මිහි­ක­තගේ රූසිරිය කිතු­ල්ගල කුරුලු කැලේ | දිනමිණ

මිහි­ක­තගේ රූසිරිය කිතු­ල්ගල කුරුලු කැලේ

 

කිතුල් රෑණක් වන් කේශ කලාපය, කවියාට මෙන් ම සිත්තරාට ද තම දක්ෂතා ඔප් නංවන්නට උපකාරී වේ නම්, ඒ තරමට ම සිත්තරුන්ට ද ඒ සිතුවම් තෙළිතුඩකින් මවා පාන්නට හැකිවන්නේ ය. එනමුදු, ඒ සුන්දරත්වය අකුරු කරන්නට නම්, මට නොහැකි ය. ඒ තරමට ම මිහිදුම් සේල යට දැවටී ගත් කිතුල් රෑණ, සුන්දරත්වයෙන් අනූන ය. එවන් කිතුල් රෑන් පිටින් දැකිය හැකි මේ පෙදෙසේ, කිතුල් ගස් බොහෝ සෙයින් වූ නිසාවෙන් ම ,නිතැනින් ම "කිතුල්ගල" යනුවෙන් වහරට එක්වන්නේ ය.

කොළඹ සිට මැද කඳුරට දක්වා දිවෙන මාර්ගයේ හමුවන මේ කුඩා නගරය, කැලණිවැලි නිම්නයේ ජල පෝෂක පෙදෙසට අයත් වූවකි. සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙය අයත් ය. එක් පසෙකින් නුවර එළිය දික්ත්‍රික්කයේ මායිම අසල පිහිටා ඇති මේ නගරය, කොළඹ හැටන් ඒ 7 මාර්ගයේ පිහිටා තිබේ. කැලණි ගඟ මෙහි ඇති එක් මායිමකි. මෝසම් වැසිවලින් පෝෂණය ලබන්නා වූ මේ පෙදෙසෙහි, කිතුල් හකුරුත්, කිතුල් රා සහ කිතුල් පිටි නම් හිඟ නොවෙයි. ඒ කිතුල් ආශ්‍රිත බොහෝ නිෂ්පාදනවලට මෙහි වැසියෝ හුරු පුරුදුව සිටින හෙයිනි. අගනගරයේ සිට පැය දෙකහාමාරක් පමණ ගමන් කළ විට, මේ ඉසව්වට ළඟා විය හැකි ය. කාර්යබහුලව ගෙවන දිවියට විරාමයක් දෙන්නට මේ ගමන කදිම ය.

පැහැදිලි අහස ඇති දිනයක් නම්, ඒ කුරුලු ලෝලින්ට යහපත් දිනයකි. පරිසර සංචරණයෙහි යෙදෙන්නන්ට, මේ පුරවරය මෙන් ම කුරුලු කැලේ ද සුවිශේෂී වන්නේ එනිසා ම ය. කැලණි නදී තොමෝ තරමක් දුෂ්කර ගමන් මඟක් පසු කරන සෙයක් පෙනෙන්නට ඇත. ඇය ගල්කුළු අතරින් නොනැවතී ඉදිරියට ගලා යන්නේ, යෞවනත්වයේ සුරූපී බවත්, අභියෝග හමුවේ නොසැළෙන ගුණයත් ප්‍රකට කරමිනි.

අප කිතුල්ගලට ළඟාවන විට, උදෑසන අට පමණ වන්නට ඇත. උණුසුම් තේ සමඟ හකුරු කෝප්පයක් අප ඉදිරියේ ඇත. උණු උණුවේ ලැබෙන රොටිය සහ ලුණු මිරිස, ගත මෙන් ම, සිත ද ප්‍රාණවත් කරන්නට සමත් වෙයි. කිතුල්ගල සංචාරක හෝටලය ගමන් මගේ වෙහෙස නිවන නවාතැන් පොළකි. උදෑසන ආහාරයෙන් පසුව අපි පා ගමනින් අපේ සංචරණය ආරම්භ කළෙමු.

