ඒකාබද්ධය පාරට ආවේ රටේ නීතියට බලපෑම් කරන්න | දිනමිණ

ඒකාබද්ධය පාරට ආවේ රටේ නීතියට බලපෑම් කරන්න

මහාචාර්ය සරත් විජේසූරිය
සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු

පසුගියදා කොළඹ දී පැවැත්වුණු ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව සහ එවැනි විරෝධතාවන්ගෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්නත් සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරයේ වත්මන් සහ අනාගත වැඩපිළිවෙළ පිළිබඳත් ආණ්ඩුවේ වත්මන් ක්‍රියාමාර්ග ගැනත් සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය එහා ඉවුරට අදහස් දක්වයි.

* ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කරන ඒකාබද්ධ විපක්ෂය ජනතාව කොළඹට ගෙනත් විරෝධතා පෑම ඔබ දකින්නේ කෙසේ ද?

කොළඹට ආව ජන බලයේ මූලික අරමුණ මොකක් ද කියලා, රූපවාහිනී නාලිකාවල වගේම සමාජ මාධ්‍යවල පළ වුණ රූපරාමු දෙස බැලුවම හොඳින් පේනවා. අපි දැක්කා මේ රට නීතිය මත පාලනය නොකරන්න කියලා බල කරන ජනතාවක් ඒ අතර හිටි බව. බොහෝ පිරිසක් මත්පැන් පානය කරලා තැන තැන වැටිලා හිටියා. තවත් සමහරු ඒක විනෝද ගමනක් කරගෙන. තවත් පිරිසක් අවසිහියෙන් හැසිරුණා. මේ අතර දේශපාලකයෝ කිව්වෙ කොළඹ වට කරනවා කියලයි. එහෙම වහසි බස් දොඩපු අයට කියපු දේ කරගන්න බැරි වුණා. හිටපු ජනාධිපතිවරයා දීර්ඝ කාලයක් මේ රට පාලනය කරපු කෙනෙක්. එතුමා හිතනවා නම් මහජන වරමින් බිහි වුණ ආණ්ඩුවක් ජනතාව පාරට බස්සලා එක රැයෙන් පෙරලා දාන්න පුළුවන් කියලා, ඒක කොයි තරම් නොමනා ආකල්පයක් ද? අගනුවරට මහජනතාව ගෙනත් දැම්මට ආණ්ඩුවක් පෙරළෙන්නෙ නෑ කියලා එතුමා හොඳින්ම දන්නවා.

* විරෝධතා පෙළින් පෙළට දියත් වෙන්නේ ආණ්ඩුවට තියෙන අප්‍රසාදය නිසා නෙවෙයි ද?

ඒකාබද්ධයේ දෙන්නෙක් තුන්දෙනෙක් ඇර අනෙක් හැමෝටම අද අධිකරණවල බරපතළ නඩු තියෙනවා. හිටපු පාලකයන්ට මෙන්ම නිලධාරීන්ටත් නඩු පිට නඩු තියෙනවා. අපේ පාලකයන්ගේ තියෙන නිවට කමක් නිසා හිටපු පාලකයන්ට නඩු පැවරීම අතැරලා තියෙනවා. මේවා සම්බන්ධයෙන් දූෂණ වංචා චෝදනා එල්ල වෙලා ඉන්න නිලධාරීන් හා දේශපාලනඥයින් හොඳින් දන්නවා. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට යම් යම් සංඥා නිකුත් කරන්න. හිටපු ජනපතිවරයාට නැවත වරක් බලයට එන්න ඕනකමක් නෑ. ඒත් එතුමාගේ පුත්‍රයාට මේ රටේ පාලනය බාර දෙන්න පසුබිම සකස් කරන්න ඕන නිසා මේ වගේ දේවල් කරනවා. නීත්‍යානුකූල මැතිවරණයකින් ජනවරමක් ලබා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි තේරුම්ගත යුතුයි. ඒ දේ නොකර විරෝධතා, උද්ඝෝෂණවලින් රාජ්‍ය බලය අල්ලා ගැනීම කියන සටන් පාඨය මුසාවක්.

* ඔබ කියන්නේ හිටපු පාලකයන්ට එරෙහිව තියෙන චෝදනාවලට නඩු ගොනුකිරීම් ප්‍රමාද කිරීමට මෙවැනි දේවල් කරනවා කියලද?

