ජාතික ගොවි සභාව ජනපති ප්‍රධානත්වයෙන් අද | දිනමිණ

ජාතික ගොවි සභාව ජනපති ප්‍රධානත්වයෙන් අද

ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා වන ජාතික ගොවි සභාව අද (10) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී පැවැත්වේ.

අප රටේ මේ වනවිට පුරන්ව ගිය කුඹුරු අක්කර 1,40,000 ක් පමණ ප්‍රමාණයක් තිබෙන අතර වසර ගණනාවක් තිස්සේ මෙම කුඹුරු කිසිම අයුරකින් වගාව සඳහා භාවිතා කර නැත. මෙයින් අක්කර 1,14,000 ක් සම්පූර්ණයෙන්ම ඵලදායි ලෙස වගා කළ හැකි කුඹුරු වේ. නමුත් මෙම කුඹුරුවල අයිතිකරුවන් වගා කිරීමට කිසිවෙක් නොමැතිවීම හෝ ශ්‍රම හිඟය හෝ වෙනත් කරුණු හේතුවෙන් ඒවා වගාකිරීම පැහැර හරින බව පෙනී ගොස් තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වීම මත මේ වනවිට ඉන් කුඹුරු අක්කර 26000 ක් නැවත අස්වැද්දීමට පියවර ගෙන ඇති අතර ඉතිරි කුඹුරු තවමත් නිසිපරිදි වගා කිරීමට පියවරගෙන නැත.

එම නිසා මෙම කරුණු සැලකිල්ලට ගනිමින් 2018 මහකන්නයේදී සියලුම පුරන්ව ගිය කුඹුරු අස්වැද්දීම සඳහා එම කුඹුරු අයිතිකරුවන් පෙලඹවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දැඩි තීන්දුවක් ගෙන තිබේ. ඒ අනුව එම කුඹුරු හිමියන් ඒවා අස්වැද්දීමට පියවර නොගන්නේ නම් එම කුඹුරු යුද හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය හා කුඹුරු අස්වැද්දීමට උනන්දුවක් දක්වන තරුණයින් හට ලබාදී ඒවා නැවත අස්වැද්දීමේ අවසන් තීරණය මේ වනවිට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇත. මේ සම්බන්ධයෙන් දැනටමත් එම කුඹුරු අයිතිකරුවන් වෙත ද දැනුම් දී තිබේ.

මෙහිදී අයිතිය පැවරීමක් සිදුනොවන නමුත් එම කුඹුරු අයිතිකරුවන් විසින් වගාකිරීම පැහැර හරින්නේ නම්, වෙනත් පුද්ගලයින් යොදවා ඒවා අස්වැද්දීමට පියවර ගැනේ.

ශ්‍රී ලංකාවේ පුරන්ව ගිය කුඹුරු නැවත අස්වැද්දීම සඳහා ගොවීන් දැනුම්වත් කිරීමේ ගොවි සභාවක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලබාදී ඇති උපදෙස් පරිදි හෙට දින (10) එම ගොවි සභාව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට රුහුණු මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.

පුරන් කුඹුරු නැවත අස්වද්දා රටට අවශ්‍ය ආහාර නිපදවීමට පියවර ගැනීම මෙහි අරමුණ වන අතර, ලබන වසරේ දී මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘතියේ ජලය දිස්ත්‍රික්ක ගණනාවකට ලැබෙන නිසා 2018 වී අස්වැන්න ඉහළ යාමට හැකි බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ අතර අද (10) අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරෙන අතර එතුමා කොටවාය මහා විද්‍යාලයේ පැවැත්වෙන උත්සවයකටද සහභාගිවීමට නියමිතය.

 


නව අදහස දක්වන්න

Or log in with...