ශ්‍රීලනිපයේ සහාය නැතිව කිසිදු පක්ෂයකට ආණ්ඩු හදන්න බෑ | දිනමිණ

ශ්‍රීලනිපයේ සහාය නැතිව කිසිදු පක්ෂයකට ආණ්ඩු හදන්න බෑ

නිවිතිගල ශ්‍රීලනිප මධ්‍ය බලමණ්ඩල රැස්වීමේ දී ජනපති කියයි

තමන් ගැන තමන් විසින්ම කුමන තක්සේරුවකට පැමිණය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නොමැතිව කිසිදු දේශපාලන පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂය ද දේශපාලන වශයෙන් තම තමන් පිළිබඳ අධිතක්සේරුවක සිටින අතර, එසේ අධිතක්සේරුවකට පත්ව ඇත්නම් එය ඔවුන් වරද්දා ගන්නා තැනක් බව පෙන්වා දෙන ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිතනවා නම් ඔවුනට තනියෙන් ආණ්ඩුවක් පිහිටුවිය හැකි යැයි කියා එය මිථ්‍යාවක් බව ද එසේම එක්සත් ජාතික පක්ෂය හිතනවා නම් තනිමය ආණ්ඩුවක් හදන්න පුළුවන් කියනවා එය ද මිථ්‍යාවක් බව පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නිවිතිගල, මහජනපොළ පරිශ්‍රයේ දී පෙරේදා (08) පැවැති නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය බලමණ්ඩල රැස්වීම අමතමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් පළ කළ මෛත්‍රීපාල සිරිසේන මහතා,

අද රත්නපුර දිස්ත්‍රික්කයේ මේ ජනතාව හමුවීම සම්බන්ධයෙන් සතුට ප්‍රකාශ කරනවා. අපි ගෙන යන රටේ සංවර්ධන වැඩපිළිවෙළ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ ජාතික දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කරන්න දිගු කාලීන අත්දැකීම් ඇති මේ ජනතාව පැමිණීම ගැන මගේ ස්තූතිය පිරිනමනවා. මේ ආසනයේ නව සංවිධායකවරයා දිස්ත්‍රික්කයේ අනෙකුත් සංවිධායකවරුන් සමඟ ගෙනයන වැඩපිළිවෙළ මම අගය කරනවා. මියුරු භාෂිත ඉතාම දක්ෂ සංවිධායකවරයෙක්. අද රත්නපුරයට පැමිණ දෑල රාජකීය විද්‍යාලයේ නව ගොඩනැඟිලි දෙකක් විවෘත කළා. එයින් පසුව පක්ෂයේ කාර්යාලයක් විවෘත කළා. එයින් පසුවයි මේ දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතුවලට නායකත්වය දෙන ඔබ හමුවන්න මෙතනට අවේ. මේ දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රශ්න මොනවාද. මේ දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රශ්න වෙනුවෙන් අපි ආණ්ඩුවක් ලෙස ගෙන තිබෙන වැඩපිළිවෙළ මොනවාද.

වැවිලි ආර්ථිකයක් හා මැණික් සම්පත තිබෙන කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් වාගේම ජාතික ආර්ථිකයට ශක්තියක් දෙන දිස්ත්‍රික්කයක් රත්නපුර. නමුත් ඉතාම අඩු ආදායම්ලාභී දුප්පත් ජනතාව විශාල පිරිසක් ඉන්නවා. බලයට පත් සෑම රජයක්ම යම් යම් වැඩ කොටස් කර තිබෙනවා. නමුත් මේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ප්‍රශ්නය විසඳන්න සෑම රජයක්ම අපොහොසත් වී තිබෙනවා. පසුගිය කාලය තුළ අපි මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා රත්නපුර ගංවතුර උවදුර පරිසර විනාශයත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය වළක්වන්න ගත යුතු ප්‍රධාන පියවරයන් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. මේ ගැන 1950 ගණන් වලත් වාරිමාර්ග ඉංජිනේරුවරු සක්‍යතා අධ්‍යයන වාර්තා තිබෙනවා. මේ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වයන් වළක්වන්න කරන පර්යේෂණ, එම වාර්තා, ව්‍යාපෘති කරන්න විශේෂයෙන්ම බලයට පැමිණි ආණ්ඩුවලට අවස්ථාවක් ලැබුණේ නැහැ අදාළ ප්‍රදේශයන්හි විරෝධතා නිසා. නිමල් සිරිපාල ද සිල්වා මහතා වාරිමාර්ග ඇමැතිවරයා වශයෙන් මේ ප්‍රදේශවලට පැමිණ ජනතාවගෙන් ඇති වූ විරෝධතා නිසා පසු බැස්සා.

