නළු නිළි­යො පවු­ඩර් බබාලා නෙමෙයි | දිනමිණ

නළු නිළි­යො පවු­ඩර් බබාලා නෙමෙයි

l සුරංගා රණ­වක

මෙවර ඕ. සී .අයි. සි. සම්මාන උළෙලේ හොඳ ම සහාය නිළිය ලෙස සම්මාන ලැබුවේ, සුරංගා රණවක ය. 2008 වර්ෂයේ 'අලිමංකඩ' චිත්‍රපටයේ කමලා වේලායුධන්ගේ චරිතය රඟපාමින් සිනමාවට පිවිසි ඇය, එම චරිතය වෙනුවෙන් 2009 වසරේ ඕ.සි.අයි. සි. සම්මා උළෙලේ හොඳ ම නිළියට හිමි සම්මානය දිනාගනු ලැබුවාය. මෙවර සම්මාන සඳහා නිර්දේශිත නිර්මාණ අතර පැවැති 'ප්‍රේමය නම්', 'සුළඟ ගිනි අරන්' හා 'නිම්නයක හුදකලාව' යන සිනමාපට තුනකටම ඇය තම රංගන දායකත්වය දී තිබුණි.

 

l ඔබ ක්ෂේත්‍රයට පය තබන සැණින්, සම්මානනීය නිළියක වුණා. නැවත නිර්මාණයකට එක්වන්නේ, සම්මානනීය බලාපොරොත්තු එක්කද ?

එහෙම බලාපොරොත්තුවක් කොහෙත්ම තිබුණේ නැහැ. මම හැම වෙලාවෙම ගුණාත්මක භාවයෙන් ඉහළ මට්ටමක තියෙන චිත්‍රපටවල රඟපාන්නයි කැමැති. මගේ තියෙන පෙනුම සහ අනෙකුත් කාරණා සලකා බැලුවහම, මට මහ පොළොවේ හැප්පෙන චරිත කරන්න පුළුවන් කියලා හැඟෙනවා. චරිතයක් හරියටම කරන්න වුවමනා නිදහස මට තියෙනවා.මම චරිතයක් කළහම, ඒ ඉන්නේ සුරංගා කියලා කියනවට වඩා , ඒ චරිතය ඉස්මතු වෙනවටයි කැමැති. මිනි

සුන් මා හඳුන්වන්නේ, මේ වනතුරු මා කළ චරිතවලින් ම තමයි.

l ඔබ වාණිජ සිනමාවෙන් බැහැරව සිටින නිළියක්ද?

වාණිජ වේවා, කලාත්මක වේවා, ගුණාත්මක භාවයෙන් ඉහළ නිර්මාණවල වැඩ කරන්න මම කැමැතියි. වැඩියෙන් ම කැමැත්තක් දක්වන්නේ, වාණිජ සිනමාවට. ඒත්, වාණිජ සිනමාවේ වැඩ කරන්න බොහෝ පිරිසක් ඉන්නවා.

l ඔබ රඟපා ඇති චරිත ප්‍රමාණය අතලොස්සක් වුණත්, ඒ හැම එකක්ම ජන ජීවිත එක්ක බද්ධ වූ චරිත. මෙවන් චරිතම ඔබට ලැබීමට හේතු විදිහට ඔබ දකින්නේ?

