ණය ලබාදීමෙන් රත්නපුර දිස්ත්‍රික්කය පෙරමුණේ | දිනමිණ

ණය ලබාදීමෙන් රත්නපුර දිස්ත්‍රික්කය පෙරමුණේ

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ලංකා බැංකු තුරුණු දිරිය”

ලංකා බැංකුව මඟින් ක්‍රියාත්මක කරන “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය යටතේ තරුණ ව්‍යවසායකයින් 12 දෙනෙක් සඳහා ණය මුදල් නිදහස් කිරීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය දිවයිනෙන් පෙරමුණ ගැනීමට සමත්ව සිටී. මෙය අනාවරණය වූයේ 2018 සැප්තැම්බර් මස 05 වන දින ලංකා බැංකුව මඟින් සතිපතා නිකුත් කරන “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නවතම ප්‍රගති සමාලෝචන වාර්තාව මගිනි. මේ අතර, දිවයින පුරා තරුණ ව්‍යවසායකයින් 105 දෙනෙක් සඳහා මේ වන විට “තුරුණු දිරිය” ණය ලබා දී ඇත. පළාත් වශයෙන් ණය මුදල් නිදහස් කිරීමෙන් බස්නාහිර පළාත තරුණ ව්‍යවසායකයින් 26 දෙනෙක් උදෙසා ණය මුදල් නිදහස් කිරීම හේතුවෙන්, පළාත් අතුරෙන් පෙරමු‍ණ ගෙන සිටින බව එම වාර්තාව පෙන්වා දෙයි.

“තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය දිවයින පුරා විවිධ ව්‍යාපාරවල නියැළී සිටින තරුණ ව්‍යවසායකයින් උදෙසා විශේෂයෙන්ම නිර්මාණය කර ඇති ණය යෝජනා ක්‍රමයකි. මේ තුළින් ඔවුන් මුහුණදෙන ආර්ථික බාධකවලට සාර්ථකව මුහුණ දෙමින් ඔවුන් සිහින දකින තම ව්‍යාපාරයේ දියුණුව උදෙසා ළඟාවීමට ඔවුනට හැකිවී ඇත.

ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ, මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ එක්ව ක්‍රියාත්මක කරන “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය රටේ තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් උපාධියක් සහිත හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැළි තරුණ ව්‍යවසායකයින් උදෙසා ඇප/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි.

දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛාවලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකියැයි දන්වා සිටී.

 

නව අදහස දක්වන්න