තොරතුරු අයිතිය යෝධ ශක්තියක් | දිනමිණ

තොරතුරු අයිතිය යෝධ ශක්තියක්

සැප්තැම්බර් 20 දාට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු දිනය සහ ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනතට වසරක් පිරීම නිමිත්තෙනි.

එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරම්භ වී දශක හතකට වඩා වැඩි කාලයක් ‍ගෙවී ඇත. අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, සෝවියට් දේශය සහ චීනය එකතුව 1944 සකස් කළ ප්‍රඥප්තියට අනුව යමින් 1945 ඔක්තෝබර් 24 දා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇරඹිණි. එදා ඊට එක්වූ සාමාජික රටවල් සංඛ්‍යාව 51 කි.

ඊට වසරක පමණ ඇවෑමෙන් මේ සංවිධානය ජනතාවට තොරතුරු සෙවීමට මෙන්ම ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කිරීමට වන ලියවිල්ලක් ප්‍රකාශයට පත් කලාය. පසුව මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය ද නිකුත් කෙරිණි. එහි 19 වගන්තිය හෙවත් ආර්ටිකල් 19 මඟින් අදහස් දැරීමේ, ප්‍රකාශ කිරීමේ, තොරතුරු ලබාගැනීමේ, තොරතුරු ප්‍රචාරය කිරීමේ අයිතිය තහවුරුව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ තවත් සංවිධාන පසුව බිහිවිය. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක, සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝව පැරිස්වලදී 1946 ආරම්භ විය. ප්‍රවෘත්ති බෙදාහැරීම සම්බන්ධයෙන් යුනෙස්කෝව කළ අධ්‍යයනය ඉතා වැදගත්ය. ප්‍රවෘත්ති බෙදාහරින කටයුත්තේ කැපී පෙනෙන්නට වූයේ ප්‍රවෘත්ති ඒජන්සිය. බටහිර මතවාදය ව්‍යාප්ත කිරීමේ උත්සාහයක ප්‍රවෘත්ති ඒජන්සි නිරතවන බවට ද එකල චෝදනාවක් නැඟිණි. මේ නිසාම තුන්වන ලෝකයේ රටවල් බටහිර ගැති ප්‍රවෘත්ති ඒජන්සි පසමිතුරු ආකල්පයකට ලක්කළේය.

තෙවන ලොව රටවල් බටහිර මතවාදය ව්‍යාප්ත කරන ප්‍රවෘත්ති ආයතන සම්බන්ධයෙන් ප්‍රකාශිත විරෝධාකල්පයන් සැළකිල්ලට ගැනීමට යුනෙස්කෝවට සිදු විය. ආසියානු ප්‍රවෘත්ති සේවාව සහ අප්‍රිකානු ප්‍රවෘත්ති සේවාව බිහිවීමෙන් පසුව ‍එතෙක් පැවති අසමබර ප්‍රවෘත්ති තොරතුරු වාර්තාකරණය දැකගත හැකි වූ අතර යුනෙස්කෝව සිය 18 වන මහා සභා රැස්වීම 1974 දී පැරිසියේදී පැවති අවස්ථාවේ සමබර ප්‍රවෘත්ති ගලායෑමේ අවශ්‍යතාවය ගැඹුරින් සාකච්ඡාවට ලක්විය.

1976 දී සන්නිවේදන ගැටලු කෙරෙහි අවධානය යොමුකර මැක්බ්‍රයිඩ් කොමිසම පිහිටුවන්නට යුනෙස්කෝව මූලික විය. නොබෙල් සාම ත්‍යාගය සහ ලෙනින් සාම ත්‍යාගය හිමිකරගත් විද්වතෙක් වූ මැක්බ්‍රයිඩ්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ කොමිසමේ වාර්තාව 'MANY VOICE ONE WORLD' ලෙස ප්‍රකාශයට පත්විය. අමෙරිකානු එක්සත් ජනපදය, සෝවියට් දේශය, ඉන්දුනීසියාව, කොළොම්බියාව, ජපානය, නයිජීරියාව, යුගොස්ලෝවියාව, ඊජිප්තුව, ඉන්දියාව, කැනඩාව, චිලිය ඇතුළු රටවල් 15 ක සාමාජිකත්වයෙන් මේ වාර්තාව සකස් විය.

යහපත් අරමුණු සහිතව අනාගතයේ ඇතිවන සංවාද හරහා මානව වර්ගයාගේ යහපත උදෙසා මෙම කොමිසම ක්‍රියාත්මක වන බව සඳහන් විය. විවිධත්වයට ගෞරව කිරීම එහි පාදමයි, විවිධත්වයේ වටිනාකම සැළකිල්ලට ගෙන ඇත. කලින් තනා ගත් ආකෘතිවලට විශ්වීය භාවිතය සඳහා ස්ථානයක් නැත යන ස්ථාවරයේ සිටිමින් මැක්බ්‍රයිඩ් කොමිසම සිය වාර්තාව එළිදක්වා ඇත්තේ 1980 දීය.