රක්ෂිත පිවිසුමෙහි වන අඩවි සංරක්ෂණ කාර්යාලයෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමෙන් අනතුරුව, කැලණි වැලි රක්ෂිතයට ඇතුළු විය හැකි ය. අවැසි නම් මාර්ගෝපදේශ සහය ද එතැනින් ලබාගත හැකි ය. ශ්‍රී ලංකාවේ පැරැණිතම රක්ෂිත අතරින් එකක් වන මාකන්දාව රක්ෂිතය, 1903 සැප්තැම්බර් 11 වැනි දින අංක 5911 දරණ ගැසට් නිවේදනය මඟින් හෙක්ටයාර 192ක බිම් පෙදෙසක් අයත් වන අයුරින් වනාන්තරයක් ලෙසින් ප්‍රසිද්ධියට පත් කර ඇත. ඒ බව දැක්වෙන පුවරුවක් මෙහි දැකිය හැකි ය. මෙහි යනෙනවුන්ට නැරැඹිය හැකි ස්ථාන සටහන් වන පුවරු කිහිපයකි. ඇතා වැටුණු වළ, ලේන්කිරි ඇල්ල, මකුළු ඇල්ල ඒ අතර වෙයි.

කැලණිවැලි රක්ෂිතයට හා සම්බන්ධ වනාන්තර පද්ධතියක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති මේ රක්ෂිතය , බංඩාර කැලේ, කුරුලු කැලේ යන අන්වර්ථ නාමවලින් ද හඳුන්වයි. මෙය, ජෛව විද්‍යාත්මකව ඉතා ම වටිනා දුර්ලභ ජීවින් විශේෂ රැසකට රැකවරණය සලසන්නා වූ කැලණි ගඟේ ජල පෝෂක වන බිමක් බවට, අධ්‍යයන මඟින් තහවුරු කර ඇත.

පහත රට තෙත් නිවර්තන ද්විතියික වනාන්තර වැස්මක් සහිත මේ ප්‍රදේශය , හොර ශාක ප්‍රමුඛ ශාක ප්‍රජාවන්ගෙන් සමන්විත ය. උද්භිද විද්‍යාත්මක පර්යේෂණවලට අනුව, ලෝකයේ ව්‍යාප්තව ඇති හොර ශාක කුලයට අයත්, මේ ප්‍රදේශයෙන් පමණක් වාර්තා වන හොර ශාක කිහිපයක් මෙහි දැකිය හැකි ය. ඒ Dipterocarpaceae නම් කුලයට අයත් වන Balanocarpus Kitulagallensis හොර ශාකයයි.

අපි කෙමෙන් ඉදිරියට ඇදෙන්නෙමු. මහා ගස් අතුපතර වැඩී ඇත. ඔවුන්ගේ බඳ වටා එතුණු වැල් ලියකම්, සොබා වර්ණනාවන්ට මංපෙත් විවර කරයි. දහවල හිරු රැසින් බේරී සුවසේ වැඩෙන උඩවැඩියා කුමරියෝ නම් , මේ තුරු ලතා මවුවරුන් සෙවණේ රැකවරණය ලබා, නිරුපද්‍රිතව වැඩෙන්නාහ. ශ්‍රී ලංකාවට ආවේණික හා වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති Tropoidia bambusifolia උඩවැඩියා විශේෂයට රැකවරණය සලසන්නා වූ එක ම වන බිම ද මෙය ය. ශ්‍රී ලංකාවේ ඉතා ම දුර්ලබ ආ‍වේණික උඩවැඩියා විශේෂයක් වන Bromheadia srilankensis හා Dendrobium microbulbon ශාක මේ වනයෙන් වාර්තා වේ. එමෙන් ම , ඉතා ම දුර්ලභ හා ජලජ උඩවැඩියා විශේෂය වන Malaxis thwaitesii ශාකය මේ වන බිමේ දියපහර ආශ්‍රිතව දැකගත හැකි බව, උද්භිධ විද්‍යා පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.