මහ පොළොවෙ පය ගහලා ඉන්න චරිත කරන්න බොහෝ අයට ඉඩ ලැබෙන්නෙ නැහැ. බොහෝ නිර්මාණවල තියෙන්නෙ කෘත්‍රිමව හදපු චරිත . චිත්‍රපට ශාලාවෙන් එළියට යද්දි, බොහෝ චරිත ප්‍රේක්ෂකයන්ට අමතකයි. මගේ ළඟ තියෙන්නෙ විසුළු පෙනුමක් නෙමෙයි. මම මගේ පෙනුම ගැන සතුටු වෙනවා . බොහෝ අය පෙනුමෙන් මං වගේ තමයි . ඒත්, එයාලා විවිධ දේ එක්ක බාහිර ස්වරෑපයෙන් වෙනස්. මම හිතන්නෙ, නිළියක් විදිහට අපි පෙනුමෙන් වෙනස් වෙන්න ඕනෙ, චරිතයට අනුව කියලයි. වෙන රටවල වුණත්, රංගන ශිල්පීන් පෙනුම ගැන හොඳ අවධානයක් යොමු කරනවා. ශරීරය තමයි අපි රංගන කාර්යයේදි භාවිත කරන මෙවලම. ඒ වගේම, ඒ විදිහට බාහිරට දෙන අවධානයම, අපේ ඇතුළාන්තය හදා ගන්න බොහෝ අය දෙන්නෙ නැහැ. තරුවක් වුණාට පස්සෙ, බොහෝ අයට සාමාන්‍ය ජීවිතය මඟහැරෙනවා. එතකොට චරිතයකට ඒ සාධාරණය දෙන්න බැරි වෙනවා. මම හැම වෙලේම එක ම දෙයයි කියන්නෙ. හොඳ නළුවෙක්, නිළියක්, අධ්‍යක්ෂකවරයෙක් වෙන්න කලින්, හොඳ මනුෂ්‍යයෙක් වෙන්න ඕනැ. අපේ තරුණ පිරිස්වලට වෙලා තියෙන්නෙ, ඒ අය හරි ම ආත්මාර්ථකාමි වීම නිසයි. තමන්ගෙ මනුස්සකම මඟහැරගෙන, අනෙක් ඔක්කොම ටික අරගෙන තමයි, ඒ අය තමන්ගෙ ගමන යන්න උත්සාහ කරන්නෙ.

l හොඳ නිර්මාණ හිමි වීම, එකී චරිතවල සාර්ථක ලෙස ජීවත් වීම හා ඇගැයීමට ලක් වීම යන කාරණා, ඔබගේ රංගන දිවිය හා බද්ධ වී පවතිනවාද?

නිර්මාණයක් ලැබුණහම, ඒ වෙනුවෙන් කාලය මම ඇති තරම් හොයා ගන්නවා. උදාහරණයක් විදිහට, ප්‍රේමය නම් චිත්‍රපටයේ චරිතය කරන වෙලාවේ ඒ චරිතය බොහෝ දර්ශනවල තිබෙන චරිතයක් නොවුණත්, මම හොයලා බලලා කියවලා තමයි චරිතයට යන්නෙ. ඒ දේවල් මම කියන්න කැමැතිත් නැහැ. මට ලැබන්නෙ පොඩි චරිතයක් වුණත්, කණ්ඩායමක් විදිහට වැඩ කරද්දි, කරන දේ හරියටම කරන්න මම උත්සාහ ගන්නවා‍.

ඒ වෙනුවෙන් කාලය සකසා ගන්න ඕනැ. ඒ වගේ ම, නිළියක් වුණහම, අප තුළ නිහතමානිකමක් තියෙන්නත් ඕනැ. ප්‍රේමය නම් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මේ සම්මානය හිමි වුණත්, මේ සම්මානය ප්‍රේමය නම් චිත්‍රපටයටම ගත්ත එකක් විදිහට සලකන්න මම කැමැති නැහැ. මෙවර මම රඟපෑ චිත්‍රපට තුනක් සම්මාන උළෙලට එක්වෙලා තිබුණා. ඒ නිසා ම, මේ සම්මාන උළෙල මට පුදුම ආලෝකයක් ගෙන දුන්නා. මේතැනදි ප්‍රේමය නම් වගේම, සුළඟ ගිනි අරන් හා නිම්නයක හුදකලාව යන චිත්‍රපට දෙකේ අධ්‍යක්ෂවරු ගැනත් මම මේ අවස්ථාවේ සිහිපත් කරන්නම ඕනැ. විමුක්ති ජයසුන්දර හා බුඩි කීර්තිසේන කියන නිර්මාණකරුවන්, සිනමාව ගැන හොඳටම උගත් අය.

l ඔබගේ රංගන දිවියේ සම්මානනීය මතක සටහන් මොනවද?

