‘හණමිටි බිම තියන්න විශ්වය අතට ගන්න’ | දිනමිණ

‘හණමිටි බිම තියන්න විශ්වය අතට ගන්න’

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී නාරා ආයතනයේ සභාපති සාහිත්‍ය සූරි සම්මානිත මහාචාර්ය දයා එදිරිසිංහ කළ දෙසුමේ සටහන.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල උපාධි ලබා බිහිවන උපාධිධාරීන් මුහුණපාන ප්‍රධාන ගැටලුවක් නම් රැකී රක්ෂා කඩිනමින් සොයාගැනීමට ඇති අපහසුතාවයි. මෙය තුන්වන ලෝකයේ රටවල බහුලව දැකිය හැකි කරුණකි. වරින්වර උපාධීධාරීන් දහස් ගණන් බඳවාගෙන ඔවුන් සඳහා පුහුණුවීම් සම්පාදනය කිරීමට රජයට සිදුවේ. පෞද්ගලික අංශය පුහුණුවීම් සඳහා නවක උපාධිධාරීන් යොදාගැනීමට උනන්දු වන්නේ මඳ වශයෙනි.

බාහිර හා දුරස්ථ අධ්‍යයන පාඨමාලා මඟින් සහ අභ්‍යන්තර පාඨමාලා මඟින් උපාධිධාරීන් බිහිවීම සිදුවන අතර රැකියා වෙළඳ පොළෙහි ආකර්ශනයක් ඇති කිරීමට නම්, ඔවුන් සියලු දෙනා තමන් ලද උපාධියට අමතරව තවත් පුහුණුවක් හා නව ඥානයන් සපුරාගත යුතුව ඇත. උපාධිධාරියකු සතුවිය යුතු මූලික කරුණු රැසක් අධ්‍යාපන මනෝ විද්‍යාඥයන්, ආර්ථික විද්‍යාඥයන් සහ සමාජ විද්‍යාඥයන් අවධාරණය කරනු ලැබ ඇත. තමා හැදෑරූ විෂය ක්ෂේත්‍ර කවරක් වුවද මූලික වශයෙන් උපාධිධාරියකු සතුවිය යුතු ගුණාංග රැසක් ක්‍රම සම්පාදකයන්ගේ අවධානයට පාත්‍ර විය.

ගෙදරින් දුරට යන්න

සෑම උපාධිධාරියකුම තමන්ට පවරා ඇති වගකීම් නියමිත කාලයක් තුළ නිමකිරීමට හැකියාවක් ඇති අය විය යුතුය. පසුගිය වකවානුව තුළ උපාධිධාරීන් වශයෙන් අභිනවයෙන් සේවයට බැඳුණු අයගෙන් බොහෝ දෙනකුට නියමිත කාල සීමාව තුළ තම කාර්ය භාරය ඉටුකර ‍ගත නොහැකි අවස්ථා වාර්තා වේ. රැකියා අවස්ථාවන් ලැබීමෙන් පසු අවධානය යොමුකළ යුතු ප්‍රධාන කරුණක් නම් සේවා ස්ථානයට ගොස් එම කාර්ය ආශාවෙන් හා කඩිනමින් නිම කිරීමට ඇති කැමැත්තයි.

ශ්‍රී ලංකාව කුඩා රටක් වුවද සෑම දෙනාම තම නිවාස අසල රැකියාවන් තෝරා ගැනීමට රුචියක් දක්වති. ඔවුන් තම මාරුවීම් නිවාස අසලට සකස්කර දෙන ලෙස ඉල්ලා සිටිමින් රජයේ කාර්යාල අසල කාලය ගත කරනු දක්නට ලැබේ. තවම බොහෝ බැහැර දිස්ත්‍රික්කවල රජයේ ඇබෑර්තු තිබේ. ඒ සඳහා ගොස් සේවය කිරීමට බොහෝ දෙනා කැමති නැත. කර්මාන්ත, ගොවිපළවල් හා නිෂ්පාදන ආයතන බහුතරයක් ඇත්තේ අගනුවරින් පිටතය. අප වගකීම් ඉටුකිරීමට මේ ප්‍රදේශවලට ගමන් කළ යුතුය. බොහෝ විට කොළඹින් බැහැර සේවා ස්ථානවල දින පහ තුළ සේවය කරන පිරිස අඩුය. මෙය සිදු නොවිය යුතුය. නවක උපාධිධාරීන් මේ ගැන අලුතින් සිතීමට අවශ්‍ය කාලය මෙයයි.

