‍වේදනාබර ඉල්ලා අස්වී‍ම | දිනමිණ

‍වේදනාබර ඉල්ලා අස්වී‍ම

“එසේ ප්‍රතික්ෂේප කළේ ආණ්ඩුව රෝහණ සහෝදරයා මරා දමන්න සූදානම් වෙලා ඉන්නවා යන මතය උඩ. නමුත් අවශ්‍ය ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන්නට අපට යම් යම් වැඩ පිළිවෙළවල් යොදා ගන්න තිබුණා. ඒ අවකාශය ඒ වෙන කොට කිසිදු ආකාරයකින් අවහිර කර තිබූ බවක් මම අද වන තෙක් ම දන්නේ නැහැ. උදාහරණයක් විදිහට පක්ෂයට ලෙහෙසියෙන් ම පුළුවන් කම තිබුණා නීතිඥ කණ්ඩායමක් සකස් කරලා ඒ නීතිඥ කණ්ඩායමත් එක්ක පොලිසියට හෝ රහස් පොලිසියට ගිහිල්ලා කට උත්තරයක් දීලා අඩු තරමේ ජනතා විමුක්ති පෙරමුණේ විවෘත දේශපාලන කටයුතු යළි පටන් ගන්නට අවශ්‍ය මූලික පියවර සූදානම් කරන්නට. නමුත් ඒ සඳහා පක්ෂය කිසිම අදහසක් ඉදිරිපත් කළේවත් සූදානමක්වත් තිබුණේ නැහැ. ඒ අනුවත් පසු කාලීනව සිදු වුණු දේවල් ගැනත් ආපසු හැරී බලා කල්පනා කරන විටත් මම අද හිතනවා පක්ෂය යටි බිම් ගත වෙලා නැවත සන්නද්ධ අරගලයක් ඉලක්ක කර ගෙන පමණක් ම පක්ෂය සූදානම් වුණා ද කියා.

“අපි ජේ. ආර්. ජයවර්ධන මහතා හමුවුණ පළමු අවස්ථාව තමයි, අපි හිරගෙවල්වල ඉඳලා 1978 නොවැම්බර් දෙවැනිදා නිදහස් කරපු අවස්ථාව. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේ යටතේ දඬුවම් කරපු සියලුම දෙනා නිදහස් කළාට රටේ සාමාන්‍ය නීතිය යටතේ, විශේෂයෙන්ම මිනී මැරුම් වැනි සාපරාධී කටයුතුවලට, දඬුවම් කරපු සහෝදරවරු සංඛ්‍යාවක් හිර ගෙවල්වලින් නිදහස් කරන්නට කටයුතු කරල තිබුණේ නැහැ. අපට තිබුණු එක යුතුකමක් ‍‍ලෙස ඒ සහෝදර සහෝදරියන් නිදහස් කර ගැනීමට හැකි ආකාරයෙන් කටයුතු කිරීම ලෙස අපේ පළමුවෙනි දේශපාලන මණ්ඩල රැස්වීමේ දී අප සැලකුවා ඒ සහෝදරවරුන් නිදහස් කර ගැනීම සඳහා ආර්. ප්‍රේමදාස මහතාත් ඒ වගේම ජේ. ආර්. ජයවර්ධන මහතාත් හමු වී සාකච්ඡා කරලා ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින්න තීරණය කළා.

“මේ අනුව අපේ පළමුවෙනි සාකච්ඡාව පවත්වන්නේ ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාගේ මැදිහත්වීමෙන්. ආර්. ප්‍රේමදාස මහතාගේ කොළඹ නිවසේ දී රෝහණ සහෝදරයාත් මාත් ඔහු හමුවුණා. මට මතකයි ඒ දවස්වල සජිත් ප්‍රේමදාස මහතා කුඩා දරුවෙක්. ඔහු අපි ඉදිරියට ඇවිල්ලා අපව පිළිගත්තා. එතැනදි ප්‍රේමදාස මහතාගේ මතය වුණේ, අපි ජයවර්ධන ජනාධිපතිවරයා හමු වී ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවයි. එවැනි කරුණු පිළිබඳව තීරණ ගන්නට බලතල ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව ඔහු අපට කිව්වා. රෝහණ සහෝදරයාත් මාත් වෝර්ඩ් පෙදෙසේ නිවසේ දී ජනාධිපති ජයවර්ධන මහතා හමු වුණා. ඔහු අප සමඟ සුහද ලෙස කතා බහ කරලා අප පැමිණි කාරණය ගැන සාකච්ඡා කළා. රටේ සාමාන්‍ය නීතිය යටතේ කරපු දඬුවම් ඉවත්කරන්නට ඔහු අකමැති බව අපට කිව්වා.