සිරුර අප්‍රාණවත් කරන්නා වූ පිළිකාව මෙන් ම, ගසටත්, වැලටත් පිළිකාවක් ලෙසින් ඔඩු දුවන්නේ පිළිල ශාකයි. එයින් ගස්වැල් සියල්ල අප්‍රාණිකව මරණය වැළඳ ගන්නා බව මතය වේ. මේ සොඳුරු වන බිමේ ශාක දෙස විමසිල්ලෙන් බලන්නකුට, එවැනි පිළිල ශාක ද හැදිනිය හැකි ය. පිළිල ශාකයක් වශයෙන් හඳුනා ගැනෙන Tolypanthus gradinari ශාකය ද , ශ්‍රී ලංකාවෙන් වඳ වී ගොස් ඇතැයි සටහන්ව තිබූ, එහෙත් කිතුල්ගල ආශ්‍රිත වන ලැහැබ්වලින් සොයා ගන්නට හැකි වූ කූඩළු ශාක විශේෂයක් ද, වන ගල්දෙමට ශාකයට ද, මේ වන බිමේ ඉතා සුවිශේෂ ස්ථානවලින් පමණක් ම වාර්තා වෙයි. හොඳින් දිය සීරාව සහිත හා හොඳින් හිරු එළිය ලැබෙන ස්ථානවල ගල්පර ආශ්‍රිතව මේ ශාකය දැකගත හැකි ය.

වන බිමෙහි මං පෙත් පැහැදිලිව ඇත්තේ මෙහි සංචරණය කරන්නන් බොහෝ දෙනකු නිතර එහි යනෙන බැවිනි. වියළි කොළවලින් සමන්විත වූ මේ මං තීරු, අපට ද මහත් රුකුලකි. දහවල හිරු නැගෙත්ම මද උණුසුම් බවක් දැනෙන්නට විය. එහෙත්, වන බිම තුළ ගලා යන සිහින් දිය දහරාවෝ, මේ පරිසර පද්ධතියේ ඇති සමතුලිත බව රඳවා ගන්නට අවැසි සහය ලබා දෙති. ඒ සියල්ලම කැලණි නදී තොමෝ කරා ඇදී යන්නේ, මේ බිම පෝෂණය කරමිනි.

බෝවිටියා කුලයට අයත් අපිශාකයක් ලෙස වර්ධනය වන, ඉතා ම දුර්ලභ ශාකයක් වන Medinella cunata ලෙසින් හැඳින්වෙන දුර්ලබ සපුෂ්ප ශාකය ද, වැලක් ලෙසින් වර්ධනය වන Hoya pinipolia ශාකය ද ඉතා දුර්ලබ, ශ්‍රී ලංකාවට ආවේණික සපුෂ්ප ශාකයක් ද මෙහි දැකිය හැකි ය. මේ බිම උද්භිද උද්‍යානයකට සම වන්නේ එහෙයිනි.

කැලණි ගං නිම්නයේ ජල පෝෂක දිය දහරා ආශ්‍රිත ගල්පර මත වැඩෙන ජලජ ශාක අතර, Podostermaceae කුලයට අයත් Polypleurum, Farmaria metrogoides හා Dalxillea zeylanica ශාක මෙන් ම, දිය පහරවල ඇති උඩයන් හා කෙටල ශාක විශේෂ ලෙස සැලකෙන Cryptooryne thwaitesii හා Leginandra thwaitesii විශේෂඥ මෙහි විමසිල්ලෙන් අධ්‍යයනය කරන්නන්ගේ නෙත ගැටේ. හරිත වර්ණයෙන් පිරීගත් මේ බිමෙහි සැරිසරන ජීවි විශේෂ ද බොහෝමයකි. නිහඬ බවින් පිරී ගිය මේ නිවහන, ඔවුන්ගේ ජන්ම භූමියයි.