සෑම රැකියාවකදීම උපාධිධාරීන් නිර්මාණශීලී වීම අවශ්‍යය. තමන් නිර්මාණශීලී ආකල්පයකින් ක්‍රියාකරන්නන් බව පෙන්විය යුතුය. රටක ආර්ථිකය මෙන්ම පෞද්ගලික ආයතනයන් හි දියුණුව රඳා පවතින්නේ ඒ ආයතනය අභිනවයෙන් ඉදිරිපත් කරන නිර්මාණශීලී ව්‍යාපෘති මෙන්ම කඩිනම් සේවාවන්, කාල කළමනාකරණය, ජනතාවට හිතකර තීන්දු සහ ජනතාවට වඩාත් පහසුවන ක්‍රම ක්‍රියාත්මක කිරීමෙන් ය. විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි ප්‍රථම උපකුලපති වූ අතිපූජ්‍ය ආචාර්ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් ප්‍රකාශ කළේ ‘ විද්‍යාර්ථින් නිර්මාණශීලී විය යුතු බවය.’ නිර්මාණශීලී බවෙන් තොර උපාධිධාරීන් හණමිටි කරගහගෙන යන්නන් ය. ඔවුහු පැරණි ම‍ඟෙහි ගමන් කරන්නෝය. එය සමාජ ප්‍රගතියට බාධාවකි. එයින් උපාධිධාරීන් අත්මිදිය යුතුය. එවිට ඔවුන්ගේ සේවය ඉල්ලා සිටින ආයතන රැසක් බිහිවනු ඇත.

කාලය සීමා සහිතයි

අද ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන විශ්වවිද්‍යාලවලට නැගෙනහිර යුරෝපීය රටවල සිසුන් ඉතා වටිනා පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව ලබා පැමිණේ. හංගේරියාව, පෝලන්තය, පින්ලන්තය, චොකොස්ලෝවැකියාව යන රටවල සිසුන්ගේ ඇති නිර්මාණශීලී බව මීට හේතුවයි. ඔවුහු ගූගල් හා මයික්‍රො සොෆ්ට් වැනි ආයතනවල පශ්චාත් උපාධි ප්‍රදානයන් යටතේ ඉගෙනීම සඳහා පැමිණ නව නිර්මාණ ඉදිරිපත් කරනු ලබති. මෙම නව නිර්මාණවලට රැකියා අවස්ථා මෙන්ම ඉහළ මූල්‍ය වටිනාකමක් ද හිමිව ඇත.

ස්ටීව් ජොබ් වරක් මෙසේ ප්‍රකාශ කළේ ය. ‘ඔබගේ කාලය සීමා සහිත ය. එබැවින් එය තව වෙනත් කෙනෙකුගේ ජීවිතය මත පිහිටා නිශ්ප්‍රයෝජන කර නොගන්න.’ තම ස්වාධීන මත පිහිටා නව්‍ය නිර්මාණ චින්තනය වෙත යොමු වීම සේවා කාර්යක්ෂමතාවකි.

නවක උපාධිධාරීන් සතුව තවත් එක් කරුණක් තිබිය යුතුය. එනම් අන්‍යයන් හා සමඟ එක්ව වැඩ කිරීමට ඇති හැකියාවයි. අප ජීවත්වන්නේ රොබින්සන් කෲසෝගේ ජීවිතය හා සමාන මට්ටමක නොවේ. මනෝ විද්‍යඥයන්ගේ දැඩි අවධානයක් යොමු වූ මෙම කරුණ මානව සම්පත් කළමනාකරණයට මහත් සේ බලපා ඇත. අපට ආයතනයක වැඩ කිරීමට සිදුවන්නේ විවිධ පිරිස් සමඟ ය. ඔබගේ මනස මේ සඳහා සකස් විය යුතු ය. බාල, මහලු, ස්ත්‍රී පුරුෂ, උගත් නූගත්, සියලු දෙනා සමඟ සේවය කිරීමට උපාධිධාරීන් සමත් විය යුතුය. එකිනෙකාගේ සිතැඟි තේරුම් ගත යුතු ය. තමන් සේවය කරන්නේ මිනිසුන් සමඟය යන හැඟීම පැවතිය යුතු ය. වඩා වැදගත් වන්නේ තමාට අවශ්‍ය සහාය හා සේවාව අන්‍යයන්ගෙන් ලබාගැනීමට ඇති හැකියාව යි. මනෝ විද්‍යාඥයන්ගේ අදහස වන්නේ මෙවැනි සුහදශීලී බවෙන් තොර ආකල්පය හේතුකොට ගෙන රැකියා ආතතිය වර්ධනය වන බවයි. එහි ප්‍රතිඵලය ඵලදායී බව අඩු සේවක අර්බුද නිර්මාණය වීමයි.