“පැවතුණ තත්ත්වය අනුව අපට කරන්නට ඉතුරුවෙලා තිබුණේ නිදහස් නොකරපු සහෝදරවරුන් පිළිබඳව නීතිමය වශයෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නට හැකි නම් ඒ කටයුතුවලට උදව්වීම විතරයි. මේ පිළිබඳව අපි අධිනීතිඥ බාලා තම්පෝ සහෝදරයා සමඟ සාකච්ඡා කළා. යම් යම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නට හැකි නම් ඒ ක්‍රියාමාර්ගවලට උදව් කරන්නට ඔහු එකඟ වුණා. මේ පිළිබඳව යම් ආකාරයක අභියාචනා ඉදිරිපත් කිරීමේ ක්‍රියාමාර්ග ගන්නට අවස්ථාව තිබුණ අවස්ථාවල දී සහ නීතිමය කරුණු සඳහා මැදිහත් වීමේ දී ඔහු අය කිරීමකින් තොරව අපට උදව් කළ බව මට මතකයි.

“නැවතත් ජනාධිපති ජයවර්ධන මහතා මුණ ගැහෙන්නේ රෝහණ සහෝදරයාගේ අසනීප තත්ත්වය උත්සන්න වී ප්‍රතිකාර ගැනීමට විදේශයකට යන්නට. ඒ කාලයේ රෝහණ සහෝදරයා ඇන්ජයිනා රෝගයෙන් පෙළුණා. ඔහුට ඉතා ඉක්මනින් මහන්සි වෙන තත්ත්වයක් ඇති වෙලා, වේදිකාවේ වැඩිවෙලා කතා කරන්නට හෝ දිගට සාකච්ඡා පවත්වන්නට හෝ බැරි තත්ත්වයක් ඇතිවෙන්නට පටන් ගත්තා. මේ නිසා රෝහණ සහෝදරයාට ලන්ඩන් නුවරට යවලා ප්‍රතිකාර ලබා ගන්නට පුළුවන් නම්, ඒ පිළිබඳව කටයුතු කරන්න ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කළා. ඒ කටයුතුවල වගකීම පැවරුවේ මට. එහෙම කළේ ඒ කාලයේ මම පක්ෂයේ විදේශීය සම්බන්ධතා පිළිබඳ කටයුතු භාරව සිටිය නිසා. මම ජනතා විමුක්ති පෙරමුණේ ලන්ඩන් ශාඛාවේ අචා ද ලැනරෝල් සහෝදරයාට කතා කරලා රෝහණ සහෝදරයාගේ අසනීපය පිළිබඳව පැහැදිලි කළා.

“ඒ සම්බන්ධයෙන් ඔවුන්ට කළ හැකි සියලු දේවල් කරන්න ඔවුන් එකහෙළාම එකඟ වුණා. ඒ අතරේ මම ජයවර්ධන ජනාධිපතිවරයා හමු වෙලා ඔහුට කරුණු ඉදිරිපත් කළා. රෝහණ සහෝදරයාත් ජනාධිපතිවරයාට දුරකථනයෙන් කතා කළා. මගේ මතකයට අනුව ඒ දවස්වල එංගලන්තයට යන්න වීසා බලපත්‍ර ලබා ගන්න ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශයකුත් අවශ්‍ය කරලා තිබුණා.

අපේ ඉල්ලීම අනුව ජයවර්ධන ජනාධිපතිවරයා රෝහණ සහෝදරයාට විදේශ ගමනට බාධා නොකරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දෙන්නට ඇති. ඒ කොහොම වුණත් රෝහණ සහෝදරයාට එංගලන්තයට ඇතුළු වෙන්නට බාධා වන ලෙස එංගලන්ත රජය කටයුතු කර තිබුණා. අවසානයේ දී ලන්ඩන් ශාඛාවේ සහෝදරවරු මැදිහත් වෙලා රෝහණ සහෝදරයාට ලන්ඩන් නුවර දී ප්‍රතිකාර කරන්නට සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ සහතික කරන ලද ප්‍රකාශයක් ඉදිරිපත් කරපු නිසා රෝහණ සහෝදරයාට ප්‍රතිකාර ගන්නට පුළුවන් වුණා.

“කොහොම නමුත් රෝහණ සහෝදරයා මුණ ගස්වා පැවැති දේශපාලන ප්‍රශ්න නිරාකරණය කර ගන්නට මාර්ගයක් සකස් කරන්නට දේශපාලන මණ්ඩලයේ දී ගන්නා ලද තීරණයට අනුව රෝහණ සහෝදරයා මුණ ගැහෙන්න අවස්ථාවක් සලසා දී තිබෙන බව මට සුමිත් අතුකෝරල සහෝදරයා මගින් පණිවුඩයක් එවා තිබුණා. ඒ සඳහා මාව රැගෙන යන්න සෝමවංශ අමරසිංහ සහෝදරයා එන බවත් මට දැන්නුවා.

