සැප්තැම්බර් 05 පොල්ලෙලි අරගලය | දිනමිණ

සැප්තැම්බර් 05 පොල්ලෙලි අරගලය

දේශපාලනය යනුවෙන් අදහස් කරන්නේ රාජ්‍යය බලය අල්ලා ගැනීම සඳහා පුද්ගලයින් අතර හෝ පුද්ගල කණ්ඩායම් අතර ඇතිවන අරගලයයි. වඩාත් පළපුරුදු භාෂාවෙන් කියනවා නම් ආණ්ඩුවේ බලය අල්ලා ගැනීමය. න්‍යායාත්මක වශයෙන් රාජ්‍යයේ බලය අල්ලා ගැනීම ලෙස හැඳින්වූවද ප්‍රායෝගික දේශපාලනයේ දී සත්‍ය වශයෙන් කෙරෙන්නේ ආණ්ඩුවේ බලය අල්ලා ගැනීමය.

දේශපාලනය හා සම්බන්ධ ප්‍රධාන අරමුණු තුනක් තිබේ. පළමුවැන්න රාජ්‍යය බලය අල්ලා ගැනීමය. දෙවැන්න අල්ලා ගත් බලය තහවුරු කර ගැනීමය. තුන්වැන්න තහවුරු කරගත් බලය තවදුරටත් ව්‍යාප්ත කිරීමය. මෙයින් පෙනී යන්නේ දේශපාලනය සහ රාජ්‍යය බලය අල්ලා ගැනීම එකිනෙකින් වෙන්කළ නොහැකි අන්‍යෙන්‍ය වශයෙන් ඉතාම දැඩි ලෙස එකට බැඳී පවතින ක්‍රියාවන් දෙකක් වන බවය.

දේශපාලනය කරන ක්‍රම දෙකක් තිබේ. එයින් එකක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් දේශපාලනය කිරීමය. දෙවන ක්‍රමය වන්නේ විප්ලවකාරී ලෙස දේශපාලනය කිරීමය. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලනය කිරීමේ ප්‍රධාන මාර්ගය මැතිවරණ වේ. විප්ලවකාරී දේශපාලනයේ පදනම අවි ආයුධ, සන්නද්ධ අරගල වේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරන්නේ සිවිල් පුද්ගලයින් පදනම් කර ගෙනය. විප්ලවකාරී දේශපාලනය කරන්නේ සන්නද්ධ කැරලිකරුවන් පදනම් කර ගෙනය. ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ප්‍රධාන අවිය වේ. උණ්ඩය විප්ලවකාරී දේශපාලනයේ ප්‍රධාන අවිය වේ. විවෘතභාවය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ප්‍රධාන ලක්‍ෂණය වේ.

ආවෘත්තභාවය නැතිනම් රහස්‍යභාවය විප්ලවකාරී දේශපාලනයේ ප්‍රධාන ලක්‍ෂණය වේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පුළුල් ජනතා සහභාගිත්වයක් ඇතිව කරන්නක් වේ. විප්ලවකාරී දේශපාලනය සීමිත පුද්ගල සහභාගිත්වයක් පදනම් කරගන කරන්නක් වේ. මෙම ක්‍රම දෙකට අමතරව රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අනෙක් ක්‍රමය වන්නේ මිලිටරි කුමන්ත්‍රණයන්ය. මෙහි නායකත්වය ගන්නේ හමුදා ප්‍රධානීන්ය.

දේශපාලනයේ ස්වභාවය පිළිබඳව ඉහත සටහන තැබීමට සිදුවූයේ පසුගිය පස්වෙනි දා ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන ලද ආණ්ඩුව පෙරලා දැමීමේ කොළඹ ජනබල මෙහෙයුමේ සැබෑ ස්වරූපය සම්බන්ධයෙන් මතුවන ගැටලු සහගත තත්ත්වය හේතුවෙන්ය. මෙහි දී මතුවන ප්‍රධානම ගැටලුව වන්නේ කොළඹ ජනබල මෙහෙයුම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට අනුව කරන ලද දෙයක්ද නැතිනම් විප්ලවකාරී දේශපාලනයට අනුව කරන ලද දෙයක්ද යන්න පිළිබඳව නිශ්චිත නිගමනයකට ඒමට අපහසු වීමය.