අපි රජය විදියට මූලික වශයෙන්ම තීන්දු කළා විරෝධතා ඇති කරන ජනතාවට කරුණු පැහැදිලි කර රත්නපුර, කළුතර දිස්ත්‍රික්කවල විශාල වශයෙන් ගංවතුර තත්ත්වයන් වළක්වන්න කළ යුතු කළු ගඟ සංවර්ධන යෝජනා ක්‍රමය, කළු ගඟ හැරවීම කටයුතු ඉක්මණින් කළ යුතුයි. මේ අනුව අපි විදේශ ආධාර ගන්න සාකච්ඡා කර මේ වනවිට සාර්ථක ප්‍රතිඵල තිබෙනවා. ඒ නිසා අපි මූලික වශයෙන්ම මේ දිස්ත්‍රික්කයේ බලාපොරොත්තු වෙනවා මල්වල වැව සදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ඇඹිලිපිටිය ප්‍රදේශයේ කන්ද ඇළ, පනාමුරේ ප්‍රදේශයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය වසරේ මේ රටේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ගෙන්වා රැස්වීම් දෙකක් තිබ්බා. මේ වසරේ රැස්වීම් තුනක් තිබ්බා. රත්නපුර, කළුතර, සබරගමුව පළාත, කෑගල්ල මේ විශාල ජලකද පරිසර විනාශයක් කර, ගෙවල් දොරවල් විනාශ කරගෙන මුහුදට යනවා. අපි එය උතුරට හැරවීමේ යෝධ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් කතා කර තිබෙනවා.

කිසිඳු පරිසර හානියක් සිදුනොකර, ගස් කපන්නේ නැතිව, කඳු කපන්නේ නැතිව, ගෙවල් හානියට පත් කරන්නේ නැතිව නව තාක්ෂණය තුළ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු කණ්ඩායමක් පත්කර කටයුතු කරගෙන යනවා. ඒ සඳහා අපිට ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය, ලෝක බැංකුව මුදල් ඉල්ලා තිබෙනවා. බොහෝ විට මේ අය මම මේ කියන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අත්දැකීම් ලබා නැහැ. නමුත් මැදපෙරදිග කාන්තාර රටවල කිලෝමීටර් දහස් ගණන් නළ මඟින් තෙල් ගෙනියනවා. විශාල නළ මගින් ඒවා ගෙනයනවා. අපිට කිලෝමීටර් 200ක් 250ක් තමයි තිබෙන්නේ අනුරාධපුරයට, වවුනියාවට, කිලිනොච්චියට, මුලතිවුවලට මේ ජලකද හරවන්නේ යෝධ නළ මඟින්. කිසිදු පරිසර විනාශයක් වෙන්නේ නැහැ. ඒ අනුව එක් පැත්තකින් මල්වල වැව ප්‍රතිසංස්කරණයත් ඇඹිලිපිටිය, පනාමුරේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් ජාත්‍යන්තර මූල්‍යාධාර අරගෙන මේ විශාල ජලකද උතුරට ගෙනයන්න ව්‍යාපෘතිය කරන්න සක්‍යතා අධ්‍යයන වාර්තාව හදන්න මේ වනවිට උපදෙස් දී තිබෙනවා.