ඒ කාරණය කාටත් හොඳින් පේනවා. පළාත් පාලන මැතිවරණයේ දී කිව්වා අලුත් අගමැතිවරයෙක් පත්කරනවා කියලා. එහෙම කරන්න බෑ. එහෙම කරනවා නම් මේ රට නීතියක්මත පාලනයවෙන රටක් නෙවෙයි. රට පාලනය කරපු පාලකයෙක් ජනතාව පාරට බස්සලා රාජ්‍ය බලය ලබා ගන්න පුළුවන් කියලා හිතනවා නම්, ඒක හිතළුවක්. මේ දේවල් වලින් ඒ අය බලාපොරොත්තු වෙන්නේ, නීතියෙන් වරදකරුවන්වීම කියන එක යම් ආකාරයකට පාලනය කර ගැනීමට අදාළ අංශවලට බලපෑම් කිරීමක්. මේ රට ශීලාචාර රටක් කිරීමේ වගකීම තියෙන්නේ මේ රටේ අධිකරණවලට. ඒ නිසා අපි වැදගත් වෘත්තිකයන් හැටියට, මහජන මුදලින් ඉගෙන ගත්තු, මහජන මුදල්වලින් වැටුප් ලබන පුද්ගලයෝ හැටියට, නීතිය මත රට පාලනය කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගන්න කියලා අධිකරණ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒක ඔබ අප සියලු දෙනාගෙම වගකීමක්.

* ඔබ ඇතුළු සිවිල් සංවිධාන 2015දී පැවැති රජය පෙරළා දාන්න ජනමතයක් ගොඩනැඟුවා. ඒත් ජනතාව පාරට බැස්සවීම වැරදියි කියල දැන් කියනවා?

එදා, හිටපු ජනාධිපතිවරයා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් දිවි ඇති තෙක් බලයේ සිටීමට හැකි ආකාරයට ව්‍යවස්ථාව සකස්කර ගත්තා. එදා ජනාධිපතිවරණයට ගියේ මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය භුක්තිවිඳීමට තිබුණ අවස්ථාව අහිමි කරලයි. ඒකාධිපති පාලනයක් සහිත තම පවුලෙන් පිට රාජ්‍ය පාලනයක් නොමැත කියන තැන එදා රාජ්‍ය පාලනය ඉදිරියට ගියා. ඒ ගමන වෙනස් කරන්න අපවත්වී වදාළ සෝභිත හිමියෝ විශාල කැප කිරීමක් කළා. ඒ ක්‍රියාවලියේ අවසාන තීන්දුව ලෙස නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ගෙනාවා. එදා හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය ඇතුළු සියලු බල කේන්ද්‍ර තමන්ගේ අණසකට නතු කරගෙන හිටියේ. එතුමා තරගයක් නොමැතිවම ජනාධිපතිවරණය ජය ගන්න පුළුවන් කියලා හිතුවා. ඒ මතය බිඳලා අපි මේ රට ශීලාචාර කරන්න වත්මන් ජනපතිවරයා තෝරා පත් කළා.

මේ නායකයන් දෙපළට රාජ්‍ය පාලනය බාර දුන්නේ මේ රටට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කරලා නීතිය අනුව පවතින රටක් බවට පත් කරන්න. ලෝකයටම ඇහෙන්න සෝභිත හිමිගේ දේහය ඉදිරියේ දී, මම ජනපති වෙලා ඉන්නෙත්, එජාප නායකයා අගමැති වෙලා ඉන්නෙත් සෝභිත හිමිගේ කැපවීම නිසා කියලා. ඒ නිසා විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට කළ හැකි හැමදෙයක්ම කරනවා කිව්ව ජනපතිවරයා අද කිසිවක්ම කතා නොකර ඉන්නවා.

* සෝභිත හිමියන්ගේ අරමුණට යන්න ඔබලා ඉදිරියේදී කටයුතු කරන ආකාරය ගැන කුමක් ද කියන්නේ?

සෝභිත හිමිගේ නාමයෙන් යළි මේ රටේ නීතිගරුක පාලනයක් ඇතිකරන්න, ජනවාරි 8 ඒකරාශි වූ සියලු බලවේග එකතු කරන්න අපි කටයුතු කරනවා. ඒ කාර්යය භාර්යයට උරදීමට අපි අද ඉදලා පෙළ ගැහෙනවා. දීර්ඝ කාලයක් මේ රට පාලනය කරපු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මේ රටේ දැවෙන මූලික ප්‍රශ්න කිසිවකට උත්තර දුන්නේ නෑ. ඒ නිසා තමයි අපි අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් තෝරා ගත්තේ. වතුර මුට්ටිය පොළොවේ ගැහුවා වගේ අපේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ශ්‍රීලනිප යේ සභාපතිකම බාර ගත්තා. මෙතැනින් එහාට අපි කළ යුත්තේ කුමක් ද? සෝභිත හිමියන් අද අප අතර නෑ. මේ ආණ්ඩුව අද කරන දේ ගැන කිසිම ප්‍රසාදයක් අපට නෑ. පසුගිය පාලනයේ දී අධිකරණ ක්‍රියාවලියට සිදුවූ දේ අපි දන්නවා. 2015න් පස්සේ අධිකරණය ස්වාධීන කරලා සියලු දූෂණ වංචා විමර්ශණය කර නඩු දාන්න ගියත්, සියල්ල යටපත් වෙලා.

* දූෂණ වංචා සම්බන්ධයෙන්, පවතින රජයට එල්ලවන චෝදනා ගැන කියන්නේ කුමක් ද?