2008 අවුරුද්දෙ අලිමංකඩ චිත්‍රපටයෙ රඟපෑම වෙනුවෙන් 2009 හොඳ ම නිළිය විදිහට සිග්නීස් සම්මාන උලෙලේ සම්මානය හිමි වුණා. ඒක රිදී සම්මානය. ඊට පස්සෙ නැවතත් මට සම්මානයක් හිමි වුණේ 2018 දී. ඒ, ප්‍රේමය නම් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන්, හොඳ ම සහාය නිළිය විදිහට මට සම්මානය හිමි වුණා. මගේ රංගන කාලය පුරාම මට සම්මාන දෙකයි හිමි වෙලා තියෙන්නෙ . ඒ දෙක ම සිග්නීස් සම්මාන.

l සම්මානවලින් ලැබෙන වටිනාකම්, රංගන දිවිය ඉහළට රැගෙන යෑමට බලපෑම්ක්ද?

පළමුව මම රත්නම් මහත්මයට ස්තූතිවන්ත වෙන්න ඕනැ. ඔහුගේ අලිමංකඩ චිත්‍රපටය තමයි තමයි මට ලැබුණු පළමු චිත්‍රපටය. අලිමංකඩ චිත්‍රපටයේ කමලා වේලායුධන්ගෙ චරිතය. මම වැඩ කරපු චිත්‍රපට බොහොමයක වැඩ කිරීම හා චිත්‍රපට ආශ්‍රය කිරීම නිසයි මට මේ දේ ලබා ගන්න පුළුවන් වුණේ. මම තනියමයි මේ දේ ගොඩනගාගත්තෙ. හරි දේ හම්බ වෙනකම් මම බොහෝ සේ ඉවසුවා. ඒ වෙනුවෙන් මම බොහෝ සේ මහන්සි වුණා. සමහර වෙලාවට මට හිතෙනවා, මං ටික ටික වයසට යද්දි, කවුරුවත් මා අඳුරන එකක් නැහැ කියලා. ඒකට හේතුව, මෙගා ටෙලි නාට්‍යයක් හරි කරලා, ජනතාවට මා හුරු නැති නිසයි . ඒත්, මේ වගේ සම්මාන, මා ආයෙමත් ආපස්සට අදිනවා. නැහැ මම හොඳ දෙයක් කරන්න ඕන කියලා . කාලයක් ගියත්, මේ වගේ දේවලට ලැබෙන වටිනාකම ඉහළයි.

l ඔබේ ඉදිරි ගමන් මඟ පිළිබඳ ඔබට තිබෙන සැලැසුම් මොනවද?

විජිත ගුණරත්නගෙ, නුවන් ජයතිලක හා තවත් නිර්මාණවලට මම දායක වෙලා තියෙනවා. එම චිත්‍රපට ඉදිරියේදි තිරගත වෙන්න නියමිතයි. තරුණ නිර්මාණකරුවන් ඔවුන්ගේ නව නිර්මාණවලට මට අඬගහනවා. එතැනදි මම පළමු වැනියට සලකන්නෙ, ඔවුන් තුළ මානව සම්බන්ධතා පවතින්නේ කොහොමද කියලයි. නිර්මාණයකට අඬගැහුවම, මම ඔවුන් සමඟ බොහෝ සේ කතාබහ කරනවා. වැඩක් බාර අරන් අතරමඟදි දාලා යන්න හොඳ නැහැ. මම සාමාන්‍යයෙන් වැඩක් බාර ගත්තහම, ඒක අවසානය දක්වාම කරගෙන යන කෙනෙක්. මේ සාකච්ඡා පවත්වාගෙන යද්දි, ඔවුන් තුළ තියෙන මිනිසත්කම්, සමාජ සම්බන්ධතා ගැන මට වැටහීමකට එද්දි, මට ඒ නිර්මාණ අතහරින්න වෙනවා. මට ලැබිලා තියෙන අත්දැකීම අනුව, තරුණ අය හරි ම ආත්මාර්ථකාමියි . තමන්ගෙ ව්‍යාපෘතිය ගැන විතරයි හිතන්නෙ . ඒ නිසා, මම වැඩියෙන්ම කැමැති පරණ අය එක්ක වැඩ කරන්නයි.