එය තමයි පරිසර විනාශයක් සිදුනොකර ලෝකයේ නව තාක්ෂණික ශිල්පීය දැනුම සමඟ එය කරන්න පුළුවන්. මේ අත්දැකීම් මේ රටේ ජනතාවට තවම නැහැ. නමුත් ලෝකයේ රටවල එවැනි ව්‍යාපෘති දැක තිබෙනවා. ඒ නිසා ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ට උපදෙස් දුන්නා මේ වාර්තාව ඉක්මනින්ම හදා දෙන්න කියා. මෙය ඉක්මණින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ නිසා මේ දිස්ත්‍රික්කයේ තිබෙන ගංවතුර ප්‍රශ්නය වැළැක්වීම සඳහා මූලික පියවර මේ වනවිටත් ගෙන තිබෙනවා. මෙයට යම් කාලයක් ගත වෙනවා. දීර්ඝ කාලීන වැඩක්. නමුත් කිසිදු රජයක් එවැනි ව්‍යාපෘතියක් සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ නැහැ. නමුත් අපි ඒ කටයුතු ආරම්භ කර තිබෙනවා. අපි එය ඉදිරියට ගෙනයනවා. මැණික් සම්පත ඇති දිස්ත්‍රික්කයක් ලෙස දුප්පත් ජනතාවට ඇළ, ගංගාවලින් කූඩයෙන් මැණික් ගරන්න දෙන්නේ නැහැ කියා චෝදනා තිබෙනවා. මම පරිසර ඇමැතිවරයා ලෙස පසුගිය කාලයේ යම් යම් උපදෙස් දුන්නා. වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිසියට හා අදාළ රජයේ නිලධාරීන්ට උපදෙස් දෙනවා රත්නපුර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ජනතාවට ගංගාවල, ජලාශවල කූඩයෙන් මැණික් ගරන්න ඉඩ දෙන්න කියා.

ඒ අවසරය දීමට මම කටයුතු කරනවා. ඒක මේ සතියේ සිටම ක්‍රියාත්මක කරනවා. පොලිසිය, විශේෂ කාර්ය බළකායට, මැණික් සංස්ථාවේ නිලධාරීන්ට, පරිසර ආයතනවල නිලධාරීන්ට ‍උපදෙස් දෙනවා සාමාන්‍ය ජනතාවට මෙතෙක් කළ හිරිහැර, කරදරය කරන්න එපා කියා. පසුගිය වසර තුනහමාරක කාලය ගත්විට කාටහරි කියන්න පුළුවන් ද අපි වැඩ කරන්නේ නැති ආණ්ඩුවක් කියා. මේ රටට තිබුණු ප්‍රධාන කරදර ඉවත්කර ගැනීම තමයි ජනාධිපති ධුරයට පත්වෙලා මම පළමුවෙන්ම කළේ. ජාත්‍යන්තර වශයෙන් තිබුණු බලපෑම් ඉවත් කළා. 2015 වසරේ ජනවාරි ජනාධිපති ඡන්දයට කළ කතාවල් දැන් කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ කාලේ මාතෘකා දැන් ශ්‍රී ලංකාවේ කොතැනක හෝ සාකච්ඡා වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාට බලයේ ඉන්න අවුරුදු දෙකක් තිබිය දී ඡන්දයට ගියේ ඇයි කියන කාරණය පිළිබඳ කරුණු අද කොහේවත් කතා කරන්නේ නැහැ. ජාත්‍යන්තර යුද අධිකරණ, විදුලි පුටු, විදේශ විනිශ්චකාරවරු ඒ සියල්ල මම ඉවත් කළා.

ජාත්‍යන්තරය හොඳ හිත දිනා ගත්තා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට ලෝකයේ සියලු රටවල් මිත්‍ර රාජ්‍යයන් බවට පත්කරගෙන තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය ආයතන අපෙන් ඉවත්වී සිටියේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය අපෙන් ඉවත්ව සිටියා. ප්‍රබල රටවල් අපෙන් ඉවත්ව සිටියා. අපෙන් අහනවා ඇතැමුන් මේ ආණ්ඩුව මොනවා ද කළේ කියලා. කළ දේවල් ඒවා තමයි. ඒ ඈත්ව සිටි අය ළංකර ගත්තා. අපේ මිතුරන් කර ගත්තා. අද ඒ හැම අයෙක්ම අපේ රට සංවර්ධනය කරන්න උදවු කරනවා. මම දින තුනකට පෙර අපිට සල්ලි දෙන ජාත්‍යන්තරයේ සියලු නියෝජිතයන් හමු වුණා. අපිට උදවු කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඒ අය මට කිවුවා. පැය දෙකහමාරක් ඒ සාකච්ඡාව තිබුණා. අපිට ඒ අය උදවු කරනවා. අද අපිට ආණ්ඩුවක් කරන්න මුදල්වලින් කිසිදු ප්‍රශ්නයක් නැහැ. දේශපාලන ප්‍රතිවාදීන් නොයෙක් දේ කියනවා. විවේචනය කරනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක හැටි. විරුද්ධ පක්ෂයේ ජොබ් එක විරෝධතා හා විවේචනයයි. ආණ්ඩුව තිබෙන්නේ වැඩ කරන්න. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මම ශක්තිමත් කර තිබෙනවා. ඒක මුළු ලෝකය පිළිගන්නවා. ඒක නිසා තමයි පසුගිය සතියේ ලෝකයේ රටවල් හතකින් සැදුම්ලත් බිම්ස්ටෙක් සංවිධානයේ සභාපතිත්වය මට බාර දුන්නේ. ඒ අපි කෙරෙහි තිබෙන විශ්වාසය නිසයි. ජාත්‍යන්තර වශයෙන් ඒ සහයෝගය අපිට තිබෙනවා.

