ගෝඨාභය ළඟ හොර අලියෙක් හිටියා | දිනමිණ

ගෝඨාභය ළඟ හොර අලියෙක් හිටියා

තොරතුරු ලැබී ඇතැයි ඇමැති සරත් ෆොන්සේකා කියයි

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය පාලන සමයේ සන්නස් පත්‍රයකින් පවරාගෙන හොර අලියකු ළඟ තබාගෙන සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වනජිවී හා තිරසර සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ අලින් දෙදෙනකු සිට ඇති බවත් ඉන් සන්නස් පත්‍රයකින් පැවරූ අලියා හොර අලියකු බවත් පවසන ඇමැතිවරයා පසුගිය ආණ්ඩුව පරාජයට පත් වීමෙන් පසු අලින් දෙදෙනාම ආපසු භාර දී ඇති බව ද කීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 07 දා එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සන්නස් පත්‍ර මගින් අලි පස් දෙනකු පවරා දී ඇති බවත් ඒ අලි පස් දෙනාම හොර අලි බව ද ඇමැතිවරයා කීය.

සන්නස් පත්‍රයකින් කතරගම දේවාලයට අලියකු පවරා ඇති නමුත් එහි භාරකාරත්වය ලබා දී ඇත්තේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාට බව ද තවත් පන්සලකට පැවරූ අලියකුගේ භාරකාරත්වය හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට පවරා ඇති බව ද ඇමැතිවරයා පැවැසීය. තවත් අලියකු පන්සලකට පවරා හිටපු ජනාධිපතිවරයාගේ ඥාතියකුගේ භාරකාරත්වයට පත් කර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඉකුත් ආණ්ඩු සමයේදී කැලයෙන් අල්ලා ගෙන විත් ජාවාරම් කළ අලි ඇතුන් 39 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ පිළිබඳ මේ වන විට නඩු 17ක් ගොනු කර ඇති බව ද කී ඇමැතිවරයා සියලු තොරතුරු ලබා ගත් පසු නඩු පැවරීමට කටයුතු කරන බව ද වැඩි දුරටත් කීය.

නව අදහස දක්වන්න