දුම්රිය මැදිරි 160ක් මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කෙරේ | දිනමිණ

දුම්රිය මැදිරි 160ක් මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කෙරේ

දුම්රිය සේවාව පවත්වාගෙන යාම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල අඩුපාඩුවක්ව පැවති දුම්රිය මැදිරි 250ක පමණ අවශ්‍යතාවය මගහරවාගැනීමට ප්‍රවාහන සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව ඉන්දියානු සහන ණය ව්‍යාපෘතිය (Indian Credit line) යටතේ දුම්රිය මැදිරි 160ක් ලබාගැනීමට කටයුතු කර ඇත.

මෙම මිලදී ගැනීම සඳහා වූ ගිවිසුම පසුගිය (07) දින ප.ව. 03.00ට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ‍යේ ලේකම් ජී.එස්. විතානගේ මහතා සහ එම දුම්රිය මැදිරි ඉදිකිරීම් ආයතනය වන ඉන්දියානු Right සමාගමේ තාක්ෂණික අධ්‍යක්ෂ මලික් රතෝර් (Director technical – mr. Malik Rathore) මහතා විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදී අත්සන් කරන ලදී.

මෙම සමස්ත දුම්රිය මැදිරි 160 මිලදී ගැනීම සඳහා ඇ.ඩො.මි. 82.6ක් වැයවනු ඇත. ශ්‍රී ලංකාවේ දුම්රිය සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාව විසින් ලබාදී ඇති ඉන්දියානු ණය සහන ව්‍යාපෘතිය මගින් මේ සඳහා ප්‍රතිපාදන ලබාදෙනු ඇත.

මෙම දුම්රිය මැදිරි 160ට ආසන 90ක් සහිත 3වන පන්තියේ මැදිරි 41, ආසන 64ක් සහිත 2 වන පන්තියේ මැදිරි 41, ආසන 50ක් සහිත 3 වන පන්තියේ නියාමක මැදිරිය සහිත මැදිරි 17ක්, ආසන 38ක් සහිත 2 වන පන්තියේ නියාමක මැදිරි 08ක්, ආසන 58ක් සහිත භෝජනාගාර මැදිරි 13ක්, ආසන 50ක් සහිත වායු සමනය කරන ලද මැදිරි 35ක් සහ පාර්සල් භාණ්ඩ ප්‍රවාහනය සඳහා මැදිරි 05ක් අයත්වේ.

මෙම වායු සමනය කරන ලද මැදිරි තුළ නවීන තාක්ෂණයෙන් යුතු ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම් සහිතව මගීන්ට අවශ්‍ය GPS තාක්ෂණයද, භෝජනාගාරය ඇතුළත මගීන්ට අවශ්‍ය මයික්‍රෝ උදුන්ද සවිකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මෙම දුම්රිය මැදිරි ඉදිරි වසර 1 ½ ක් වසර 2ක් ඇතුළත මගී ප්‍රවාහනය සඳහා යොදාගැනීමට හැකි බවට දුම්රිය දෙපාර්තමේන්තුව විශ්වාසය පළකරයි.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික කොන්සල්වරිය වන සුජා කේ මෙනන් (Mrs.Suja K menan) යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න