අන්තර්ජාලයේ වැදගත්කම

නව්‍ය සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ඇති අවබෝධය උපාධිධාරීන්ට ඉතා වැදගත්ය. සන්නිවේදන තාක්ෂණය මඟින් විශාල කාර්යභාරයක් ඉටුවෙයි. නව තොරතුරු ලබා ගැනීම. නව වෙළඳපොළ අවබෝධ කරගැනීම, නව නිෂ්පාදන ක්‍රම සොයා ගැනීම ආදිය වඩාත් පහසුවෙන් ඉටුකර ගැනීම ඉන් කිහිපයකි. ලෝකයේ විශ්මිත නිර්මාණයක් වූ අන්තර්ජාලය සෑම උපාධිධාරියකුටම තම කාර්යය වඩාත් පහසු කරයි. බිල්ගේට්ස්, ස්ටීව් ජොබ්ස් වැනි පරිගණක විශේෂඥයන් දැන් සමස්ත විශ්වයම එකම ගම්මානයක් කර ඇත. මේ තොරතුරු ලබා ගැනීමේ ක්‍රම ප්‍රගුණ කළ යුතුය. උපාධිධාරියාට එය පහසු ය. බුද්ධිමත් නිසා එයට අනුගත විය හැකිය.

අප ජීවත්වන්නේ වෙනස්වන ලෝකයක බව සිහිපත් කළ යුතු ය. අප පැරණි දේ සඳහා ගරු කළ යුතු අතර නව තාක්ෂණික හා විද්‍යා සංවර්ධනය පිළිගත යුතුය. වෛද්‍ය විද්‍යාව, තාරකා විද්‍යාව, අභ්‍යාවකාශ විද්‍යාව, ජීව තාක්ෂණය, ක්ෂුද්‍ර ජීව විද්‍යාව හා නැනෝ තාක්ෂණය මිනිසා නව මඟකට ගෙන ගොස් ඇත. ඒ පිළිබඳ අවබෝධය සියලු උපාධිධාරීන් සතුවිය යුතුය.

මේ සඳහා කළමනාකරණය ද වැදගත් වන්නේ ය. තම ජීවිතය පමණක් නොව සේවා ස්ථානවල කාර්යයන් සඳහා කළමනාකරණ විධි සුළු වශයෙන් හෝ දැන සිටීම වැදගත්ය ඵලදායී ය. තමන් උපාධිය ලද පාඨමාලාවටම අනුව රැකියා ලැබෙන සංඛ්‍යාව සියයට පනහක් පමණය. අනෙක් ප්‍රමාණය තම විෂය ධාරාවලින් පරිබාහිර සේවයෙහි නිරතවී සිටී. තම විෂයයන්ට ම අදාළ රැකියාලාභී වෘත්තිකයන් ලෙස වෛද්‍යවරු, මිනින්දෝරුවන්, රසායන විද්‍යාඥයන්, භෞතික විද්‍යාඥයන් හා ජාන විද්‍යාඥයන් නම් කළ හැකිය.

ජෙෆ්රි බාවා ආදර්ශය

තම විෂයයන්ට පරිබාහිර වූ රැකියාවල නිරත වී කීර්තිමත් සේවාවක් කළ උපාධිධාරීන් ද රැසකි. ආසියාවේ ගීතාංජලී නම් මහා කාව්‍ය සංග්‍රහය නිමකරමින් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ ඉන්දියානු ජාතික රවීන්ද්‍රනාත් තාගෝර් ලන්ඩනයේ නීතිය හැදෑරුවෙකි. ලොව පිළිගත් සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ජෙෆ්රි බාවා වෛද්‍ය විද්‍යාව හදාරනු ලැබූවෙකි. මැග්සයිසේ සම්මානයට පාත්‍ර වූ මනමේ වැනි විශිෂ්ට නාට්‍ය නිර්මාණය කරනු ලැබූ මාහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර පාලි භාෂාව හා දර්ශනය හැදෑරුවෙකි. සත් සමුදුර වැනි සුප්‍රකට සිනමා නිර්මාණ බිහි කළ මාහාචර්ය සිරි ගුණසිංහ සංස්කෘත භාෂාව හදාරා ඇත.

