ආණ්ඩුව පෙරළන්න කොළඹට ආපු ඒකාබද්ධයේ සමහරු තරුපහේ හෝටල්වල ලැඟුම් ගත්තා | දිනමිණ

ආණ්ඩුව පෙරළන්න කොළඹට ආපු ඒකාබද්ධයේ සමහරු තරුපහේ හෝටල්වල ලැඟුම් ගත්තා

බේබද්දෝ කානුවල වැටී සිටි බව අගමැති හලාවතදී කියයි

ඒකාබද්ධයේ සමහරු පසුගිය පස්වැනිදා රාත්‍රියේ වත්මන් ආණ්ඩුව පෙරළා පසුදින අලුත් ආණ්ඩුවක් පත්කර ගෙන ඇමැතිකම් ගන්න කොළඹ තරුපහේ හෝටල්වල ලැඟුම් ගත් බවත්, ඉහළ ඇමැති තනතුරු විසිපහක් ගන්න හිටිය කට්ටිය ෂැංග්‍රිලා හෝටලයේ සිටිය බවත්, බබා හෝටලයේ ඉන්න කොට බේබද්දෝ කානුවේ බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (08) එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික්කයේ පක්ෂ බලමණ්ඩල රැස්වීම අමතමිනි.

හලාවත පෞද්ගලික උත්සව ශාලාවකදී මෙම රැස්වීම පැවැති අතර රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා මේ රැස්වීම සංවිධාන කැර තිබිණි.

මෙහිදී වැඩිදුරටත් කතාකළ අගමැතිවරයා මෙසේද පැවසීය.

මේ වේදිකාවේ දී මට ඉහත අදහස් දැක්වූ මැති ඇමැතිතුමන් සැප්තැම්බර් 05 වැනිදා කොළඹ පැවති උද්ඝෝෂණය ගැන කතා කළා. ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ලද එම උද්ඝෝෂණය මහාවිශාල බලයක් බවත් කොළඹ වටලන බවත් මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ගෙන ගියා. එමගින් මාත්, ජනාධිපතිතුමාත් පන්නා දමා ආණ්ඩු බලය ලබාගන්නා බවත් ඔවුන් ප්‍රකාශ කළා. එලෙස බලය ලබා ගැනීමට පැමිණි අය කොටසක් හිල්ටන් හෝටලයේත්, තවත් කොටසක් ටාජ් හෝටලයේත් කාමර වෙන් කරවා ගත්තා. එසේම තවත් පිරිසක් ෂැංග්‍රිලා හෝටලයේ කාමර 20 – 25 ක් පමණ වෙන් කරවා ගත්තා. අවසානයේ සිදුවූයේ කුමක්ද? බබා ෂැංග්‍රිලා එකේ. බෙබද්දෝ කානුවේ. අපි බලයේ සිටිනවා.

ජනතාවගේ මතය කුමක්ද කියා ඔවුන් හඳුනා ගත්තේ නැහැ. නමුත් ජනතා මතය කුමක්ද කියා 2015 දී අපට අවබෝධ කර ගැනීමට හැකි වුණා. අද අපි ඒ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට පියවර ගෙන තිබෙනවා. අපි එලෙස නොකරනවා නම් ඒ ජනතාව අපෙන් ඈත් වේවි. ඒ අයව ආරක්ෂාකර ගනිමින්, තවත් අය අපේ වැඩපිළිවෙළ සඳහා එක් කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි.

2015 දී අප මෙම ආණ්ඩුව බාර ගන්නා විට රට සෑම පැත්තකින්ම පිරිහීමට ලක්ව තිබුණා. නැති වී තිබූ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කළා. නීතිය හා සාමය ඇති කළා. මාධ්‍ය නිදහස තහවුරු කළා. නමුත් මාධ්‍යයට රටේ ඇතිවී තිබෙන මේ වෙනස පෙනෙන්නේ නැහැ. ඔවුන්අපට බනිනවා. ජනතාව කොළඹට ගෙන්වා අසාර්ථක උද්ඝෝෂණයක් කළ අයට බනින්නේ නැහැ. එය සාර්ථක උද්ඝෝෂණයක් බව ඇතැම් සති අන්ත පුවත්පත් වාර්තා කර තිබෙනවා.