l පවත්නා රටාව තුළ, ඔබ වෙනස් ගමනකට අත්තටු සලන නිළියක් විදහටයි මට හැඟෙන්නෙ?

මම කරන දේ හැමෝම බලන්න ඕනැ කියලා මට කිසිම අවශ්‍යතාවක් නැහැ . ඒකෙ වටිනාකම දන්න, නිර්මාණයක ගැඹුරක් හඳන්න මිනිස්සු ඒක බලනව නම් මම කැමැතියි . ඔවුන් මා කරන දේ අගය කරනවට, ඒක අගය කිරීමට ඔවුන් සමඟ ඇතිවන මානව සම්බන්ධතාවට මම කැමැතියි. චිත්‍රපටයක් කරලා, මගේ ගාන ගත්තා, එතැනින් එහාට මට අදාළ නැහැ කියන අදහස මම ළඟ නැහැ.ඒක තමයි මගේ ජීවිතයේ හැටි. මට මහ ලොකු දේවල් ඕන නැහැ . ලස්සන මිනිස්සු ටිකක් එක්ක, මගේ ජීවිතය බෙදා ගන්නයි මට ඕන.

l රූපවාහිනි මාධ්‍ය තුළ නිළියක් විදිහට ඔබ දකින්න නැහැ නේද?

නැහැ. රූපවාහිනියෙ දැන් හොද නිර්මාණ බිහි වෙනවා. අපි කුමන මාධ්‍යයකින් නිර්මාණ කළත්, අද අලුත් තාක්ෂණය එක්ක, ජංගම දුරකථනයට ඒ හැම දේම එනවා. සිනමාවද, වේදිකාවද ,ටෙලි නාට්‍යයද කියලා මාධ්‍ය ගැන හිතන්නෙ නැතිව, හොඳ චරිතයකින් ජනතාව අතරට යනවා කියන තැනයි මම ඉන්නෙ .

l ඔබ රංගනයට අමතරව කෙටි චිත්‍රපට නිර්මාණය හා චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වුණා නේද?

මම එහෙමම අධ්‍යක්ෂණයට යොමු වුණේ නැහැ. මම ක්ෂේත්‍රයට ආව මුල් කාලෙ, කෙටි චිත්‍රපට කිහිපයක් නිර්මාණය කළා. ඒ වපසරිය අතපත ගෑවට පස්සේ මට ඒකෙ දුරක් යන්න තවම අමාරුයි කියලා මට හැඟුණා. මේ මොහොතේ මට වැදගත් වෙන්නෙ, නිළියක් විදිහට මගෙන් සමාජයට යමක් කරන්න තියෙනවා නම්, එය ඉටු කිරීමයි. මේ විදිහට සම්මානයක් ලබලා, අපි කරන කියන දේ කියවලා, සමාජය යමක් ලබා ගන්නවා නම්, එයයි මට වටින්නෙ. සමාජය වටහා දිය යුත්තේ, නළුවෙක්, නිළියක් කියන්නේ, හුදෙක් පවුඩර් බබෙක් නෙමෙයි කියන එකයි.

ධම්මිකා සුරංජි පති­රණ

 

නව අදහස දක්වන්න