එපා! ජීවි­තය වටි­නවා | දිනමිණ

එපා! ජීවි­තය වටි­නවා

විවිධ ක්‍රම උපයෝගී කර ගනිමින් තමන්ගේ ජීවිතය නැති කර ගැනීමට පෙලඹෙන මිනිසුන් සංඛ්‍යාව මෑත භාගයේදී බෙහෙවින් ඉහළ ගොස් ඇත. වසරකට මිලියනයක පමණ පිරිසක් සිය දිවි තොර කර ගනිති. වර්තාවල දැක්වෙන අන්දමට, සිය දිවි තොර කර ගන්නට වසරකට මිලියන 10ත් 20ත් අතර පිරිසක් තැත් කරති. මේ අනුව සිය දිවි නසා ගැනීම බරපතළ සමාජ ගැටලුවක් බවට පත්ව ඇත. සිය දිවි නසා ගැනීම් අවම කරන්නට උපරිම දායකත්වයක් ලබාදීම, ශිෂ්ට සම්පන්න සමාජයක වෙසෙන සෑම කෙනකුගේ ම වගකීමකි.

 

 

සිය දිවි නසා ගැනීම් වැළැක්වීමේ දිනය

සෑම වසරකම සැප්තැම්බර් 10 වැනිදා සිය දිවි නසා ගැනීම් වැළක්වීමේ දිනය ලෙස සැලකේ. ලෝක සියදිවි නසා ගැනීම් වැළක්වීමේ දිනය පළමුවෙන්ම ක්‍රියාත්මක කෙරුණේ 2003 වසරේදී ය. සිය දිවි නසා ගැනීම් වැළක්වීම සඳහා වූ අන්තර්ජාතික සංගමය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මානසික සෞඛ්‍ය සඳහා වූ ලෝක පෙඩරේෂණය යන ආයතන රැසක මූලිකත්වයෙන් මෙදින ක්‍රියාත්මක වැඩසටහන් සංවිධානය කෙරේ. සිය දිවි නසා ගැනීම් වැළක්වීමේ වැඩසටහන් ලෝ පුරා රටවල් හතළිහකට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක බව 2011 වසරේදී අනාවරණය විණ.

සිය දිවි නසා ගන්නා සංඛ්‍යාව ඉහළට

අවාසනාවකට මෙන්, සිය දිවි නසා ගන්නා පිරිස ලෝකය පුරා ඉහළ යමින් ඇත. වාර්තාවල දැක්වෙන අන්දමට, වසරකට මිලියනයක පමණ පිරිසක් සිය දිවි නසා ගනිති. වෙනත් ආකාරවලින් කියන්නේ නම්, සෑම පුද්ගලයන් දස දහසකට එක් පුද්ගලයකු හෝ සෑම තත්පර 40කට එක් පුද්ගලයකු හෝ දිනපතා පුද්ගලයන් 3000ක් හෝ දිවි තොර කර ගන්නා බව ය. 2004 වසරේදී සිය දිවි නසා ගත් සංඛ්‍යාවට සාපේක්ෂව කරන ලද ගණනය කිරීම්වලින් සනාථ වී තිබෙන්නේ, 2020 වනවිට පුද්ගලයන් මිලියන 1.5ක පමණ පිරිසක් වාර්ෂිකව සිය දිවි නසා ගනු ඇති බව ය. යුද්ධවලිනුත්, ත්‍රස්ත ක්‍රියාවලිනුත් වෙනත් අපරාධවලිනුත් ජීවිතක්ෂයට පත්වන පුද්ගලයන් සංඛ්‍යාවට වඩා වැඩි ගණනක්, වාර්ෂිකව සිය දිවි නසා ගන්නා බව වාර්තා මඟින් අනාවරණය වේ.

පිරිමින් අතර සුලභ සිය දිවි නසා ගැනීම

ගැහැනු සහ පිරිමි දෙපාර්ශ්වයෙන් වැඩිපුර සිය දිවි නසා ගන්නේ පිරිමින් බව සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වේ. ඒ අනුව සිය දිවි නසා ගන්නා පිරිමින් සංඛ්‍යාව, සිය දිවි නසා ගන්නා ගැහැනුන් සංඛ්‍යාව මෙන් තුන් ගුණයත්, හතර ගුණයත් අතර ප්‍රමාණයක් බව සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති. කෙසේ වුවත්, සිය දිවි නසා ගැනීමේ උත්සාහය වැඩිපුර දැකිය හැකි වන්නේ ගැහැනුන් අතර ය.