කොළඹ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වූයේ කොළඹට ගෙන එන ආණ්ඩු විරෝධීන් යොදවා කොළඹ නගරය වටකොට එමගින් ඇතිකරන පීඩනය මගින් ආණ්ඩු බලය අල්ලා ගැනීමය. වෙනත් ආකාරයකට කියනවා නම් යහපාලන ආණ්ඩුව පෙරලා දමා ඒකාබද්ධ විපක්‍ෂය බලය අල්ලා ගෙන එම කණ්ඩායමේ නායක මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමය. මේ අනුව බලන විට ආණ්ඩු බලය අල්ලා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය විසින් මෙහෙයෙවූ කොළඹ මෙහෙයුම වඩාත් කිට්ටු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම මගින් ආණ්ඩු වෙනස් කොට බලය අල්ලා ගැනීමේ ක්‍රමයට වඩා විප්ලවීය උපක්‍රම මගින් ආණ්ඩු වෙනස් කොට බලය අල්ලා ගැනීමේ විධික්‍රමයටය.

නමුත් කොළඹ මෙහෙයුම දෙස බලනවිට පෙනී යන්නේ එය නාමික විප්ලවීය උපක්‍රමයක් සහිත දෙයක් පමණක් වන බවය. හේතුව විප්ලවයක් මගින් ආණ්ඩු බලය ඇල්ලීමේ විධික්‍රමයේ අඩංගු වන කිසිදු ගුණාංගයක් ඒ තුළ අන්තර්ගත නොවීමය. ඉතාම කෙටියෙන් කියනවා නම් න්‍යායාත්මක වශයෙන් මෙන්ම හරයාත්මක අතින්ද කොළඹ මෙහෙයුමේ කිසිදු ආකාර විප්ලවීය ගති ස්වභාවයක් දැකිය නොහැකි විය.

දෙකෝටි විසි ලක්‍ෂයකට මදක් වැඩි ජණගහනයක් ජීවත් වන රටක, එයින් විසිතිස් දහසක් පමණ පුද්ගලයින් කොළඹට රැගෙන වුත් ආණ්ඩු විරෝධී සටන් පාට හඬනගා කියවමින් අපට ඕනෑ මහින්ද රාජපක්‍ෂ රජතුමාණන්ගේ ආණ්ඩුවක්යැයි කී පමණින් බලයේ සිටින ආණ්ඩුව පෙරලී තමන් අතට බලය ගැනීමට හැකිවේයැයි කවුරුන් හෝ කල්පනා කරන්නේ නම් එයින් මනාව පැහැදිලි වන්නේ දේශපාලන බල අරගලය පිළිබඳ ක්‍රීඩාවේ මළපොත අකුරවත් එම පුද්ගලයින් නොදන්නා බවය.

දේශපාලන ක්‍රීඩාව කරන ආකාරය පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක කාරකාදීන් සතු දැනුම කොතරම් පහළ මට්ටමක පවතිනවාද යන්න කොළඹ මෙහෙයුමෙන් ඉතාම හොඳින් ප්‍රදර්ශනය විය. කොළඹ මෙහෙයුම මුළුමණින්ම පාහේ කරන ලද්දේ වාග් සංග්‍රාමය පදනම් කරගෙනය. බලය පිළිබඳව කරන සටනේ දී වාග් සංග්‍රාමය යම් ප්‍රමාණයකින් ප්‍රයෝජනවත් වූවද එය මත පමණක් බල අරගලය ජයග්‍රහණය කිරීමට නොහැකි බව ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලන නායකයින් අවබෝධ කරගෙන තිබුණේ නැත. දේශපාලන දැනුමේ පැවැති මෙම දුගීභාවය නිසාය, ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයින් විසින් කිසිදු අර්ථයක් නොමැති මෙන්ම කිසිදු ප්‍රායෝගික වටිනාකමක් නොමැති හිස් වාග් සංග්‍රාමයක් පමණක් භාවිතයට ගනිමින් කොළඹ මෙහෙයුම ක්‍රියාවට නැංවූයේ.