ලබන 24 දා මම එක්සත් ජාතීන්ගේ සමුළුව අමතනවා. මම එහි දී නව යෝජනාවක් ඉදිරිපත් කරනවා. එහි කරුණු මම කියන්නේ නැහැ. මේ රටේ සංවාදයට ලක්වන බොහෝවිට මාව විවේචනයට ලක්වන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී මම ඉදිරිපත් කරනවා. අපේ ආරක්ෂක හමුදාවන්ට තිබෙන චෝදනා ඉවත් කර ගැනීම, ඒ වගේම එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අපි අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත, මේ සම්බන්ධයෙන් කුමන වැඩපිළිවෙළක් ද ඉදිරියේ දී ක්‍රියාත්මක කළ යුත්තේ කියා එක්සත් ජාතීන්ගේ සංවිධානයට, මානව හිමිකම් කවුන්සලයට 24 දා නව යෝජනාවක් ඉදිරිපත් කරනවා. එය බොහෝ විට විවේචනය වෙයි. නමුත් අපිට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් ජයග්‍රහණය කර ගන්න හැකිවෙයි කියා මා විශ්වාස කරනවා. ඒ නිසා ආණ්ඩුවක් විදියට අපි හොඳින් වැඩ කරගෙන යනවා. ඒ වැඩ කරගෙන යනවිට විවේචන එන එක සාමාන්‍ය දෙයක්. අපි රටක් ලෙස සෑම දිස්ත්‍රික්කයකම විශාල සංවර්ධන කොටසක් කෙරෙනවා. දුප්පත් ජනතාවගේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ දීමනාව වැඩි කළා. පාසල් සිසුන්ට රක්ෂණයක් දී තිබෙනවා.

මේ රටේ කිසිම ආණ්ඩුවක් පාසල් සිසුන්ට එවැනි රක්ෂණාවරණයක් දී තිබුණේ නැහැ. රජයේ සේවකයන්ගේ පඩි වැඩි කළා. ගොවීන්ගේ වී මිල වැඩි කළා. මේ ආකාරයේ ලැයිස්තුවක් කියන්න පුළුවන්. මේ අතරවාරයේ රටේ තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය තුළ නොයෙක් දේ කතා කරනවා. පසුගිය 5 පොහොට්ටුවේ මහත්වරු කොළඹ විරෝධතාවක් තිබ්බා. එය විශාල ජයග්‍රහණයක් කියා පොහොට්ටුවේ කට්ටිය කියනවා. ඒක ජයග්‍රහණයක් නොවෙයි පොහොට්ටුව බංකලොත් කියා එක්සත් ජාතික පක්ෂය කියනවා. මේ පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය දෙගොල්ලම තම තමන් ගැන දේශපාලන වශයෙන් අධි තක්සේරුවක ඉන්නවා. පොහොට්ටුව හිතනවා නම් ඒ අයට තනියෙන් ආණ්ඩුවක් හදන්න පුළුවන් කියා ඒක මිථ්‍යාවක්. එක්සත් ජාතික පක්ෂය හිතනවා නම් තනිමය ආණ්ඩුවක් හදන්න පුළුවන් කියා ඒකත් මිථ්‍යාවක්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට පසුගිය පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයෙන් ලක්ෂ 15ක් ඡන්දය ගත්තා.