මේ ආණ්ඩුව විවිධ දුෂ්කරතා මධ්‍යයේ විශාල වැඩකොටසක් රට වෙනුවෙන් ඉටු කළා. ඒ වගේම තවත් විශාල වැඩ කොටසක් කළ යුතුව තිබෙනවා. පසුගිය කාලයේ ස්වභාවික විපත් ගණනාවකට මුහුණදීමට අපට සිදුවුණා. ගොවි ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට පොහොර ලබාදීමට නොහැකි වුණා. මේ නිසා ගිය මැතිවරණයේ දී පළාත් පාලන ආයතන ගණනාවක බලය අපට අහිමි වුණා. මේ සියලු කරුණු කාරණා අවබෝධ කර ගනිමින් ඉදිරි වැඩකටයුතු අපි දියත් කළ යුතුයි. පක්ෂයේ දේශපාලන පණිවුඩය සමඟ අප ඉදිරියට යා යුතුයි. මීළඟ මැතිවරණය ඉලක්ක කර ගනිමින් දැන් සිටම අපේ වැඩ කටයුතු සැලසුම් කර ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. ගෙවුණු වසර තුන තුළ අප කළ වැඩ කටයුතු පිළිබඳව අපේ පාක්ෂිකයන් කරුණු විමසනවා. රට ඉතාම අසීරු තත්ත්වයකට පත්ව තිබූ අවස්ථාවක දී අපි රට බාර ගත්තා. අපි මේ රට බාර ගත්තේ අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට රට පාලනය කරන්න නොහැකි යැයි පැනල ගිය අවස්ථාවේදියි. වසර දෙකක් තිබිය දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඔහුට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. එදා ඔහු ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කෙළේ තවදුරටත් රට‍ ඉදිරියට ගෙන යාමට හැකියාවක් නොතිබූ නිසයි.

අපේ පාලනයේ අසීරුතම වසර තුන ගෙවා අවසන්කළා. එදා ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා විවෘත ආර්ථිකය ඇතිකළා. එතුමාගේ කාලයේ සිට 1994 අවසන් වන තෙක් විවෘත ආර්ථිකය නිසා රටේ නිෂ්පාදන අංශ දියුණු වුණා. කර්මාන්ත ශාලා ඉදිවුණා. වෙළෙඳ කලාප නිසා අලුත් ඇඟලුම් කර්මාන්ත ඇති වුණා. සංචාරක ව්‍යාපාරය දියුණු වුණා. රටේ වෙළෙඳ ව්‍යාපාර වැඩි වුණා. වාහන ආනයනය වැඩි වුණා. කුඩා තේවතු ව්‍යාපාරය දියුණු වුණා. ධීවර කර්මාන්තය දියුණු වුණා. මහවැලි ව්‍යාපාරය කඩිනම් කර රට සහලින් ස්වයංපෝෂිත කරන තත්ත්වයට පත් කළා. රටේ නිෂ්පාදනය විශාලලෙස වැඩි වුණත් එය 1994 සිට නතර වුණා.

1994 බලයට පැමිණි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුව, විවෘත ආර්ථිකය මගින් ඇතිවූ නිෂ්පාදන භුක්ති වින්දා. 1993 ඇගලුම් කර්මාන්ත ශාලා 200ක් ආරම්භ කළත් එහි නිෂ්පාදනය නිසි ලෙස ‍ලැබුණේ 1996, 97 සහ 98 කාලවල සිටයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණියා. ඔහු සිදුකෙළේ කුමක්ද? ඒ පාලන කාලය තුළ රටේ නිෂ්පාදන වැඩි කෙළේ නැහැ. සංවර්ධනයක් ගැන ඔහු අපට කියනවා. හම්බන්තොට වරාය හැදුවා. මාර්ග හැදුවා කීවත් එයින් රටේ නිෂ්පාදනය වැඩි වුණේ නැහැ. එදා ජේ.ආර්. ජයවර්ධන කාලයේ නිෂ්පාදනය වැඩි කිරීමට විශාල වශයෙන් ආයෝජකයින් මුදල් යෙදෙව්වා. ඒ අනුව රැකියා අවස්ථා උත්පාදනය කළා. ඔවුන් බදු ගෙව්වා. රජයක් ලෙස එදා අපට තිබුණේ යටිතල පහසුකම් සැපයීමට පමණයි. නමුත් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ සිදුවූයේ ඊට ප්‍රතිවිරුද්ධ දේයි.

හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, මහා මාර්ග හදන්න ණය ලබා ගත්තා. දැන් අපට එම ණය ගෙවන්න සිදුව තිබෙනවා. ඒ ණය ගෙවන්න රටේ නිෂ්පාදනයක් නැහැ. 1977 සිට 17 වසරක් රටේ ඇති කළ කර්මාන්ත ශාලා ඇතුළු අනෙකුත් නිෂ්පාදනවලින් ණය ගෙවීමට සිදුව තිබෙනවා.

ආණ්ඩුව බලයට පත් වුණාට පසුව අපි කල්පනා කෙළේ රටට බරක්ව පවතින මේ ණය කන්දරාව ගෙවා අවසන් කරන්නේ කෙසේද යන්නයි. ඉන් පසු නිෂ්පාදනය වැඩි කරන්නේ කෙසේද කියා අප කල්පනා කළා. සුදු අලියෙක් බවට පත්ව තිබූ හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගම සමඟ එක්ව ආර්ථිකය උපදවන තත්ත්වයට පත් කළා. මත්තල ද ඉන්දියන් සමාගමක් සමඟ ඒකාබද්ධව ව්‍යාපාරයක් ලෙස දියුණු කරනවා.

එමෙන්ම හම්බන්තොට සහ තවත් ප්‍රදේශ රැසක කර්මාන්ත කලාප ඉදිකිරීමට අප සැලසුම් කර තිබෙනවා. කර්මාන්ත ඉදිකිරීම සඳහා මේ වන විටත් බදු සහන ලබා දී තිබෙනවා. වයඹ හා මධ්‍යම පළාත් මූලික කර ගෙන මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම ආරම්භ කළා. නව වෙළෙඳ කලාප ගණනාවක් ඉදිකිරීමට අප පියවර ගෙන තිබෙනවා. එමෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ද අප පියවර ගෙන තිබෙන බව කිව යුතු යි. මේ අනුව ඉදිරිකාලය තුළ රටේ ශීඝ්‍ර දියුණුවක් අපේක්ෂා කරනවා. එහි ප්‍රතිඵල ලබන වසරේ සිට ජනතාවට ලැබීමට නියමිතයි.

ගෙවුණු වසර තුනක කාලය කොපමණ දුෂ්කර වුවත් අපි ජනතාව අමතක කෙළේ නැහැ. රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000කින් වැඩි කළා. සෑම ගැබිනි මාතාවකම රුපියල් 20,000ක් ලබා දුන්නා . හෘද රෝගීන්ගේ හදවත් සැත්කම් සඳහා භාවිතා කරන ස්ටෙන්ට් වල මිල විශාල ලෙස අඩුකළා. රුපියල් ලක්ෂ 15කට සීමා කර තිබූ පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වියදම් කරන මුදල සීමාවකින් තොරව ජීවිතාන්තය දක්වා ලබාගැනීමට අවස්ථාව සලසා දුන්නා. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල විශාල ලෙස අඩු කළා.

1990 සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කළා. එම සේවාව ආරම්භ කරන විට එදා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අය දෝෂාරෝපණය කළත් අද වනවිට එම ගිලන් රථ සේවය කෙතරම් සාර්ථක දැයි කියනවා නම් 5 වැනි දින උද්ඝෝෂණයට පැමිණි බේබද්දන් රෝහලට රැගෙන ගියේ ද එම ගිලන් රථ සේවය මඟිනුයි.