මේ සියල්ලටම වඩා කොළඹ මෙහෙයුමේ කැපී පෙනෙන ලක්‍ෂණය වූයේ කුලී හේවායින් පදනම් කරගෙන ආණ්ඩුව පෙරලීමේ මෙහෙයුම දියත් කිරීමය. කොළඹ මෙහෙයුමට සහභාගි වූ සොල්දාදුවන්ගෙන් සියයට අනූපහක් පමණම කුලී හේවායන් විය.

ඔවුන් කොළඹ මෙහෙයුමට සහභාගි වූයේ අරක්කු, බත් පැකට් එක, ප්‍රවාහන පහසුකම් සැපයීම සහ අවසාන වශයෙන් අතට දෙන සොච්චම් මුදල යන දේවල් මගින් කරන ලද පෙළඹවීම නිසාවෙන්ය. ඔවුන්ට කොළඹ මෙහෙයුම ගැන කිසිදු ආකාර අවබෝධයක් තිබුණ බවක් දක්නට නොවීය. ආණ්ඩුව පෙරලා දමා බලය අල්ලා ගැනීමේ කොළඹ මෙහෙයුමේ මූලික අරමුණ ගැන ඔවුන්ට දැනීමක් තිබෙන බව කිසිදු අයුරකින් ප්‍රදර්ශනය වූයේ නැත. ඉතාම කෙටියෙන් කියනවා නම් කොළඹ මෙහෙයුමට සහභාගි වූ කුලී හේවායින් බහුතරය මහා සාගරයක් මැද ඉබාගාතේ එහාට මෙහාට පාවෙන පොල්ලෙලි මෙන් විය.

මෙයින් පෙන්නුම් කරන්නේ කුමක්ද? ආණ්ඩුවක් පෙරලා දමා රාජ්‍යය බලය පැහැර ගැනීම වැනි අතිශය භාරදූර කාර්යයක් කුලී හේවායින් යොදවා කළ නොහැකි බව කොළඹ මෙහෙයුමේ නායකයින් අවබෝධ කරගෙන නොසිටි බවය. මෙයින් යළිත් වරක් පෙන්නුම් කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ නායක කාරකාදීන්ගේ දේශපාලන දැනුම හා අවබෝධය කොතරම් පසුගාමී තත්ත්වයක තිබෙනවාද යන්නය. කුලී හේවායින් යොදවාගෙන සටන් කිරීමට යාමේ නිශ්ඵලභාවය ඉතාම හොඳින් පෙන්වා දුන්නේ ඉතාලි ජාතික දේශපාලන චින්තකයකු වූ මැකියාවලී විසිනි. ඔහු විසින් ලියන ලද ‘කුමාරයා’ කෘතිය තුළ ඒ ගැන විස්තර කරන්නේ මෙයාකාරයටය, .

‘පාලකයා ශක්තිමත් මිලිටරි බලයක් ගොඩ නඟන්නේ කෙසේද? ඒ සඳහා කුමාරයා තම බලය ජාතික පුරවැසියන්ගෙන් සැදුම්ලත් ජාතික හමුදාවක් මත ගොඩනැගිය හැකිය. නැතිනම් කුලී හමුදා කොටස් මත ගොඩනැගිය හැකිය. නමුත් කුලී හමුදා මත කුමාරයා තම බලය ගොඩනගා ගැනීම බෙහෙවින්ම අනතුරුදායකය. එමගින් රට පාලනය කිරීමට අවශ්‍ය ශක්තිය හා ස්ථාවරත්වය කුමාරයාට නොලැබේ. කුලී හමුදා වීරයින් වන්නේ සතුරන් නැති විටදීය.

