දෙවන විශේෂ අධිකරණය පිහිටුවීමේ ගැසට්ටුව එයි | දිනමිණ

දෙවන විශේෂ අධිකරණය පිහිටුවීමේ ගැසට්ටුව එයි

සුභාෂිණී සේනානායක

යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක් වන විශේෂ මහාධිකරණය පිහුටුවීම සඳහා දෙවන විශේෂ අධිකරණය පිහිටුවීම සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය 07 වන සිකුරාදා ප්‍රකාශයට පත් විය.

2087/92 2018 සැප්තැම්බර් මස 07 වන සිකුරාදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව පිහිටුවීමට නියමිත රජයේ දෙවන ස්ථීර මහාධිකරණය යහපාලන ආණ්ඩුව විසින් පොරොන්දු වූ පරිදි පිහිටුවන විශේෂ මහාධිකරණ තුනෙන් දෙවැන්න ලෙස කොළඹ 12 හල්ෆ්ඩ්රෝප් උසාවි සංකීර්ණයේ දී ස්ථාපිත කරනු ඇත.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 12 අ වගන්තියෙහි උපලේඛනයේ (3) උපලේඛනයේ (1) උපවගන්තිය (1) සහ (අ) වැනි ඡේදයේ (අ) තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අග්‍රවිනිශ්චයකාරවරයාගේ එකඟතාව ඇතිව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් මෙම නියෝගය (අ) විසින් ස්ථිර මහාධිකරණ උසාවි සංඛ්‍යාව එකකින් වැඩි කරන ලෙසට ගැසට් නිවේදනය මගින් අනුමත කර ඇති අතර එම අධිකරණය ස්ථාපිත කරනු ලබන ස්ථානය කොළඹ බවට සඳහන් කර ඇත.

කොළඹ මහාධිකරණයේ පළමු ස්ථීර මහාධිකරණය නිල වශයෙන් කොළඹ 12 හල්ෆ්ඩ්රෝප් උසාවි සංකීර්ණයේ දී ඉකුත් අගොස්තු මස 21 වනදා පිහිටුවන ලද අතර දූෂණ නඩු සහ සංකීර්ණ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් නඩු විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවීම සඳහා, 2018 මැයි මාසයේ දී යහපාලන රජය ලබා දුන් පොරොන්දුවකට අනුව මේ විශේෂ දෙවන මහාධිකරණය පිහිටුවීම සඳහා වන ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් විය.

දෙවන විශේෂ මහාධිකරණය කඩිනමින් පිහිටුවන බවත් ඒ සම්බන්ධයෙන් වන අධිකාරි බලය මේ වන විටත් ලැබී ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය 'දිනමිණ'ට ප්‍රකාශ කළාය.

නව අදහස දක්වන්න