සන්නිවේදනය මූලික පුද්ගල අයිතිවාසිකමක් ‍මෙන්ම සියලු ප්‍රජාවන්ට සහ ජාතීන්ට අවශ්‍ය සාමුහික අයිතිවාසිකමකි යන මතය මැක්බ්‍රයිඩ් සමාලෝචනයේ පදනම ලෙස සැළකෙයි. තොරතුරු ලබාගැනීමේ නිදහස, විශේෂයෙන්ම තොරතුරු සොයා බැලීමේ නිදහස, තොරතුරු ලබාගැනීම සහ තොරතුරු දන්වා සිටීම මූලික මිනිස් අයිතිවාසිකමකි.

මූලික මිනිස් අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර ඇති සහසම්බන්ධතාවය වැඩි වැඩියෙන් සාකච්ඡාවට ලක්වන යුගයක සුවිශේෂී වූ මූලික අයිතියක් ලෙස සැළකෙන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ශ්‍රී ලාංකේය ජනයාට හිමිවීමෙන් පසු යෙදෙන තොරතුරු දැනගැනීමේ ජාත්‍යන්තර දිනයට එක්වීමට ද දොරටු විවරව ඇත.

ලෝකයේ තුන්වන තැනට හොඳම තොරතුරු දැනගැනීමේ පනත ඇත්තේ අපටය. දූෂණයට, වංචාවට, නාස්තියට විරුද්ධව, එහෙත් හඬක් නොමැතිව සිටි ජනතාවට දැන් නිත්‍යානුකූලව අයිතියක් ලැබී ඇත.

අපේ අසල්වැසියා මෙන්ම කලාපයේ බලවතා ද වන ඉන්දියාව 2005 දී තොරතුරු දැනගැනීමේ පනත නීතිගත කළ අතර ඒ පසුපස කතාන්තරයේ ඇත්තේ අපට වඩා වෙනස් චිත්‍රයකි. දූෂණය, අල්ලස, නාස්තිය ඉන්දීය සමාජය තුළ මුල්බැස තිබිණ. සිවිල් සංවිධාන සහ මහජනයා පාරට බැස උද්ඝෝෂණය කරන්නට යෙදුණි. යහපත් සහ සාධාරණ සමාජයකට තොරතුරු දැනගැනීමේ පනතක අවශ්‍යතාවය, සමාජ කතිකාවතට, ඉන්දියාව අභ්‍යන්තරයේ ඇතිවිය. මෙම පනත සක්‍රීයව ප්‍රයෝජනයට ගනු ලබන මාධ්‍යවේදීන් ද සාමාන්‍ය ජනයා ද සිටින්නේ ඉන්දියාවේය. එය කැපී පෙනෙයි.

ඉන්දියාවට පසු නේපාලය ද, බංගලිදේශය, මාලදිවයින සහ භූතානය ද තොරතුරු අයිතිය ජනතාවට ලබා දුන්නේය. ආසියාවේ අවසාන රට අපේ රටය. මීට සියවස් දෙකකට පමණ පෙර එනම් 1766 දී තොරතුරු අයිතිය එරට ජනතාවට ප්‍රදානය කරනු ලැබූ රට ස්වීඩනයයි. 1994 වර්ෂයේ සිටම අවස්ථා කිහිපයකදීම මෙරට තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කිරීමට ගත් උත්සාහයන් ව්‍යාර්ථ විය.

විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කරු ජයසූරිය මහතා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කළ යෝජනාව. එවකට බලයේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පැත්තකට දැමුවේ ඊට වඩා දියුණු පනතක් ගේන බව පවසමිනි. 2002 වසරේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් අනුමැතිය ලබාගත් යෝජනාව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව හදිසි මැතිවරණයක් නිසා ගිලිහිණි. රනිල් වික්‍රමසිංහ මහතා අවංකවම ඒ සඳහා කැපවූ නායකයෙක් ලෙස පැවසීම අති‍ශයෝක්තියක් නොවන්නේය.

2015 ජනාධිපතිවරණයේදී මැතිවරණ පොරොන්දුවක් වූ තොරතුරු දැනගැනීමේ පනත යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසු ක්‍රියාවට නැඟිණි. ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි කරුණාරත්න පරණවිතාන, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ මඟපෙන්වීම අනුව දැක්වූ උනන්දුව කැපී පෙනෙන්නකි. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත 2016 අගෝස්තු 04 වන දින නීතිගත විය.