සතුරන් ඉදිරියේ කිසිදු ලජ්ජාවකින් තොරව ඕනෑම පාවාදීමක් කිරීමට ඔවුහු පසුබට නොවෙති. ඔවුන් සටන් කරන්නේ මුදලට මිස ගරු නම්බුනාම සඳහා නොවීම එයට හේතුව වේ. මුදල් වැඩියෙන් ලබා ගැනීම සඳහා නිර්ලජ්ජිත ලෙස පාවාදීම් කිරීම ඔවුන්ගේ ලක්‍ෂණය වේ. කුලී හමුදා කුමාරයා වෙනුවෙන් සටන් කිරීමට සූදානම්ව සිටින්නේ යුද්ධයක් නැති අවස්ථාවල දී පමණි. සැබෑ වශයෙන්ම යුද්ධයක් පවතින විට ඔවුන් කුමාරයා පාවා දී පලා යනු ඇත. එවැනි හමුදාවක් මත කුමාරයා බලය ගොඩනැගීමට කටයුතු කිරීම අණුවනකමකි. එබැවින් ජාතික හමුදාවක් මත තම බලය ගොඩනැගීමට කුමාරයා පියවර ගත යුතුය. ජාතික හමුදාව සටන් කරන්නේ නම්බුනාම, රට, ජාතිය හා ආගම වෙනුවෙන් මිස මුදල් සඳහා නොවේ. එවැනි හමුදාවක් අවසාන මොහොත දක්වාම කුමාරයා වෙනුවෙන් සටන් කරනු ඇත’.

මැකියාවලී කුලී හමුදා ගැන කරන මෙම විග්‍රහය ඒකාබද්ධ විපක්‍ෂය විසින් කොළඹ මෙහෙයුම සඳහා ගෙනෙන ලද කුලී හමුදාවට බෙහෙවින්ම ගැලපේ. එම කුලී හමුදා භටයින් යහපාලන ආණ්ඩුව පෙරලා දමා බලය අල්ලා ගැනීම පිණිස ජීවිත පූජා කිරීමට සූදානම්ව සිටියේ සුරාමත තිබෙනතාක් කල් පමණි. සුරාමත පහවූ සැණින් ආණ්ඩු පෙරලා දමා මහින්ද රාජපක්‍ෂ යළි සිහංහාසනාරූඩ කිරීමේ කොළඹ මෙහෙයුමේ මූලික අරමුණ කුලී හේවායින්ට අමතක විය. ඔවුන් පස් වෙනිදා මධ්‍යම රාත්‍රිය ළඟා වනවිට ඒකාබද්ධ විපක්‍ෂයේ නායක කාරකාදීනට පවා නොදන්වා කොළඹ ඇල්ලීමේ විප්ලවය පාවා දී ආපසු සිය ගම්රටවල් බලා පැන ගියේ එමනිසයි. මෙම සිද්ධි මාලාවෙන් පෙනී යන්නේ කුමක්ද? එක් අතකින් ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයින්ගේ දේශපාලන ලඳ බොලඳ බවය.

ඔවුන්ගේ දේශපාලන දැනුමේ ඇති දුගීභාවයය. පුරසාරම් ගැසීම හැරුන විට වෙනත් ක්‍රියාකාරී වැඩපිළිවෙළක් එවුන්ට නොතිබුණ බවය. ඉතාම කෙටියෙන් කියනවා නම් කොළඹ මෙහෙයුම හැඳින්විය හැක්කේ අරහෙටත් නැති මෙහාටත් නැති නපුංසක දේශපාලන ව්‍යායාමයක් ලෙසය. හේතුව කොළඹ මෙහෙයුම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ආණ්ඩු පෙරලීමේ කලාව සමඟ හෝ විප්ලවීය ආකාරයෙන් ආණ්ඩු පෙරලීමේ කලාව යන දෙකෙන් කිසිවක් සමඟ සම්බන්ධ නොවීමය. කොළඹ මෙහෙයුමේ ශුද්ධ ප්‍රතිඵල වූයේ එක් අතකින් විශාල මුදල් සම්භාරයක් නිකරුණේ නාස්ති වීමය. කොළඹ නගරය දුර්ගන්ධය හමන පොදු වැසිකිළියක තත්ත්වයට පත් වීමය. රනිල් වික්‍රමසිංහ-මෛත්‍රීපාල දෙදෙනාගේ යහපාලන ආණ්ඩුව ශක්තිමත් කිරීමය.

නව අදහස දක්වන්න