පමණ දැන­ගෙන ආහා­ර­යට ගත­යුතු කෝවක්කා | දිනමිණ

පමණ දැන­ගෙන ආහා­ර­යට ගත­යුතු කෝවක්කා

කෝවක්කා යනු, පමණ දැනගෙන භාවිත කළ යුතු ආහාරයක් මෙන් ම, ඖෂධයකි.

දකුණු ආසියානු රටවල වියළි කලාපය තුළ බහුලව දක්නට ලැබෙන කෝවක්කා (Ivy Gourd/ Scarlet Gourd/ Kowai) යනු ඖෂධීයමය අගයක් ඇති වැල් වර්ගයකි. කෝවක්කා ගෙඩි ළපටි කාලයේදී කොළ පැහැයෙන් දිස්වන අතර, ඉදුණු ගෙඩි අලංකාර රතු හෝ තද රෝස පැහැයක් ගනී. කෝවක්කා වැලෙහි ළපටි කොළ මැල්ලූම් සෑදීම සඳහා භාවිත කරන අතර, කෝවක්කා කැඳ හා කෝවක්කා ව්‍යංජනය ද භාවිත වේ. මේවා, ඉන්දියානු, මැලේසියානු හා තායි ආහාර වර්ගවල බහුලව දැක ගත හැකි ය.

සාම්ප්‍රදායික වෙදකම තුළ ලාදුරු රෝගය, උණ, ඇදුම, බ්‍රොන්කයිටිස් සහ වෛරස ආදිය සඳහා කෝවක්කා ඔසුවක් ලෙස භාවිත කර ඇත. සිංහල වෙදකමට අනුව කෝවක්කා කොළ මැල්ලූම දියවැඩියා රෝගීන්ට ගුණදායක ඔසුවකි. ඉතා ඉක්මනින් රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය පහත හෙළීමේ ඇති හැකියාව නිසා, දියවැඩියා රෝගීන් අතර කෝවක්කා ඉතාමත් ම ප්‍රචලිත ය. එහෙත්, කෝවක්කා ආහාරයට ගැනීමෙන් පසු, රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය පහත වැටීමට ඉඩ ඇති නිසා, සීනි අඩු අයට පරෙස්සමින් ආහාරයට ගැනීමට සිදු වේ. එනිසා, ඕනෑම ආහාරයක් පමණ දැනගෙන භාවිත කිරීම, සිරුරට වඩාත් යහපත් ය.

 

යශෝදා ඉන්දීවරී

 

නව අදහස දක්වන්න