ඒ ලක්ෂ 15ත් සමඟ ඡන්ද ප්‍රතිඵලය පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලයට සංසන්දනය කළාම ප්‍රතිඵල එන්නේ කොහොමද. ඒ ප්‍රතිඵලය අනුව පොහොට්ටුව පාර්ලිමේන්තුවේ ආසන 102 එන්නේ. ආසන 102කින් ආණ්ඩුවක් හදන්න බැහැ. අපි ලක්ෂ 15ක් ගත්තා. පක්ෂයේ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ ආරම්භ කළා. ඉතාම සාර්ථක ලෙස පසුගිය මාස තුන හතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාර්ථකත්වයට පත්ව තිබෙනවා. අපේ බලමණ්ඩලවලට දෙතුන්දාහ ආවා. පෙබරවාරි 10 දා තිබූ ලක්ෂ 15 දැන් ලක්ෂ 20ට ගෙනත් තිබෙනවා. පොහොට්ටුවටවත් එක්සත් ජාතික පක්ෂයටවත් අපි නොමැතිව ආණ්ඩු හදන්න බැහැයි කියන එක පැහැදිලිව කියනවා. ඒ නිසා අපි ඉදිරියේ තව තවත් ශක්තිමත් වෙන්න ඕන. පක්ෂය ගොඩනඟන්න ඕන. සංවිධාන ශක්තිය වැඩි කළ යුතු වෙනවා. පක්ෂයක් වුණාම ප්‍රතිපත්තියක්, දර්ශනයක් තිබෙන්න ඕන. අපි එක්සත් ජාතික පක්ෂයත් සමඟ එකතු වෙලා කියා චෝදනා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වුණේ මහින්ද රාජපක්ෂ මහතාට කරන්න නොහැකි වූ දේ කරන්නයි. ඒක අපි කළා. මොකක්ද ජාත්‍යන්තරය ජයග්‍රහණය කර ගන්න එක.

රට වෙනුවෙන් තිබුණු ජාත්‍යන්තර විරෝධතා ඉවත්කර ජාත්‍යන්තරය මිත්‍රශීලී කර ගන්න එක. ඒක අපි කළා. ඒ අනුව තමයි ලෝකයේ හැම රටකින්ම ආධාර ගලාගෙන එන්නේ. මොරගහකන්දට දැන් රටවල් රැසකින් සල්ලි හම්බ වෙනවා. ඒ යටතේ වන වැව් 2,400ක් සඳහා මුදල් ලැබී තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවක් විදියට අපි ඒ කටයුතු කරගෙන යනවා. එක්සත් ජාතික පක්ෂයත් පොහොට්ටුවත් දේශපාලන වශයෙන් අධිතක්සේරුවකට එනවා නම් ඒක ඒ අය වරද්දා ගන්නා දෙයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි දන්නවා අපි ඉන්නා තැන කොතැනද කියා. ඒ නිසා ශක්තිමත් වන්න ගත යුතු සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා. පෙබරවාරි 10ට වඩා අපි ශක්තිමත්ව තිබෙනවා. ඒ ගැන සමීක්ෂණයක් සිදුකර තිබෙනවා. අද සමහර අය ඉදිරි ජනාධිපති ඡන්දයක් ගැන කතා කරනවා. ජනාධිපති ඡන්දයක් ඉක්මණට එනවා කියා ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් කියා තිබෙනවා. ජනාධිපති ඡන්දයක් ගැන කතා කරන්න කාටවත් අයිතියක් නැහැ. නියමිත කාලයට කලින් ඡන්දයක් තිබෙනවා නම් එය තීරණය කරන්න පුළුවන් මට විතරයි. වෙන කාටවත් බැහැ. නියමිත කාලයට දවසකට වත් කලින් ඡන්දයක් තියන්නේ නැහැයි කියා මම කියනවා.