තොරතුරු දැනගැනීමේ පනත සම්මත වීමෙන් එය මූලික අයිතියක් ලෙස පිළිගැනෙයි. පිටි කිලෝ එකේ, සහල් කිලෝවේ මිල පිළිබඳව පමණක් සංවේදී ජනතාවක් ද දේශපාලනයක් ද ඇති රටක ඊළඟ අභියෝගය වන්නේ පනත සක්‍රීය කරන්නට මිනිසුන් අවබෝධයෙන් සන්නද්ධ කිරීමය. ගමේ බෝක්කුව, පාර, වැව හදන විට සැකයක් අවිශ්වාසයක් වේ නම් අකුරු නොදන්නා බණ්ඩලාට ද මේ පනතේ ආවරණය හිමිය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඇමැතිවරයාට පනතින් පැවරෙන බලතල ප්‍රකාරව දැන් අමාත්‍යාංශ - දෙපාර්තමේන්තුව, පළාත් සභාව ද සම්බන්ධ කරගෙන ජනතාව දැනුම්වත් කිරීමට - ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ සාධනීය ප්‍රතිඵල අත්කරගෙන ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කරන විට දූෂණයට, අල්ලසට සහ නාස්තියට වැට බැ‍ඳෙයි. ඒ අයිතිය පුරවැසියකුට හිමිවන මූලික අයිතියක් ලෙස සළකා ක්‍රියාත්මක වන පුරවැසියාට තොරතුරු දැනගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම යා හැකිය. සෑම රාජ්‍ය ආයතනයකම තොරතුරු නිලධාරියෙක් සිටින අතර ලිඛිතව හෝ වාචිකව ඉල්ලා සිටින තොරතුරක් ලබාදීමට ඔවුන් බැඳී සිටියි. කිසියම් තොරතුරු නිලධාරි‍ෙයක් තොරතුරු හෙළිකිරීම ප්‍රතික්ෂේප කළහොත් තොරතුරු කොමිසමට යා හැකියි. එහිදී යම් හේතුවක් නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේපයට ලක්වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තම අයිතියට සාධාරණත්වය ඉටුකරගැනීමේ අවස්ථාව ලැබෙයි.

පුද්ගලික තොරතුරු, ආරක්ෂක තොරතුරු, බැංකු කටයුතු හෝ ණය, වෙළෙඳ ගිවිසුම් ගැන තොරතුරු ඉල්ලා නොසිටීම වඩාත් යහපත්ය. තොරතුරු ඉල්ලා සිටින්නාගේ සද්භාවය ද මෙහිදී ඉතා වැදගත්ය. තොරතුරු වසංකරන සංස්කෘතියකට හුරුව සිටින සමාජයකට තොරතුරු දැනගැනීමේ අයිතිය ඕනෑ නැති ලෙඩක් ලෙස සිතෙන්නට ඉඩ ඇත. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්ට පරිස්සම්වීමට සිදුවන අතරම නිලධාරි ඌෂ්නය, උද්දච්ච බව අත්හැර දැමීමට ද සිදුවෙයි. කරේ තියෙන ලේන්සුව අතට අරගෙන බයාදු ලෙස ආණ්ඩුවේ කන්තෝරුවට ඇතුළුවන මිනිසකු වෙනුවට තම අයිතිය පිළිබඳව දැනුමින් යුතු දියුණු පුරවැසියෙකුට මුහුණදීමට රාජ්‍ය නිලධාරීන්ට සිදුවනු ඇත.

ජාත්‍යන්තර තොරතුරු දිනයට සමගාමීව සැප්තැම්බර් 14 වනදා ඇරඹෙන තොරතුරු සතිය තුළ සිවිල් සංවිධාන, මාධ්‍යවේදීන්, සාමාන්‍ය ජනයා දැනුම්වත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කරනු ඇත. වීදි නාට්‍ය, සාකච්ඡා සම්මන්ත්‍රණ අතරට තොරතුරු පනතට අදාළව සිදුර ඇති ශාස්ත්‍රීය පර්යේෂණ එළිදැක්වීමක් ද සිදුවෙයි. තොරතුරු දැනගැනීමට ඇති අයිතිය පිළිගැනීම පුරවැසියා සතු අයිතීන් බලගැන්වීමට ගනු ලැබූ ඉදිරිගාමී පියවරක් ලෙස අරුත්ගැන්වෙයි.

නිශ්චිතවම, තොරතුරු ලබාගෙන මාධ්‍ය හරහා ඉදිරිපත් කරන ප්‍රවෘත්තියක ද වටිනාකම මේ අයිතිය විසින් සුරක්ෂිත කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන්නේ ඡන්දය තැබීමෙන් පමණක් යැයි කල්පනා කරන පාලකයින්ට ද ප්‍රජාතන්ත්‍රවාදය යනු ඡන්දය දැමීම පමණක් යැයි සිතන වැසියන්ට ද තොරතුරු දැනගැනීමේ පනත මඟින් ලබා දී ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ අරුත පුළුල් කරන්නට ලැබුණ වරප්‍රසාදයක් බව වැටහෙන්නට කාලයක් ගතවනු ඇත.

කුමාරදාස ගිරිබාව

නව අදහස දක්වන්න