එපමණක් නොව , ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් 9000ක් සඳහා පහසුකම් ලබා දුන්නා. පාසල් දරු දැරියන් වෙනුවෙන් සුරක්ෂා රක්ෂණාවරණය ආරම්භ කළා. විදුහල්පති පුරප්පාඩු 4000 ක් සම්පූර්ණ කළා. මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 2500 සිට 5000 දක්වා වැඩි කළා. දැනට උදා ගම්මාන 1110ක් අවසන් කර තිබෙනවා. මධ්‍යම පාන්තික නිවාස වැඩපිළිවෙළ ආරම්භ කළා. වතුකරයේ ජනතාවට නිවාස හා ඉඩම් අයිතිය ලබාදීම ආරම්භ කළා. ඉඩම් හිමිකම නොමැති ජනතාව වෙනුවෙන් ඉඩම් හිමිකම් ඔප්පු ලබාදෙනවා. නිවාස නොමැති උතුරේ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම ආරම්භ කළා. මේ ආකාරයට ගෙවුණු වසර තුනක කාලය තුළ විවිධ අපහසුතා මධ්‍යයේ අප කළ වැඩ කටයුතු ගැන තවදුරටත් කතා කළ හැකියි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට සංචාරකයින් මිලියන 2ක් පැමිණ තිබෙනවා. ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීමට අපට හැකිවුණා. ධීවර ජනතාව නගා සිටුවීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම මහනුවර, කොළඹ, හම්බන්තොට ආදී ප්‍රදේශ ආවරණය කරමින් මාර්ග පද්ධති පුළුල් කර, කර්මාන්ත, වෙළෙඳ කලාප හා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා පියවර ගෙන තිබෙනවා. ග්‍රාමීය ප්‍රදේශ නගාසිටුවමින් ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් මේ වන විට අප ආරම්භ කර තිබෙනවා. රැකියා ලබාදීමට පියවර ගෙන තිබෙනවා. සමෘද්ධිය දීමනා ඉහළ දමනවා.

අප සිදු කළ මේ වැඩකටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. ඔබේ ගමේ ජනතාව ඔබට පහසුවෙන් දැනුවත් කළ හැකියි. බොහෝ අමාරුවෙන් වසර තුනක් මහන්සි වී, දුක් විඳිමින් වැපිරූ කෙතේ අස්වැන්නනෙළා ගැනීමට දැන් අපට අවස්ථාව උදාවෙමින් තිබෙනවා. එසේ නම් මේ අස්වැන්න අප ආරක්ෂා කර ගත යුතුයි. උද්ඝෝෂණ සඳහා ජනතාව කොළඹට කැඳවූ අයට සැලසුමක් හෝ විකල්පයක් ඇත්තේ නැහැ. ඔවුන්ට තිබෙන්නේ මාධ්‍යයේ හිස් බලය පමණයි. එයට බය වෙන්න එපා. අපි අපේ වැඩ කටයුතු කරමු. අපි මේ ආකාරයට ක්‍රියා කරමින් ජනතාව බලාපොරාත්තු වන නීතිගරුක රටක් ඇති කර ඉදිරියට යනවා නම් සෑම ප්‍රශ්නයක්ම විසඳීමට නොහැකි වුණත් අපි අවංකව වැඩ කරනු ඇතැයි ජනතාව විශ්වාස කරනවා. ඔබ සියලු දෙනා අද සිටම පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩකටයුතු ආරම්භ කළ යුතුයි. මක්නිසාද, පළාත් සභා මැතිවරණය ඉදිරියේ දී පැවැත්වෙනවා. පළාත් සභා මැතිවරණය නොපැවැත්වෙනු ඇතැයි සිතන්න එපා. එය කල් යනු ඇතැයි සිතන්නත් එපා. කුමන මැතිවරණයක් පැමිණියත් ඊට මුහුණ දී ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පියවර දැන් සිටම ගනිමු.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සහ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා, වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත අබේසේකර, හෙක්ටර් අප්පුහාමි, අශෝක් ප්‍රියන්ත යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීහු රැසක් සහභාගි වී සිටියහ.

මුන්නේශ්වරම් සමූහ
ඡායාරූප-අගමැති මාධ්‍ය ඒකකය 


නව අදහස දක්වන්න

Or log in with...