මීළඟට හදන ආණ්ඩුවක වැදගත් වන්නේ කුමන තනතුරද. ජනාධිපතිධුරය ද අගමැතිධුරයද. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය 2015 දී අපි සම්මත කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ බලතල විශාල වශයෙන් අඩු කළා. ඊළඟ මැතිවරණයකින් පස්සේ ජනාධිපතිවරයාගේ බලතල ඉතාම සීමිතයි. ඒ අනුව අලුතින් පත්වන ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යංශය තිබෙනවා. ඒ හැරෙන්නට දැන් තිබෙන බලතලත් අඩු වෙනවා. මීළඟ මැතිවරණයකින් රටේ ප්‍රධාන තනතුර වන්නේ ජනාධිපති ධුරය නොවෙයි අගමැති ධුරයයි. ඒ නිසා මේ රටේ ජනතාවගේ සංවාදය දේශපාලන වශයෙන් විය යුත්තේ ඊළඟ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න නොවෙයි. ඉළඟ අගමැතිවරයා කවුරුන් ද යන්නයි සංවාදයට ලක්විය යුත්තේ. මේ රටට හොඳ අගමැතිවරයෙක් පත්කර ගැනීමයි. ඒ අගමැතිවරයා හොඳ අගමැතිවරයෙක් කියන්නේ රටට ආදරය කරන, දේශීයත්වය අගය කරන, අපේ සංස්කෘතීන් හා වටිනාකම්වලට අගයක් දෙන, අපේ ඉතිහාසය සමඟ වගකීම් සම්බන්ධයෙන් කටයුතු කරන සැබෑ අංවක දූෂණයෙන්, වංචාවෙන් තොර අගමැතිවරයෙක් තමයි රටට අවශ්‍ය වන්නේ ඊළඟ මැතිවරණයෙන් පස්සේ.

19 වැනි සංශෝධනය තුළ රටේ බලධාරියා ඊළඟ මැතිවරණයෙන් පස්සේ ජනාධිපතිවරයා නොව අගමැතිවරයායි. ඒ නිසා ඡන්දයක් ගැන, ජනාධිපතිධුරයක් ගැන කතා කරමින් අනවශ්‍ය දේශපාලන උණුසුමක් සැදිය යුතු නැහැ. දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන වශයෙන් සංවාද කරන අයත් අවධානය යොමු කරන්න ඕන ඊළඟ මැතිවරණයෙන් පසුව රට ඉදිරියට ගෙනයන්න හොඳ අගමැතිවරයෙක් කවුද තෝරා ගන්නේ ඒ අගමැතිවරයා කවුරුන් ද විය යුත්තේ යන්න ජනතාවගේ සාකච්ඡාවට ලක්විය යුතු වෙනවා. ජනාධිපති ධුරයක් ගැන කතා කරකර අපි මේ වැරැදි පාරක යන්නේ. ජනාධිපතිධුරය පිළිබඳ 2015 වසරේ ජනවාරි 8 මැතිවරණයේ දී මම පොරොන්දුවක් දුන්නා ජනාධිපතිධුරයේ බලතල අහෝසි කරන බවට. ඒක මම ඉටුකර තිබෙනවා. ලෝකයේ කිසිම නායකයෙක් බලයට පැමිණ තමාගේ බලතල තමා විසින් ඉවත්කර නැහැ. ඒක මම කර තිබෙනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය රටට, ලෝකයට මම පෙන්වා තිබෙනවා. ලෝකයේ කිසිවකු බලයට පැමිණි පසුව බලයේ සිටිය දී තම බලතල දීලත් නැහැ. දෙන්න ලෑස්ති වෙලත් නැහැ. මම ඒ දේ කර තිබෙනවා.

මම ගැන මොන විවේචන කළත්, සමාජ වෙබ් අඩවි නින්දා අපහාස කළත්, දේශපාලන වශයෙන් ප්‍රතිවාදීන් කුමක් කීවත් අද කතා කරන කිසිවකු නොකරන දේ මම කර තිබෙනවා. රාජාණ්ඩුක්‍රමයට ජනාධිපතිවරයාට තිබුණු බලතල ලෝකයේ කිසිම නායකයකු නොකළ දේ මම ඉටුකර තිබෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර පොඩි මිනිහා ඉහළට ගන්න හැකි පදනම ඇති කර තිබෙනවා. ඒක තමයි බණ්ඩාරනායක ප්‍රතිපත්තිය. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය. මේ රටට ඔබින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනයයි. මේ රටේ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයට අවශ්‍ය වන්නේ පොදු මහජනතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක දර්ශනයෙන් උරුම කළ දේශපාලන ව්‍යාපාරයයි. එහෙම නැතිව බොහෝ ලොකුවට කතා කරන අයට ප්‍රතිපත්ති නැහැ. දර්ශන නැහැ. පුද්ගලයන් වටා එක් වුණු දේශපාලන ව්‍යාපාර අද ගොඩනැඟී තිබෙනවා. පුද්ගලයන් වටා හැදෙන දේශපාලන ව්‍යාපාරය බොහොම කෙටි කාලීනයි. ඒවා බොහොම අවිනිශ්චිතයි. ඒවා තාවකාලිකයි. රටකට අවශ්‍ය වන්නේ ප්‍රධාන වශයෙන් දේශපාලන දර්ශනයක්. ප්‍රතිපත්තියක් රට ගොඩනඟන්න අවශ්‍යයි.

