භාග්‍යාට භාග්‍ය ගෙනා කාටුන් | දිනමිණ

භාග්‍යාට භාග්‍ය ගෙනා කාටුන්

කාන්තාව, හැම විටෙකම කිසිවකු මත යැපෙන්නියක් විය යුතු නැත. තමාගේම වෙර වීර්යයෙන් ජීවිතය දිනන්නට ඇයට ද හැකියාවක් ඇත. ඇතැම්විට ඇරැඹුම කඳුළක් විය හැකි මුත්, ඉවසීමෙන් දුරක් ගෙවූ කල, සිනා මල් හමුවන්නේ පොකුරු පිටින් ය.

භාග්‍යා මදනසිංහ ගේ ගම බදුල්ල ය. බදුල්ල විහාරමහා දේවි විද්‍යාලයෙන් අකුරු කළ ඇය, මේ වන විට වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පිනියකි. එනමුත්, ඇගේ විනෝදාංශය වුයේ වෙනයම් ම දෙයකි. භාග්‍යා පවසන අන්දමට ඇය කුඩා කල පටන්ම පොත්වල බලි කුරුටු ගෑමට දක්වා ඇත්තේ විශේෂ කැමැත්තකි. අවසානයේ කාටුන් චරිත ඇඳීම දක්වා ම වැඩි දියුණු වී ඇත්තේ ද, ඇගේ එම කැමැත්තයි.

විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගි වන අතරතුරේදී ද ඇගේ සටහන් පොත්වල, ඇගේම යහළු යෙහෙළියන් කාටුන් චරිත බවට පත්ව ඇත්තේ හරි ම අපූරුවට ය. මේ හැකියාවට හිතවතුන්ගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාර නිසාම, භාග්‍යා තව තවත් ඒ අංශයට ම යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් ස්වයං අධ්‍යයනයක් කිරීමට ඇය පෙලඹෙන්නේ නිතැතින්ම ය. පවුලේ උදවිය සේ ම, ඇගේ අනාගත සහකරුත් මේ කටයුතුවලදී ඇයට විශාල සවිශක්තියක් වුණු බව, භාග්‍යා සිහිපත් කරන්නේ ඉතාමත් සතුටිනි. ඇය “Movingdoodles” නමින් ෆේස්බුක් ගිණුමක් අරඹන්නේ තමන්ගේ කාටුන් චිත්‍ර පළ කිරීමට ය. මිනිස් ඉරියව් අපූරුවට සිතුවම් කරන්නට පටන් ගත් තැන පටන්, ඇගේ කාටුන් චිත්‍රවලට ඉල්ලුම වැඩි විය.“මම හිතුවෙ නෑ කවුරුත් මගෙන් මුදලට කාටුන් ඇඳලා දෙන්න කියලා ඉල්ලීමක් කරයි කියලා. ඒත්, කෙනෙක් මට ෆොටෝ එකක් පෙන්නලා ඒ වගේ එකක් ඇඳලා දෙන්න කියලා කිව්වා. මුලින් බෑ බෑ කියලා, පස්සෙ මං ඒ වැඩේ භාර ගත්තා. බොහෝ සේ මහන්සි වෙලා තමයි මං ඒක ඇන්දෙ. ඒත්, ඒක එයාගේ හිතට ඇල්ලුවෙ නෑ. එයා ඒක සල්ලි දීලා ගත්තෙත් නෑ. එහෙම වුණා කියලා මම නැවතුණේ නෑ. දිගටම ඇන්දා. මගේ අක්කා තමයි වැඩිපුර ඇන්දෙ. මොකද එයා මට පේන්නෙ කාටුන් චරිතයක් වගේ. ඒ චිත්‍ර දැකලා ආයෙමත් මට දිගටම ඇනවුම් ලැබුණා. මට අවශ්‍ය වෙලා තිබුණෙ, මිනිස් ඉරියව් අඳින එක නෙමෙයි. අපිට ළඟා වෙන්න බැරි දේ චිත්‍රයට නඟන්න. මං හිතින් මවා ගන්න දේ චිත්‍රයට නඟන්න. ඒත්, ඉල්ලුමක් හැදිලා තියෙන්නෙ මිනිස් ඉරියව් සහිත චිත්‍රවලටයි.”

භාග්‍යා මේ වන විට රැකියාවට අමතරව, ඉහළ ආදායමක් ලබන්නේ ඇගේ නිර්මාණාත්මක හැකියාව හේතුවෙනි. සිය අධ්‍යාපන කටයුතු සහ අමතර වියදම් සඳහා බොහෝ කලක පටන් ඇගේ මහන්සියෙන් උපයාගත් මුදල් වියපැහැදම් කරන ඇය, මාපියන්ට බරක් නොවී, නිරන්තරයෙන් සිය වියදම් කළමනාකරණය කරගන්නීය.

මේ වන විට ළමා සඟරාවක ඇගේම කාටුන් කතාවක් ඇඳීමට ද භාග්‍යාට, භාග්‍ය උදාවී ඇති අතර, ඇගේ සිහිනය වී ඇත්තේ දිනෙක කාගෙත් මතකයේ රැඳෙන කාටුන් චරිතයක් සියතින් බිහි කිරීමටය.

 

කාංචනා සිරිවර්ධන

අදහස් 1ක් ඇත

ඒ කාටූන් වල අමුතු ලස්සනක් තියෙනවා. කවදා හරි තමන්ගෙ අනන්‍යතාව තියන නිර්මාණයක් කල හැකි වෙයි.

නව අදහස දක්වන්න