ලොව පළමු ද්‍රව වායු බල මගී නෞකාව | දිනමිණ

ලොව පළමු ද්‍රව වායු බල මගී නෞකාව

ද්‍රව වායු බලයෙන් ක්‍රියාත්මක වන ලොව පළමු මගී ප්‍රවාහන සුඛෝපභෝගී නෞකාව වන AIDAnova , පසුගියදා සිය පළමු යාත්‍රාව සඳහා ජර්මනියේ පැපෙන්බර්ග් වරායෙන් පිටත් විය. එක් වරකට මගීන් 5200 දෙනකුට රැඳී සිටීමේ අවස්ථාව පවතින මේ නෞකාව, ‘හරිත නෞකා සංචාර’ ප්‍රචලිත කිරීම වෙනුවෙන් නිර්මාණය කර වූවක් බව එහි නිෂ්පාදකයෝ පවසති.

මීටර් 337 ක් දිග මේ නෞකාවේ පළල, මීටර් 42 කි. එහි පෞද්ගලික කාමර 2600 ක් පවතින අතර, ඉන් 31ක් සුඛෝපභෝගී නිවස්න ලෙසත්, 312 ක් නෞකාව අභ්‍යන්තරයේ පිහිටි කාමරලෙසත්, 198 ක් සාගරය දර්ශනය වන කාමර ලෙසත්, 1655 ක් බැල්කනියේ පිහිටි කාමර ලෙසත් වෙන් කර තිබේ.

මේ හරිත නෞකාවේ ගමන් ගන්නා මගීන්ට, අද දවසේ ලොව වඩාත් දියුණුතම තාක්ෂණික උපකරණ භාවිත කිරීමේ හැකියාව පවතී. එසේ ම, එම පහසුකම් නෞකාව ඇතුළත සහ පිටත ස්ථාන දෙකෙහිදීම ලබා දෙයි. එකිනෙකට වෙනස් සවුනා සම්බාහන ස්ථාන පහක් මෙන් ම, පිටතින් පිහිටි ජකුසි සම්බාහන ස්ථාන තුනක් සහ තවත් සම්බාහන ප්‍රතිකාර ලබා දෙන ස්ථන 80කට ආසන්න ප්‍රමාණයක් එහි අන්තර්ගතව ඇත.

මීට අමතරව, දැවැන්ත ජල උද්‍යානයක්, විවිධ ක්‍රියාකාරකම් කළ හැකි උද්‍යාන පරිශ්‍රයක් සහ ගොල්ෆ් පිටියක් යනාදිය ද නෞකාවේ පවතී. මගීන්ට වඩාත් නිස්කලංකව සිටීම සඳහා වෙන් වුණු විශාල විවෘත භූමි ප්‍රදේශයන් ද මෙහි ඇත. එහි ඇති ආපනශාලා 17කට වැඩි සංඛ්‍යාවක් මඟින්, විවිධ ආකාරයේ ආහාර වර්ග සහ පාන වර්ග ලබා දෙයි.

ලබන දෙසැම්බර් මාසයේ සිට දින හතක සංචාරයක් ලෙස ජර්මනියේ මැඩෙයිරා හි සිට කැනරි දූපත් දක්වා යාත්‍රා කිරීමට මේ AIDAnova නෞකාව සූදානමින් සිටියි. මේ හරිත නෞකා සංචාරයේදී, ග්‍රැන් කානාරියා, ටෙනෙරිෆ්, ලැන්සොරාටේ සහ ෆුඑර්ට්වෙන්චුරා යන ස්ථාන ආවරණය කිරීම සැලැසුම වී තිබේ.

traveller.com ඇසුරිනි

යශෝදා ඉන්දී­වරී

 


නව අදහස දක්වන්න

Or log in with...