ලැබෙන ඕනෑම රැකියාවක් කිරීමට අප සූදානම් නම් එය වගකීම් ඉටු කිරීමට පහසු වනු ඇත. හැම තැනම පහසුකම් ඇති හොඳ රැකියාවන් ඇතැයි නොසිතිය යුතුය. ඉන්දියා කොන්ග්‍රස් සංගමයේ සම්මේලනයකදී ඒ සඳහා සහභාගිවන්නන්ගේ වැසිකිළි සේදීමට කැමති කවුරුන්දැයි නායකයන් ඇසූ විට කිසිවෙක් ඉදිරිපත් නොවූහ. එවිට ඒ කාර්යය භාරගත්තේ බ්‍රිතාන්‍යයේ පුහුණුව ලබා දකුණු අප්‍රිකාවේ සිට ඉන්දියාවට පැමිණි ලෝක පූජිත අවිහිංසාවිදියකු වූ තරුණ ගාන්ධිතුමා ය. තාගෝර්තුමා, මොහොන්දාස් කරම්චන්ද් ගාන්ධිට මහත්මා යන නම තැබුවේ ඒ නිසාය. අපට වැටුප් ගෙවන අයට අපගේ කොන්දේසි පමණක් ඉදිරිපත් කළ නොහැකිය. ඔවුන්ගේ මතයට ද අප එකඟ විය යුතුය.

ශ්‍රී ලංකේය සමාජයේ රැකියාවල උස් පහත් පරතරයක් ප්‍රබල ලෙස පවතී. එය යෝග්‍ය නොවේ. වරක් කොන්ෆියුසියස් ප්‍රකාශ කළේ තම සේවය අවංකව ලබාදීමට සේවකයන් කැපවිය යුතු බවය. ඔහුගේ පංචවිධ සමාජ සම්බන්ධයෙන් එක් කරුණක් නම් පාලකයා හා සේවකයා අතර සම්බන්ධයයි. ස්වාමියා තම සේවකයා දරුවකු ලෙස සලකා බලාගත යුතු ය. තම පියකුට සලකන ආකාරයට ස්වාමියාට සේවය ලබාදිය යුතු වන්නේය. ස්වාමියා, සෑම විට හොඳ දක්ෂ නිලධාරීන් ඇගයුමට ලක්කළ යුතුය. සේවා යුතුකම් පාලක හා පාලිත දෙපක්ෂයෙන් ම ඉටුවීම අත්‍යවශ්‍ය බව Òඇනලෙක්ටිස්Ó ග්‍රන්ථයෙන් ඔහු සඳහන් කර ඇත.

පෞරුෂත්වය හදුනාගන්න

මනා පෞරුෂත්වයක් ගොඩනඟා ගැනීම සෑම උපාධිධාරියකුම තම සිත් සතන්වල තැන්පත් කර ගත යුතු වැදගත් කරුණකි. පෞරුෂත්වය යනු උස්මිටි බව නොව වගකීම් සහගත බව ලෙස සිහිතබාගත යුතු ය. මනෝවිද්‍යාඥයන් පෞරුෂය හඳුන්වා දී ඇත්තේ පුද්ගල අනන්‍යතාව තීරණය කරන්නා වූ ආවේණික ගතිලක්ෂණ හා සංස්ථා, මනෝකායික රටාවන් එක්තැන් වූ සංවිධානාත්මක හැසිරීම් රටාව ලෙස මහාචාර්ය හෑන්ස් අයිසෙන්ක් ප්‍රකාශ කළේ පුද්ගලයන්ගේ සංස්ථා චර්යාවන්ගේ එකතුව පෞරුෂය බව ය. මෙය ආරය හා පරිසරය මඟින් නිර්මාණය කරනු ලැබේ.

බොහෝ සාර්ථක පුද්ගලයන්ට ඔවුන්ගේ පෞරුෂත්වය බලපා තිබේ. ස්ටීවන් හොප්කින්ස් නම් බ්‍රිතාන්‍ය විශ්වසම්භවවාදියා ආබාධිත පුද්ගලයෙකි. එහෙත් ඔහු තම ප්‍රබල පෞරුෂත්වය මත ඉදිරිපත් කරනු ලැබූ අදහස් එම ක්ෂේත්‍රයෙහි මහා විප්ලවයකට භාජනය කිරීමට සමත් විය. වරක් ඇල්බට් අයින්ස්ටයින් නම් භෞතික විද්‍යාඥයා ප්‍රකාශ කර ඇත්තේ ‘ඔබ වඩා සාර්ථක පුද්ගලයකු වීමට නම් වඩා සදාචාරසම්පන්න පුද්ගලයෙකු වන්න’ යනුවෙනි. අධික ලෙස ධනාත්මකව සිතීමෙන් බිහිවන්නේ වෘකයන්ය. මිනිස් ගතිගුණ ඉන් බැහැර වේ. ධනාත්මක සිතිවිලි ලෙස ඉදිරිපත් කළ මතය මඟින් ආත්මාර්ථකාමී පිරිස් ගොඩනැඟි ඇත. සංවර්ධනයට සදාචාරය මිශ්‍ර විය යුතුය. පරහිතකාමීත්වය වර්ධන කරගත යුතුය.

 

නව අදහස දක්වන්න