වයස අවුරුදු 15ත් 29ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අයවලුන් අතර සිය දිවි නසා ගැනීම් බහුල බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එසේ වුවත්, වයස අවුරුදු 80 ඉක්ම වූ අමෙරිකා ජාතිකයන් සහ සෙසු සුදු ජාතිකයන් අතර සිය දිවි නසා ගැනීම් ඉහළ මට්ටමක පවතින බවත් සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

සිය දිවි නසාගැනීම් අඩු සහ වැඩි රටවල්

ලෝ පුරා සිදුවන සිය දිවි නසා ගැනීම් සංඛ්‍යාව කාලය අනුවත් රටවල් අනුවත් වෙනස් වේ. 2015 ලෝක සෞඛ්‍ය සංවිධාන දත්තවලට අනුව, පුද්ගලයන් ලක්ෂකට සිය දිවි නසා ගැනීම් වැඩි ප්‍රමාණයක් සිදු වුණේ පිළිවෙළින් ශ්‍රී ලංකාව, ලිතුවේනියාව, දකුණු කොරියාව, ගයනාව, මොන්ගෝලියාව, කසකස්තානය, සුරිනාම්, බෙලරුසියාව, පෝලන්තය සහ ලැට්වියාව යන රාජ්‍යවල ය. ලොව වැඩි ම ස්ත්‍රී සිය දිවි නසා ගැනීම් ප්‍රමාණයක් වාර්තා වන්නේ චීනයෙනි. ස්ත්‍රී සිය දිවි නසා ගැනීම් සංඛ්‍යාව, පුරුෂ සිය දිවි නසා ගැනීම් සංඛ්‍යාව ඉක්මවා යන ලොව එක ම රට වන්නේ ද චීනයයි. සංඛ්‍යාත්මක වශයෙන් ගත් කළ, ඉහළ ම නිරපේක්ෂ අගයන් වාර්තා වන්නේ චීනයෙන් සහ ඉන්දියාවෙනි.

2015 ලෝක සෞඛ්‍ය සංවිධාන දත්තවලට අනුව, පුද්ගලයන් ලක්ෂයකට සිය දිවි නසා ගැනීම් අඩුවෙන්ම පවතින්නේ ඇන්ටිගුවා සහ බාර්බුඩා, බාර්බඩෝස්, ග්‍රෙනේඩා, ජමෙයිකා, බෘනායි සහ බහමාස් වැනි රටවල ය.

විවිධ හේතු

සිය දිවි නසා ගැනීම් සඳහා පුද්ගලයන් පෙළෙඹෙන්නේ විවිධ හේතු පදනම් කරගෙන බැව් සමාජ විද්‍යාඥයෝ සහ මනෝ විද්‍යාඥයෝ පෙන්වා දෙති. මානසික ව්‍යාකූලතාවයන්, ඖෂධ අනිසි ලෙස භාවිතය, සූදු කෙළිය, අයහපත් සෞඛ්‍ය තත්ත්ව වැනි හේතු ඒ අතර ප්‍රධානය. කිසිවකු සිය දිවි නසා ගන්නා අවස්ථාවේදී එම පුද්ගලයාට මානසික රෝගයක් තිබීමේ ප්‍රතිශතය 27% සිට 90% දක්වා වූ පරාසයක පවතින බව පැවසේ. මානසික රෝහල්වලට ඇතුළු කරගන්නා රෝගීන්ගෙන් 8.6%කට ආසන්න සංඛ්‍යාවක් සිය දිවි නසා ගන්නා බව අනාවරණය වී ඇත. අරමුණක් නැතිවීම, වින්දනයක් නැතිවීම, අවුල් සහගත බව, ප්‍රශ්න නිරාකරණය කරගැනීමට අපොහොසත්වීම, කෙනෙකුගේ හැකියාවන් හෝ රැකියාව හෝ හදිසියේ නැති වීම, ආවේග කළමනාකරණය කරගත නොහැකි වීම, වැඩිහිටියන් තුළ පවත්නා තම ජීවිතය තව කෙනෙකුට කරදරයක් වේය යන අදහස, සමීපතමයන්ගේ වියෝව සහ සමාජයේ හුදකලා වීම සිය දිවි නසා ගනීම් කෙරෙහි තදින්ම බලපායි. එමෙන්ම විවාහ නොවී සිටීමත් සිය දිවි නසා ගැනීම් ඉහළ නංවන්නට හේතුවකි.

