නීරෝගි ප්‍රතා­ප­වත් මිනි­සුන් නිර්මා­ණය කරන යෝගා­සන උප­විස්ත කෝණා­ස­නය | දිනමිණ

නීරෝගි ප්‍රතා­ප­වත් මිනි­සුන් නිර්මා­ණය කරන යෝගා­සන උප­විස්ත කෝණා­ස­නය

'උපවිස්ත' යනු හිඳගෙන සිටීම යන අර්ථයයි. හිඳගෙන සිටිමින් සිරුර කෝණයක විලාසයෙන් රඳවා තබා සිටින බැවින්, මේ යෝගාසනය "උපවිස්ත කෝණාසනය" නමින් හැඳින්වේ.

සිත පිරිසුඳුව තබා ගන්න. එවිට එහි ක්‍රියාශීලී ගතිය දියුණු වෙයි. යෝගා පුහුණු වීම් කරනවිට නිතරම සරල ඇඳුමක් භාවිත කරන්න. ඔබේ දියුණුව පමා කළ දුර්වලතා හඳුනාගෙන, යෝගා දියුණු කර ගැනීම සඳහා නොසැලෙන අධිෂ්ඨානයක් ඇති කර ගන්න. දැඩි උත්සාහයෙන්, ඇප කැපවී, නිවැරැදි අවබෝධයෙන් යුතුව දිනපතාම පුහුණුවීම් කරන්න.

ඔබ විනාශය කරා ගෙනයන ටෙලි නාට්‍ය මාලා පැය ගණන් නැරැඹීමෙන් වළකින්න. සංගීත සංදර්ශන නමින් පැවැත්වෙන ඝෝෂාකාරී විලම්බීතවලින් ඈත්වෙන්න. ක්‍රිකට් උන්මාදයෙන් අත්මිදෙන්න. මත්පැන්, මත්ද්‍රවය, දුම්වැටි භාවිතයෙන් වැළකෙන්න. නීරෝගී ගතින්, සිතින්, සෞඛ්‍ය සම්පන්නව, පියවි සිහියෙන් ජීවත් වෙන්න.

අසීමිත ආශාවලින් ඈත්වී, ලද දෙයින් සතුටු වෙන්න. යෝගා පුහුණුවීම්, එදිනෙදා ජීවිතයේ නිත්‍ය අංගයක් කර ගන්න. පිරිසුඳු එළවළු, පලතුරු ආහාරයට එක්කර ගන්න. මාසයකට එක දවසක් හෝ රාත්‍රී ආහාරය නොගෙන නිරාහාරව සිටින්න. දිනපතා මී පැණි ටිකක් ආහාරයට ගැනීමට පුරුදු වන්න.හැකි සෑම දිනකම ජල ස්නානය කරන්න. පිරිසුඳු ඇඳුම් භාවිත කරන්න.හොඳ පොත්පත් කියවන්න. කවියක, ගීතයක මිහිර රස විඳින්න. ලිවීමේ කුසලතාව වැඩි දියුණු කර ගන්න. කේන්ති යන ගතිය ඇත්නම්, එම දුර්වලතාව දුරු කර ගන්න. දිනපතා සසංකාසනයෙහි සහ වජ්‍රාසනයෙහි රැඳී සිටීමට පුරුද්දක් ඇති කර ගත්විට, නිවුණු , ඉවසිලිවන්ත කෙනකු බවට ඔබ පත්වන බව ඒකාන්ත ය.දවසින් දවස ගත , සිත සංවර කර ගන්න. ඔබට රහත් වීමට නොහැකි නම්, රහතන් වහන්සේ නමක් ලෙස ජීවත් වීමට වෙර දරන්න.

උපවිස්ත කෝණාසනයෙහි රැඳෙන පිළිවෙළ

ඔබේ යෝගාස්තරණය මත පත්මාසනයෙහි, සිද්ධාසනයෙහි හෝ වජ්‍රාසනයෙහි හෝ රැඳී, විනාඩි දෙකක් නිසසලව රැඳී සිටින්න.දැන් ඔබේ දෙකකුල් දෙපසට ඈත් කරන්න. හිස වමට සෙමෙන් සෙමෙන් පහත් කර, දණහිස මත ගාවා ගැනීමට දිරි දරන්න. දකුණු පසටත් එලෙසම කරන්න. දැන් හිස ඉදිරියට දිගු කරන්න. නිකට බිම ගාවාගෙන, දෙ අත ඉදිරියට දිගු කර බිම ගාවා ගන්න. දෙකකුල් හැකි තරම් දෙපසට ඈත් කර තබා ගන්න. මේ උපවිස්ත කෝණාසනයයි.විවේක ගෙන කිහිප වරක් පුරුදු පුහුණු වන්න. දිනපතා පුහුණු වූ විට හිස ඉදිරිපස බිම ගාවාගෙන, දිගු වේලාවක් රැඳී සිටිය හැකි ය. ඉවසීමෙන් මෙය දියුණු කර ගන්න.

උපවිස්ත කෝණාසනයෙන් ලද හැකි ප්‍රතිඵල

කායික නම්‍යශීලීතාව වැඩි දියුණු කරයි. කොඳු ඇට පේළිය, දෙඅත, දෙපය, පපුව, බෙල්ල, තුනටිය, කළවා, කෙණ්ඩා, දෙදණහිස, දෙවැළමිට ඇතුළු ශාරීරික අවයවවල නීරෝගීකමත්, ක්‍රියාශීලීකමත් දිගුකල් රැක දෙයි.

රුධිර සංසරණ පද්ධතියේත්, ස්නායු පද්ධතියේත් ක්‍රියාකාරීත්වය නිවැරැදි කරයි. ප්‍රබල කරයි.බඩ, යටිබඩ, කොඳුඇට පේළිය සහ දෙපා සම්බන්ධ ලෙඩරෝග, දුර්වලතා, වේදනා පළවා හරියි. කාන්තාවන්ගේ ඩිම්බ කෝෂය ප්‍රබෝධවත් කරයි. ඔසප් දෝෂ දුරු කරයි. හර්නියා, වාතරෝග, දියවැඩියාව, හන්දිපත් රුදාව, තුනටියේ දුර්වලතා,වේදනා ඇතුළු රෝගාබාධවලින් අත්මිදිය හැකි ය.

සිරුර, දුටුවන් මන බඳින ලෙස සුන්දරත්වයට පත්වී, දිවි ඇති තෙක් රූප ශෝභාව රැක දෙයි.

 

ප්‍රවීණ යෝගාචාර්ය

අභය ශ්‍රී ගුරුගේ

 

නව අදහස දක්වන්න