නිලාර් එන්.කාසිම්ගේ සරස වසන්තය | දිනමිණ

නිලාර් එන්.කාසිම්ගේ සරස වසන්තය

රක්ෂණ ශ්‍රියන්ත
 නිලාර් එන්. කාසිම් මහතා විසින් සරස වසන්තය කෘතිය ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලද අයුරු.  ඡායාරූපය : සුදත් මලවීර

විශිෂ්ට ගී පද රචකයකු වන නිලාර් එන්. කාසිම් මහතාගේ 25 වසරක නිර්මාණ දිවිය ඇගයෙන සරස වසන්තය ප්‍රසංගය සහ ගීත සියයක් රැගත් ෆෑල්ෂ් ඩ්‍රයිව් ගීතාවලිය එළි දැක්වීමේ උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (07) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

සරස වසන්තය කෘතිය සහ ගීත සියයක් රැගත් ෆෑල්ෂ් ඩ්‍රයිව් ගීතාවලිය මෙහිදී නිලාර් එන්. කාසිම් මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා ද ඒ මහතාට සමරු සිහිවටනයක් ප්‍රදානය කළේය.

එම උළෙලේ ප්‍රධාන දේශනය මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා විසින් සිදුකළ අතර සමන් අතාවුදහෙට්ටි සහ නදීක ගුරුගේ යන මහත්වරුන් ද කෙටි දෙසුම් පැවැත්වූහ.

මේ උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ වත්මනේ රට තුළ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබෙන ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීමේ කාර්යයේ වැදගත් චරිතයක් ලෙස නිලාර් එන්. කාසිම් මහතා වැනි කලාකරුවන් හදුන්වාදිය හැකි බවය. මීට අමතරව නිලාර් එන්. කාසිම් මහතා විසින් රචනා කළ ගීත ඇතුළත් සීඩී පට තුනක් ද මෙහිදී එළිදැක්වුණු අතර ඒ මහතා විසින් රචනා කළ ගීත සජීවීව ගායනා කළ ප්‍රසංගයකින් ද මේ උළෙල වර්ණවත් විය.

ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී, රවින්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුඑ ප්‍රවීණ කලාකරුවන් රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න