ජන මාධ්‍යයේ බලපෑම

අන්තර්ජාලය ප්‍රමුඛ ජන මාධ්‍යය , සිය දිවි නසා ගැනීම් කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන බව විද්වත්හු පෙන්වා දෙති. සිය දිවි නසා ගැනීම් උත්ප්‍රේරණය වීමක්, සිය දිවි නසා ගැනීම් වාර්තාකරණය හරහා සිදුවන බවට චෝදනාවක් ද ඇත. එහිලා වඩාත් තදින්ම බලපාන්නේ, සිය දිවි නසා ගැනීම් විස්තර සහිතව, ඉතා තීව්‍රව වාර්තා කිරීම, එවැනි සිද්ධි උලුප්පා දැක්වීම, නැවත නැවත වාර්තාකරණය වැනි කාරණා ය. එවැනි දෑ මඟින් සිය දිවි නසා ගැනීම අනුකරණය කිරීමක් බවට පත්වන බව, මනෝ විද්‍යාඥයෝ පවසති. මෙවැනි වාර්තාකරණයන් නැවත නැවත නැරැඹීමට හෝ කියැවීමට හෝ අන්තර්ජාලයෙන් ඉඩ සැලසේ. ජන මාධ්‍යයේ සහ අන්තර්ජාලයේ මෙකී භූමිකා නිසා, සමාජ අර්බුද වැඩි වෙමින් ඇත.

ආගම, ගෞරවය සහ ජීවිතයේ අර්ථය

ආගම, ගෞරවය, ජීවිතයේ අර්ථය වැනි කාරණා සිය දිවි නසා ගැනීම් අඩුවීමට හෝ වැඩි වීමට හෝ හේතු වන බව දැකිය හැකි ය. ජීවිතයේ පවිත්‍රතාව විශ්වාස කරන බැවින්, සිය දිවි නසා ගැනීම දෙවියන්ට කරන නිග්‍රහයක් බව ඇතැම් ආගම්වලින් කියැවේ. මෙවැනි සංකල්ප සිය දිවි නසා ගැනීම් අඩු කරන්නට හේතුවකි. සමුරායි සමයේදී සෙප්පුකු හෙවත් හරාකිරි නමැති චාරිත්‍රය ජපාන සමාජයෙහි ක්‍රියාත්මක වී තිබේ. සතුරන් අතට පත් වීමට වඩා , තමන් තමන්ගේම අතින් ඝාතනයට ලක් වීම ගෞරවයක් ය යන අදහස ඇතිව මෙය ක්‍රියාත්මක කෙරිණි. එහිදී, දිවි තොර කර ගැනීම සිදු වුණේ, තියුණු අවියකින් උදරය ගැඹුරු ලෙස කපා ගැනීමෙනි. ඉන්දියාවේ සති පූජාවත්, සිය දිවි නසා ගැනීම් කිරීමක් ලෙස සැලකේ. සති පූජාවට මුහුණ දුන්නේ, වැන්දඹු තත්ත්වයට පත්වන කාන්තාවන් ය. සැමියාගේ දේහය දැවෙන සෑයට පැන, දිවි තොර කර ගන්නට මේ කන්තාවන්ට සමාජයෙන් බල කෙරිණි.

අනුන්ගේ යහපත වෙනුවෙන් සිය දිවි නසා ගැනීම

පරහිතකාමී සිය දිවි නසා ගැනීම හෙවත්, අනුන්ගේ හිත සුව පිණිස සිය දිවි නසා ගැනීම වත්මන් ලෝකයේ සුලභ තත්ත්වයකි. ලොව ඇතැම් දේශපාලන ප්‍රවාහ තුළ මෙය දැකිය හැකි ය. තම මතයට එකඟ නොවන පිරිසක් අතරට ගොස් සිය දිවි නසා ගැනීමේ ආක්‍රමණයක් කිරීම, මෙහිලා දැක්විය හැකි නිදසුනකි. ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමත්, පරහිතකාමී සිය දිවි නසා ගැනීමකි. තම බාල පරම්පරාවල අයවලුන් වෙනුවෙන් ආහාර ඉතිරි කළ යුතු ය කියා සිය දිවි නසා ගැනීමේ චාරිත්‍රයක් ඇතැම් එස්කිමෝ ප්‍රජාව තුළ දැකිය හැකි ය. එමඟින් කෙරෙන්නේත්, අන් අය වෙනුවෙන් තම ජීවිතය නැති කර ගැනීමකි.