මේ රටේ ඉතිහාසය, මේ රටේ සංස්කෘතිය, ශිෂ්ඨාචාරය සහ අපේ වගකීම් හා උරුමයන් සියල්ලට වටිනාකම් දුන්න ඉතිහාසයක් තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. ඒ නිසා අපිට අනාගතයේ හෙට දවස වෙනුවෙන් ජාතියේ අනාගතය සඳහා ලෝකයේ අනෙකුත් රටවල් සමඟ තරගකාරීත්වයෙන් ඉදිරියට යන්න ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ප්‍රබුද්ධ ජාතියක් ලෙස ගොඩනැඟෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර ඉදිරි මැතිවරණයක් තුළ මේ රට ඉදිරියට ගෙනයන්න හොඳ අගමැතිවරයෙක් තෝරා ගන්න කියා ඉල්ලා සිටිනවා. රට සහ හෙට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් ‍සේවා නි‍යෝජ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා-අපේ පක්ෂය ඉදිරියට ගෙන යාහැකි ආකාරය සම්බන්ධයෙන් අපිට ලබා දී තිබෙනවා. ගමට බැස කරුණු අවබෝධ කරදීම අවශ්‍ය වෙනවා. ජනතාව දැනුවත් කිරීම තුළ යම් මට්ටමින් වැටී තිබෙන අපේ පක්ෂය ගොඩනඟන්න හැකි බව මෙයින් පැහැදිලි ලෙස පේනවා. මේ දිස්ත්‍රික්කයේ අනෙකුත් සංවිධායකවරුත් සමඟ මියුරු භාෂිත වැඩ කරයි කියා සිතනවා. ජනවාරි මස 8 දා අපේ පක්ෂයට සිදු වූ දේ දන්නවා. එවකට අපේ නායක මහින්ද රාජපක්ෂ මහතාට බොක්කෙන්ම වැඩ කළා. අපේ පක්ෂයේ නායකයා ලෙස එතුමා වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කළා. එතුමාගේ පරාජය සමඟ අපේ පක්ෂයත් පරාජයට පත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මහා මැතිවරණයෙන් ද පරාජයට පත් වුණා.

එතුමා ජාතික රජයක් පිහිටුවා අපිට ආරක්ෂාව සලසා දුන්නා. ඒ මහතා පක්ෂය කළමනාකරණය කළා. එදා අනුර, මෛත්‍රී කල්ලිය පැමිණ අපේ පක්ෂය බලෙන් අල්ලා ගත්තා. එදා කතානායක නිල නිවෙසට අපිව කැඳවා මහින්ද රාජපක්ෂ මහතා කිවුවා මෛත්‍රීට මම පක්ෂය බාර දෙනවා කියා. එහෙමයි අපි ජාතික ආණ්ඩුවට එකතු වුණේ. නමුත් දැන් අපි එක්සත් ජාතික පක්ෂයට කාඩේ යනවා කියනවා. එක්සත් ජාතික පක්ෂයෙන් 17 දෙනකු අරගෙන මුලින්ම ජාතික ආණ්ඩුවක් පිහිට වූයේ හිටපු ජනාධිපතිවරයායි. එතුමා කරන විට වැරැද්දක් නැහැ. නමුත් මෙතුමා කරන විට වැරැදියි.