තුරුලතා මඬුලු මෙන් ම, නොයෙක් ජීවි විශේෂවලට ද මේ බිම නිවහනකි. ශ්‍රී ලංකාවේ මත්ස්‍ය, උභයජීවින්, උරගයන්, පක්ෂීන්, ක්ෂීරපායින් හා සමනළයන් යන සත්ව කාණ්ඩවලට අයත් විශේෂ 411ක් පමණ මේ වනයෙන් වාර්තා වේ. එයින් 119ක් ශ්‍රී ලංකාවට ආවේණික වේ. ඒ අනුව බලන විට, මේ වන බිම තුළ ආවේණිකතා ප්‍රතිශතය 29%ක් තරම් ඉහළ අගයක් ගන්නා බව වාර්තා වෙයි. මේ අතරින් සත්ව විශේෂ 40%ක් ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වන අතර, ඒ අතරින් 38%ක් මේ බිමෙන් වාර්තා වීමෙන් , මෙහි ඇති ජෛව විද්‍යාත්මක වටිනාකම මොනවට පැහැදිලි වේ.

මෙහි මත්ස්‍ය විශේෂ ගණන 44කි. ආවේණික විශේෂ ගණන 20කි. උභය ජීවින් විශේෂ 36ක් ද, ආවේණික උභය ජීවී විශේෂ 27ක් ද වේ. එසේ ම, උරග විශේෂ 71කි. ආවේණික විශේෂ 35කි. පක්ෂි විශේෂ 154ක් වන අතර, ඒ අතරින් 28ක් ආවේණික විශේෂ වේ. ක්ෂීරපායින් විශේෂ 32කි. ආවේණික විශේෂ 5කි. සමනළ විශේෂ 74ක් වන අතර , ඒ අතරින් විශේෂ 4ක් ආවේණික විශේෂ වේ.

වෙහෙස නිවා ගනු රිසියෙන් අපි මේ දිය පහර අසල මදක් රැඳී සිටියෙමු. සැබැවින්ම ලක් පොළෝ තලයේ ගලා යන මේ ගංගාවෝ මෙන් ම, දිය යට සොඳුරු පරිසරය දකින්නට නම් අප නෙතු පින් කර ඇතුවාට සැකයක් නැත. එක් තැනකින් තවත් තැනක් වෙනස් වන්නේ, එහි විවිධත්වය නිසා ම ය. ජලය සීතල ය. අත්ල මත රැඳෙන පිරිසුඳු ජල බිඳු, ශ්‍රී ලංකාවේ අනෙකුත් පෙදෙස්හි ගංගා ජලය සමඟ මා සිතින් සංසන්දනය කර බලන්නට උත්සාහ කළෙමි. සැබැවින්ම මේ ජලය පිරිසුදු බවින් ඉහළ ය.

ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ අතර, කැලණි ගඟේ අතු ගංගාවලින් හැඩවන මේ රක්ෂිතයේ අසෝක පෙතියා (Systomus asoka), ජොන්ක්ලාස් ගේ පුල්ලි අහිරාවා (Lepidocephalichthys jonklaasi) ලේතිත්තයා (puntius titteya) තල්කොස්සා ( Belontia signata) හාල්මල් දණ්ඩියා (Rasboroides vaterifloris) කොළ රතු වැලිගොව්වා ( Slcyopus jonklssi) ගල් වැලිගොව්වා (Slcyopteres halei) ඉරි අහිරාවා (Acanthocobitis urophthalmus)යන විශේෂ වාර්තා වී ඇත.

ලයිකන, පෙද පාසිවලින් හැඩ වුණු ගල්කුළු අතරේ රෑන් වශයෙන් මෙන් ම, තනි තනිව පිහිනා යන මේ මත්ස්‍යයන් වෙන් වෙන්ව හඳුනා ගන්ට නම්, ඒ හා බැඳුණු සුවිශේෂී දැනුමක් තිබිය යුතු ම ය. මේ විසිතුරු මත්ස්‍ය ලෝකය පෝෂණයට අවැසි ආහාර මේ වනය නො අඩුව ලබා දෙයි.

