රස ගුණ පිරි තිබ්බටු | දිනමිණ

රස ගුණ පිරි තිබ්බටු

තිබ්බටු යනු ගමේ ගොඩේ නිතරම හමුවන, සැමදෙන කෑමට කැමැති ආහාරයකි. මේ, තිබ්බටු පිසගත හැකි ක්‍රම කිහිපයකි.

තිබ්බටු මැල්ලුම

තිබ්බටු ටිකක් ගෙන ගලේ තියා, තලා ගන්න. එයට ලුණු, රතුලූණු, පොල් , ගම්මිරිස්, කහ, අබ, කරපිංචා, අමු මිරිස් ගලේ අඹරා එකතු කරන්න. තෙල් ටිකක් රත් වෙන්නට තබා, එයට ඉහත ද්‍රව්‍ය සහ අවශ්‍ය නම් සෝදා දිය බේරාගත් හාල්මැස්සන් ස්වල්පයක් ද දමා, මළවා ගන්න. මේ තිබ්බටු මැල්ලුමට, හාල්මැස්සන් වෙනුවට කූනිස්සන් එකතු කරගත හැකි ය.

තිබ්බටු තෙම්පරාදුව

සෑහෙන පමණට තිබ්බටු ගෙන, නැටි කඩා සෝදා ගන්න. පිරිසුදු ෂොපින් බෑගයකට දමා , ඒ ටික මිටියකින් තලන්න. නැත්නම් ගලේ තියා තලන්න. පසුව වතුර දමා සෝදා, ඇට ඉවත් කර ගන්න. මේ බටුවලට පොල්, කහ, තුනපහ කුඩු හා ලුණු ස්වල්පයක් දමා මිශ්‍ර කර ගන්න. පසුව බඳුනක් ළිප තබා රත්වන විට තෙල් ස්වල්පයක් දමන්න. තෙල් රත්වන විට අබ ඇට ස්වල්පයක් ද එයට දමන්න. එය බැදීගෙන එනවිට, ලියාගත් රතුලූණු, අමුමිරිස්, සුදුලූණු, කරපිංචා එක්කර, තෙම්පරාදු කර ගන්න. දැන් එයට පොල් මිශ්‍ර කරගත් තිබ්බටු එකතු කරන්න. මිශ්‍රණය මඳක් තැම්බීගෙන එනවිට, අවශ්‍ය තරම් පොල්කිරි එක්කර , ඉස්ම තිබෙන්නට හෝ ඉස්ම හිඳෙන්නට හැර පිසගන්න.

තිබ්බටු මිශ්‍ර කොස් ඇට

විවිධාකාරයෙන් සකසාගත හැකි තිබ්බටු, කොස් ඇට එක්කර ද සකසාගත හැකි ය. ඒ සඳහා අවශ්‍ය තරම් තිබ්බටු ගෙඩි පිටින් ගෙන,මිරිස් කුඩු තේ හැන්දක්, තුනපහ කුඩු තේ හැඳි 1/2 ක්, කහ කුඩු ස්වල්පයක්, තම්බා පොතු ඉවත් කරගත් කොස් ඇට 15 -20 ක්, රස අනුව ලුණු, ලියාගත් රතුලූණු ගෙඩි 8ක්, අමු මිරිස් කරල් 3 -4ක්, උම්බලකඩ මේස හැඳි 1/2ක්,රම්පෙ, කරපිංචා, දිය පොල් කිරි අඬු කෝප්ප 3/4ක් හෝ කෝප්පයක්, මිටිකිරි කෝප්ප භාගයක් ගන්න. දැන් තිබ්බටු ගෙඩිවල නැටි ඉවත් කර සෝදා, මැටි ඇතිළි යකට දමන්න. එයට ම තම්බා දෙකට කපාගත් කොස් ඇට එක් කරන්න. පසුව එයට මිටිකිරි හා ලුණු හැර සූදානම් කරගත් අනෙකුත් සියලු ම දේ එක්කර, කලවම් කර, ළිප තබා පිසගන්න. මෙය තැම්බී දිය හිඳුණු පසු, මිටි කිරි සහ රස අනුව ලුණු දමා, නටන තුරු ළිපේ තියා බාගන්න.

තිබ්බටු, මඤ්ඤොක්කා කොළමැල්ලුමක්

මඤ්ඤොක්කා කොළ, තිබ්බටු, අමු මිරිස්, රතුලූණු, ගා ගත් පොල්, සුදුලූණු, අබ ඇට ස්වල්පයක්, කහ කුඩු ස්වල්පයක් සහ රස අනුව ලුණු, මේ සඳහා අවශ්‍ය වේ. මුලින් ම මඤ්ඤොක්කා කොළ ලියා ගන්න. එය වංගෙඩියකට දමා, එයට ගා ගත් පොල්, කහ, ලුණු, රතු ලූණූ, අමු මිරිස් සහ තිබ්බටු දමා කොටා ගන්න. පසුව බඳුනක් ළිප තබා, එයට තෙල් ස්වල්පයක් දමා , රත්වන විට සිහින්ව ලියාගත් සුදුලූණු හා අබ දමා කලවම් කර ගන්න. එයටම, ලුණු දියේ පොඟවා ගත් වියළි මිරිස් කැබැලි ස්වල්පයක් ද එකතු කරන්න. මෙය බැදුණු පසු කොටාගත් මිශ්‍රණය දමා, මඳ ගින්දරේ කූරුගාමින් මළවා ගන්න.

 

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න