දැන් අපිට කියනවා ආණ්ඩුවෙන් ගැලවී එන්න කියා. අපි ආණ්ඩුවේ හිටියේ මේ රට නිසි මාවතකට ගෙනයන්න. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට පමණක් ඉදිරියට නොදී සමබර කරන්න අපි පියවර ගෙන තිබෙනවා. බැඳුම්කර කොමිසම ගැන හැමදෙනාම දන්නවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු පියවර කුමක්ද. වහාම පූර්ණ බලැති කොමිසමක් පත් කරන්න කියා අපි කිවුවා. අපි ආණ්ඩුව තුළ සිටි නිසා එය කරන්න හැකි වුණා. මේකට එක්සත් ජාතික පක්ෂය වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. දැන් එහි වැරැදිකරුවන්ට දඬුවම් දෙන්නට හැකිව තිබෙනවා. ශ්‍රී ලන්කන් එයාලයින් කොමිසම ගැන බලන්න. නිශාන්ත වික්‍රමසිංහ මහතා වැඩ කර තිබෙන්නේ කොහොමද. බිලියන 200ක පාඩුවක් අපේ රජයට හා මේ රටේ ජනතාවට ඇති කර තිබෙනවා. ඒ ගැනත් හොයන්න කොමිසමක් පත්කර තිබෙනවා. ඒවා සොයන්න ජනාධිපතිවරයා මූලික වුණා.

වාරිමාර්ග හා ජල සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති විජිත් විජයමුණි ‍සොයිසා මහතා- ජනාධිපතිවරයා මේ නිවිතිගල ආසනය සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. මෙය වමට රතු පාටට, නිල් පාටට කඳවුරු බඳින විට පළමු කඳවුර. මෙය ලෙහෙසි පහසු ආසනයක් නොවෙයි. අපේ පක්ෂය වෙනුවෙන් සටන්කාමී දේශපාලනඥයන් සිටියා. බෙදී ගිය ආසනය එකතු කරන්න මියුරු භාෂිත පත්කර තිබෙනවා. මේ පක්ෂය ඉදිරියට ගෙන යන්න ඒ මහතා සමඟ සම්බන්ධ වී කටයුතු කරයි කියා විශ්වාසයක් තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ අපිට නම් ඒ මහතා විශාල කරදරයක්. නමුත් ජනතාවට අවශ්‍ය දේ ඒ මහතා කර දෙනවා. අපේ මේ පක්ෂය ජයග්‍රහණය කරා ගමන් කරයි. නැවත තනි බලයක් ඇති පක්ෂයක් ලෙස ගොඩනඟන්න නායකත්වය දෙයි. ජනාධිපති ගැඹුරු දිය වගෙයි. ඒ මහතා ළඟ හැම දෙයක්ම තිබෙනවා. අවශ්‍ය වෙලාවට කළ යුතු හැම දෙයක්ම රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඉටු කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිවිතිගල ආසන සංවිධායක මියුරු භාෂිත ලියන‍ගේ මහතා-කෙටිකලක් තුළ මේ ආසනය මට දීලා මාවෙත ලබාදුන් සහාය මම පළමුවෙන්ම අගය කරනවා. මේ අවස්ථාවට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා සෙනෙහසින් පිළිගන්නවා. මා කෙරෙහි විශ්වාසය තබා ලබාදුන් මේ ආසනය ඊළඟ මැතිවරණවලින් මෙය දිනා දෙන්න කටයුතු කරනවා. මේ ආසනයේ ජනතාව ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා ජනතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙන බවට මට විශ්වාසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් අපි ඉදිරියේ දී කටයුතු කරනවා. මේ ආසනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකින් සමන්විත වෙනවා. සියලු ජාතීන් ජීවත් වෙනවා. මේ රටේ කවදාවත් මහා සෑයට උඩින් තවත් සෑයක් තිබුණේ නැහැ. ඒ නිසා ඉතිහාසය, දෛවය වෙනස් කරන්න බැහැ. හැම අයකුටම මේ රටේ වාර දෙකක් දී තිබෙනවා.

නිවිතිගල සංවර්ධනය ඇතුළත් නිවිතිගල සුචරිත දැක්ම යෝජනාවලිය ජනාධිපතිවරයාට ඉදිරිපත් කෙරිණි. කසළ කළමනාකරණ උපකරණ බෙදාදීම, පරිගණක ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ද මෙහි දී සිදුවිය.

පරිසර හා මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක, මුදල් හා ජනමාධ්‍ය නි‍යෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර සහ රත්නපුර වි‍ශේෂ එන්. පී. රාජ‍‍දො‍රේ
ඡායාරූප-ජනාධිපති මාධ්‍ය අංශය


නව අදහස දක්වන්න

Or log in with...