ජනාධිපති එක් වූ අපූරු විවාහය | දිනමිණ

ජනාධිපති එක් වූ අපූරු විවාහය

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල අද (10) විවෘත  කළ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වසර 40කට වැඩි කාලයක් අවිවාහකව දරුවන් හත් දෙනකු බිහිකළ මව්පිය යුවළක් නීත්‍යානුකූලව විවාහ කරවීමට කටයුතු කළේය. 
 
මෙලෙස නීත්‍යානුකූළ විවාහ දිවියට පත්වූයේ හුංගම, තුඩුව පදිංචිව සිටි විදාන පතිරණගේ ප්‍රේමරත්න (59) සහ තිබ්බොටුව ගමගේ මාලනී (60) නමැති යුවළකි. නීත්‍යානුකූල විවාහයකට ඇතුළත් නොවූ මේ යුවල දරුවන් පිරිමි දරුවන් හතර දෙනකුගේ සහ ගැහැනු දරුවන් තිදෙනකුගේ මව් පියෝය. එම දරුවන් හය දෙනකු නීත්‍යානුකූළ විවාහ දිවියට ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. 
 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල 2016 වර්ෂයේ දී මුල්ගල් තැබිණි. එම ගොඩනැගිල්ල සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින්  රුපියල් ලක්ෂ 1100ක මුදලක් වැයකර එම තෙමහල් ගොඩනැගිල්ල ඉදිකරන ලදී. 
 
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් මහතා ඇතුළු මැති ඇමැතිවරු ද රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ. 
ගොඩනැගිල්ල විවෘත කළ අවස්ථාවේ දී පාසල් සිසු සිසුවියන්ට අධ්‍යාපනික ශිෂ්‍යත්ව ලබාදීම, ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම, සමාජ සුබ සාධන දීමනා ලබාදීම ද සිදුකෙරිණි. 
 

නව අදහස දක්වන්න