ජල ලෝකයෙන් මදක් ඈත් වූ අප, මී ළඟට තුරු ලතා අග වසා කන්කළු නාද පතුරුවන පක්ෂි ලෝකයට අවධානය යොමු කළෙමු. ශ්‍රී ලංකාවේ පක්ෂි වාසභූමි සලකා බැලීමේදී, පක්ෂීන්ට ඉතා වැදගත් භූමි භාගයක් ලෙසින් මෙය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ, ශ්‍රී ලංකාවට ආවේණික ඉහළ කඳුකරයේ වාර්තා වන විශේෂ හැර, අනෙක් සියලු පක්ෂීන් මෙහි වාර්තා වීම නිසාවෙනි. මෑතකදී හඳුනා ගන්නා ලද පඬුවන් බස්සා පළමු වරට වාර්තා වූයේ ද මේ බිමෙන් බව කියැවේ. එහෙයින්ම, දෙස් විදෙස් පක්ෂි ලෝලින් අතර කුරුලු කැලය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේය. මීට අමතරව ශ්‍රී ලංකාවේ දුර්ලභ ආවේණික පක්ෂි විශේෂ වන හිස සුදු මයිනා (White - faced Starling) , බට ඇටි කුකුළා (Green- billed Coucal ), හිස අළු දෙමලිච්චා (Ashy-headed Laughingthrush), පිළිලගෙඩි සූටික්කා (Legge's Flowerpecker) සහ දුර්ලභ නේවාසික පක්ෂියකු ලෙසින් සැලකෙන දුම්කවුළුවා (Dollarbird) මේ වනාන්තරයේදී දැකගත හැකි ය. කුරුලු පාරාදීසයක් ලෙසින් කුරුලු ලෝලීන්ට තම දවස ගෙවන්නට මේ බිම වඩා සුදුසු බව, දැන් නම් වඩා පැහැදිලි ය.

උභය ජීවින්ගෙන් ඉතා ම පොහොසත් වනාන්තරයක් වන මෙහි වාර්තා වන විශේෂ අතරින් 75%ක් ශ්‍රී ලංකාවට ආවේණික ය. කොටගම ගේ කුරු ගෙම්බා(Duttaphrynus) , දික්කුඹුර ගස් මැඩියා ( Taruga Longinasus)වැනි ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ විශේෂ බොහෝමයකට මේ වනාන්තරය නිවහනකි. ශ්‍රී ලංකාවට ඉතා දුර්ලභ ආවේණික උරග විශේෂයක් වන මූකලන් තෙලිස්සා ( Hypnale zara) කෙටිවල් මැඩිල්ලා (Aspidura drumondhayi) අං අග කටුස්සා (Ceratophora aspera) ද මෙහි වාර්තා වෙයි. පරිසරය හා ඒකාබද්ධව මේ සත්ව විශේෂ පරිසරයට ම හැඩ ගැසී ඇති ආකාරය, සැබැවින් ම සුන්දර ය.

කෙමෙන් කමෙන් දවස ගෙවී ගොස් ඇත. මේ, ආපසු නිවෙස් බලා හැරෙන්නට වේලාවයි. ඒ බව හඟවන්නට දෝ , කෙමෙන් කෙමෙන් මිහිදුම් සේල මේ තුරු ලතා වසා පැතිරෙන්ට පටන් ගෙන ඇත. සීතල සුළං රැළි වත පුරා හිරිගඩු නංවන්නට සමත් වෙයි. දිනය ගෙවී ගොස් ඇති බව අපට පසක් වූයෙන්, අපි මේ නිහඬ බිමෙහි මතක, සැමරුම් අතරට එක් කර ගනිමින් මෙබිමට සමු දුන්නෙමු.

 

 

ටෙක්ලා චාන්දනී

 


නව අදහස දක්වන්න

Or log in with...