ආරක්ෂක හමුදාවන්ට එරෙහි චෝදනාවලින් ඔවුන් නිදහස්කර ගැනීම පිළිබදව එහිදී ජගත් සංවිධානය හමුවේ නව ප්‍රකාශයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවත්ය. රට හමුවේ ඇති අභියෝග රැසකට ඒ තුළින් විසඳුම් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා කීවේය.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදි ඇති ප්‍රධාන ගැටලූවකට විසදුම් ලබාදෙමින් එහි ජනතාවට ප්‍රදේශයේ ගංගා සහ ඇළ මාර්ගවලින් කූඩ යොදා ගනිමින් මැණික් ගැරීමට මෙම සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි අවස්ථාව ලබාදීමට පොලිසිය ඇතුළු අදාළ අංශවලට උපදෙස් ලබාදෙන බවද සදහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා කැපවූ රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් 10 දෙනෙකු ඇගයීමට ලක් කරමින් තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණි.

ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජිත් විජයමුණි ද සොයිසා, රාජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක මියුරු භාෂිත ලියන්ගේ. ජගත් පුෂ්පකුමාර, අතුල කුමාර රාහුබද්ධ මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රිකාරින් රැසක් මීට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න