යහපාලන ආණ්ඩුව අද වෙනත් ගමන් මාර්ගයක යනවා. වසරක් ගත වෙන්නත් කලින් මහ බැංකු බැඳුම්කර වංචාව සිදු වුණා. යහපාලනය බිඳ දැම්මා. අනෙක් පැත්තෙන් මුළු රටක්ම විශ්වාස කළ පුද්ගලයා, ශ්‍රීලනිපයේ සභාපතිකම අරගෙන ශ්‍රීලනිපය ආරක්ෂා කිරීමේ වෑයමේ යෙදිලා ඉන්නවා. ආරක්ෂක ලේකම්වරයාට, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානියාට, පොලිස්පතිවරයාට, ආරක්ෂක හමුදාපතිවරුන්ට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට ඉතිහාසයේ පළමු වතාවට අධිකරණය ඉල්ලන තොරතුරු නොදී ඉන්න නියෝග කර තිබෙනවා. හිටපු ජනපතිවරයා රට පාලනය කළ ආකාරය අපි හොඳින්ම දන්නවා. ඊට විරුද්ධව තමයි වත්මන් ජනපතිවරයා පත් කළේ. විධායක බලතල භාවිතයෙන් අධිකරණයට යුක්තිය පසිඳලීමට අවශ්‍ය තොරතුරු දෙන්න එපා කියනවා නම්, ඒක රටේ නායකයාට ගැලපෙන දෙයක් නෙවෙයි.

* ඔබ ඇතුළු පුද්ගලයන්ටත්, සිවිල් සංවිධානවලටත් අනාගතයේ පැවරෙන වගකීම සම්බන්ධව දරන අදහස කුමක් ද?

මේ රටේ අනාගතය ගැන හිටපු පාලකයෝ සහ වත්මන් පාලකයෝ කියන කිසිවකු ගැනවත් විශ්වාසයක් තියන්න බැරි තරමට ජනතා බලාපොරොත්තු බිඳ වට්ටලා ඉවරයි. ඒ නිසා අපට සිදු වෙනවා ජනවාරි 8 වැනිදා, නීතිගරුක පාලනයක් වෙනුවෙන් එකතු වුණ පිරිස එක්ක නැවත වරක් අත්වැල් බැඳ ගන්න. අපි නැවත එකතු වෙලා, මේ රට නිවැරැදි මාර්ගයේ ගෙනියන්න වගේම ශීලාචාර රටක් කරන්න අවශ්‍ය අලුත් නායකත්වයක් තෝරා ගන්න. මේ අවස්ථාවේ දී බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නය, අපි කුමක් ද කරන්නේ, කාවද නායකයා ලෙස තෝරා ගන්නේ. අද අපට අවශ්‍ය වන්නේ තිරසර ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක වන නිර්පාක්ෂික අපේක්ෂකයෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිර්පාක්ෂික පුද්ගලයෙක් විය යුතුයි. අපි විශ්වාස කරනවා, ශීලාචාර රාජ්‍ය පාලනයකට නිසි වෙලාවට ඒ පුද්ගලයා අපට හමු වෙයි කියලා.

* ඒ තැනැත්තා පාර්ලිමේන්තුවේ ඉන්න 225න් එක්කෙනෙක් ද වෙනත් කෙනෙක් ද?

අපි අනුගමනය කරන්නේ සෝභිත හිමි අනුගමනය කරපු ක්‍රියා පිළිවෙතයි. හිටපු ජනපතිවරයා ජනාධිපතිවරණය කැඳවන්න ඔන්න මෙන්න ඇහුවා කෝ අපේක්ෂකයා කියලා. ඒ වගේම මේ පාරත් නිසි අවස්ථාවේ දී කරළියට ගේනවා. අද පාර්ලිමේන්තුවේ ඉන්න පිරිසගෙන් ජනතා සේවයට කැපවෙලා ඉන්න 25 දෙනෙක් පෙන්නන්න පුළුවන් ද? මම හිතන විදිහට එහෙම අය එතැන නෑ. අවුරුදු 5කට මහජන වරමක් ලබන පුද්ගලයෙක් ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුප් ලබන කොට අවුරුදු ගාණක් බස්වල කෝච්චිවල ගාටපු මිනිස්සුන්ට විශ්‍රාම වැටුප් ලැබෙන්නෙ කොහොම ද? මේවා ශිෂ්ට සම්පන්න ද? ඒ නිසා මේ රටට බරපතළ වෙනසක් අවශ්‍යයි. ඒ දේ කරන්න ප්‍රතිපත්තිව එකඟ වෙන කෙනෙක් හා නීතිමය බැඳීමක් එක්ක අපි පොදු අපේක්ෂකයා තෝරා ගන්නවා. අද පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවෙක් පාර්ලිමේන්තුවට සුදුසු නෑ. ඒ නිසා සුදුසුම වෙලාවට සුදුසුම කෙනා තෝරාගෙන ජනාධිපතිවරණයේ දි ඉදිරිපත් කරන්නම්.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප - සිරිපාල හල්වල


නව අදහස දක්වන්න

Or log in with...