දිවි නසා ගැනීමට තැත් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් ද?

සිය දිවි නසා ගැනීමට තැත් කිරීම, දඬුවම් ලැබිය හැකි අපරාධයක් ලෙස ඇතැම් යුරෝපා රටවල් මෙයට කාලයකට ඉහතදී සලකන ලදී. එසේ වුවත්, වර්තමානයේදී එකී රටවල් සිය දිවි නසා ගැනීමට තැත් කරන අය දෙස බලන්නේ, එයට වඩා ලිහිල් දෘෂ්ටිකෝණයකිනි. සිය දිවි නසා ගැනීමට තැත් කිරීම ඇතැම් ඉස්ලාමීය රටවල දඬුවම් ලැබිය හැකි අපරාධයක් සේ සැලකේ.

ඕනෑම පුද්ගලයකු, ඒ පුද්ගලයා ජීවත් වන සමාජයේ සාමාජිකයෙකි. ඇතැම්විට කෙනකු සිය දිවි නසා ගන්නට පෙලඹෙන්නේ, සමාජය තුළ ක්‍රියාත්මක කිසියම් තත්ත්වයක් නිසා වන්නට පුළුවන. කෙනකු සිය දිවි නසා ගැනීමට උත්සාහ ගන්නේ නම්, එම පුද්ගලයා දඬුවමකට යටත් කර, සෙසු අයට එමඟින් පාඩමක් ඉගැන්වීමට යෑම සදාචාරාත්මක නොවන බව, මේ නිසා දැන් බොහෝ රටවල් පිළි ගනී. එබැවින් සිය දිවි නසා ගැනීමට තැත් කරන අයට දඬුවම් ලබා දීම වෙනුවට, ඒ අය උපදේශන ක්‍රියාවලියකට ලක් කිරීම වැනි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. මේ තත්ත්වය වෙසෙසින් ම ශ්‍රී ලංකාව තුළත් දැකිය හැකි ය.

සිය දිවි නසා ගැනීම් අවම කිරීම

සමාජයක සිය දිවි නසා ගැනීම් අවම කිරීම ඉතාමත් වැදගත් සාමූහික කාර්යයකි. එමෙන් ම, එය පෙන්වා දෙන තරම් පහසු කාර්යයක් ද නොවේ. ගිනි අවි භාවිතය, විෂ රසායනික ද්‍රව්‍ය භාවිතය සමාජය තුළ අවම කිරීම, මීට එක් සාර්ථක විසැඳුමකි. අධික මත් ද්‍රව්‍යය භාවිත කරන්නන්ට සහ මෙයට පෙර සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ අයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම බෙහෙවින්ම වැදගත් ය. මානසික රෝගවලින් පෙළෙන අය නිසි ප්‍රතිකාරවලට යොමු කිරීම, සමාජයේ වගකීමකි. එසේ නොවුණහොත්, එවැනි අයගේ මානසික රෝග බරපතළ තත්ත්වයට හැරී, සමාජයේ පැවැත්මට බාධා වන චර්යා දක්වා වර්ධනය වන්නට පුළුවන. ආර්ථික සංවර්ධනය ඇති කිරීමෙන්, සමාජයක දරිද්‍රතාව අඩු කළ හැකි ය. සිය දිවි නසා ගැනීම් අඩු කරන්නට එයත් එක් මඟකි. සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන පුද්ගලයන් වෙනුවෙන් උපදේශනය ලබා දෙන මධ්‍යස්ථාන වැඩි කිරීම සහ අදාළ පුද්ගලයන් ඒවාට යොමු කිරීම තවත් ප්‍රයෝගික විසැඳුමකි. සිය දිවි නසා ගැනීම් වාර්තාකරණයේදී, වගකීමෙන් කටයුතු කිරීමේ මාධ්‍ය පිළිවෙතක් ද සමාජයට අවශ්‍යය ය.

අන්තර්ජාලය ඇසුරෙනි

 

මංජුලා විජයරත්න

 


නව අදහස දක්වන්න

Or log in with...