සෝමවංශ සහෝදරයා කොළඹ දී මුණගැසෙන්න මාර්ගයක් සකස් කරගන්නා ලෙසත් මට කියල එව්වා. කොහොම වුණත් 84 ජනවාරි මාසයේ මැද ජයවර්ධන මහතාගේ සකච්ඡාවෙනුත් පස්සේ සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ මෝටර් සයිකලයේ පසු පස ඉඳගෙන රෝහණ සහෝදරයව මුණ ගැහෙන්න කොළඹ ඉදලා පානදුරට ගියා.1983 ජූලි මාසේ පක්ෂය තහනම් කළාට පස්සේ ඒ වෙනකම් මට රෝහණ සහෝදරයා මුණ ගැහිලා තිබුණේ නැහැ. මට මේ ගමන අනතුරුදායක සැක සහිත එකක් කියල හිතුණත් මේ මුණගැසීමට එකග වුණේ අපේ පක්ෂය ඇතුළත මතුවෙලා තිබුණු දේශපාලන මෙන්නම සන්විධාන ගැටලුත් නිරාකරණය කරගන්න මේ හමුවීම වැදගත් කියන විශ්වාසයෙන්.

“පානදුරේ දී සෝමවංශ අමරසිංහ සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික්ක කාර්යාලය අසල මෝටර් සයිකලය නතර කළා. කළුතර දිස්ත්‍රික්කයේ පූර්ණ කාලීනව වැඩකරපු මා දැන සිටි දැන් නම අමතක සහෝදරයෙකුට මාත් එක්ක යන්න මෝටර් සයිකලය බාර දුන්න. ඒ සහෝදරයා මතුගම ඈත පිටිසර ප්‍රදේශයකට මාව එක්කරගෙන ගියා. අපි දොළ පාරකින් ගොඩවෙලා පොල් අතු සෙවිලි කළ කුඩා පැල්පතකට ගියා. රෝහණ සහෝදරයා සාකච්ඡාවට එයි කියන බලාපොරොත්තුව ඇතිව අපි විනාඩි තිහක් විතර එතැන ගත කළා.

සෝමවංශ සහෝදරයත් අපි එක්ක හිටියා. අවසානයේ සෝමවංශ අමරසිංහ සහෝදරයා රෝහණ සහෝදරයා එන්නේ නැති නිසා සාකච්ඡාව කෙරෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ නිසා ආපහු ගෙදර එන්නට අපට සිදු වුණා. මේ පිළිබඳව මට ප්‍රශ්නයක් තිබුණා; වෙනත් කිසි කෙනෙක් නෑවිත් සිටිය දී රෝහණ සහෝදරයා මේ සාකච්ඡාවට නොපැමිණෙන බව සෝමවංශ සහෝදරයා ප්‍රකාශ කළේ කොහොමද කියලා. මොකද ඒ කාලේ අද වගේ දුරකථන පහසුකම් තිබුණෙත් නැහැ.

“අවසානයේ මම ආපහු ගෙදර ඇවිත් දැන් මතුවෙලා තියෙන තත්ත්වය අනුව මට කරන්න පුළුවන් මොකක්ද කියලා කල්පනා කළා. මේ වියවුල් සහගත තත්ත්වය උඩ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා අස් වෙන්න මම තීරණය කළා.

“පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් පක්ෂය සමඟ තිබෙන දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් ලිඛිතව කරුණු ඉදිරිපත් කරන්න මම කල්පනා කළා. මම ඉල්ලා අස්වීමේ ලිපිය ලිව්වේ හදවතින් හඬා වැලපෙමින්. මගේ ජීවිතයේ දශක එකහමාරක් විතර කැප කරල ආත්මය වගේ රැක ගෙන කරපු දේශපාලනය, වඩා යහපත් සාධාරණ යුක්ති සහගත සමාජයක් ගොඩ නඟන්නට බලාපොරොත්තු වෙමින් කරන ලද වැඩ කොටස, අපේ ඇස් ඉදිරිපිටම අකාලයේ විනාශයට පත්වෙන බව මට මැවිලා පෙනුණා. ඒ වේදනාබර ඉල්ලා අස්වීමේ ලිපිය ලියලා ඉවර කරන්න මට දවස් කිහිපයක්ම ගතවුණා.”

 

සිසිර යාපා
හෙට - අත්අඩංගුවේ සිටිමින් ඡන්දයට සටනක්...


නව අදහස දක්වන්න

Or log in with...