පොදු සේවා හරි පාරෙද? | දිනමිණ

පොදු සේවා හරි පාරෙද?

පොදු සේවාවන් හි අවශ්‍යතාව දුප්පත්, පොහොසත් සෑම කෙනකුටම අඩු වැඩි වශයෙන් බලපානු ලැබේ. එහෙත් එහි වැදගත්කම දන්නේ කී දෙනාද යන්න සළකා බැලිය යුතුය. මන්දයත් දුප්පත් ප්‍රජාව වුවද ණය වී හෝ නොමිලේ ලැබෙන සේවාවන් මුදලට ගැනීමේ සංස්කෘතියක් බිහිව ඇති හෙයිනි. පොදු ජනතාවට හිමි, පොදු සේවා විධිමත් ලෙස, නිසි කලට ලැබීම හා නොලැබීම දක්නට ලැබෙන අතර එහි ගුණාත්මක තත්ත්වය නැතිනම් ප්‍රමිතිය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මෙකී තත්ත්වයන් හේතුවෙන් පොදු ජනතාවට පොදු සේවා අහිමි වී යාමක් දක්නට ලැබේ.

පොදු සේවාවන් පිළිබඳ ජනතා අවබෝධය වැඩි දියුණු කිරීම සඳහාත්, සේවාවන් ලබා දෙන පිරිස් හා සේවා ලබා ගන්නා පොදු ජනතාව අතර විධිමත් සහසම්බන්ධයක් ඇති කිරීම වැදගත් වනු ඇත. පුරවැසි වාර්තා පත යනු පොදු සේවාවන්ගේ ක්‍රියාකාරිත්වය හා එම සේවාවන් ලබා ගන්නා පුරවැසියන්ගේ අදහස් ලබා ගන්නා සහභාගීත්ව අධ්‍යයනයකි. මෙම අධ්‍යයනය, සේවාවන් ලබා ගන්නා පුරවැසියන්ගේ අදහස් ලබාගැනීම හරහා ඔවුන් වෙතට ලබා දෙන සේවාවන්ගේ තොරතුරු විධිමත් පියවර අනුගමනය කරමින් සකසා ගනු ලැබූවකි. ජනතාව විසින් ලබා ගන්නා හා ජනතාව වෙත ලබා දිය යුතු පොදු සේවාවන් ආශ්‍රිත තත්ත්වයන් පිළිබඳ මෙම ලිපියේදී සාකච්ඡා කෙරේ.

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය මඟින් මුලතිව්, මඩකලපුව සහ මොණරාගල යන දිස්ත්‍රික්ක තුනෙහි මෙම අධ්‍යයනය සිදු කරන ලදී. එහිදී විශේෂයෙන් සේවාවන් පිළිබඳ තොරතුරු හා දත්ත සහ ඒ ඒ ප්‍රදේශයන්හි සේවාවන් ලබා ගැනීම සඳහා පවතින අවකාශ පිළිබඳ මෙන්ම ස්වාවන්හි තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන ලදී. මෙම ලිපිය සඳහා පදනම් වන්නේ මුලතිව් සහ මඩකලපුව තුළ රජයෙන් නොමිලයේ සැපයෙන සේවාවන් පිළිබඳවය. මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක ද මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකද මෙම අධ්‍යනය සිදු කෙරිණි. මඩකලපුව දිස්ත්‍රික්කයේ ඒරාවුර්, කෝරලෙයිපට්රු දකුණ, මන්මුනෛ නිරිත, පෝරතීවූපට්රු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ මුලතිව් හි කෙරෙතුරෙපට්රු, ඕටුසුට්ටාන් සහ වැලිඔය නමැති ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාස තුනද අධ්‍යයනය සඳහා තෝරා ගැනුණි.

එහිදී ජනතාව වෙත ලබා දෙන පොදු සේවාවන්, එම සේවාවන් ලබා ගැනීමට තිබෙන අවස්ථා එහි ගුණාත්මක තත්ත්වය පිළිබඳව සහ සේවාවන් පිළිබඳ වන තෘප්තිමත්භාවය සම්බන්ධවද සළකා බලන ලදී. ජනතාව ලබා දුන් අදහස්වලට අනුව ඇතුළාන්තයේ වන සත්‍යය අවබෝධ කර ගත හැකි විය.

පුරවැසි වාර්තා පත අධ්‍යනයේදී ජනතාවට ලැබිය යුතු පොදු සේවාවන් කුමක්ද යන්නත්, ජනතාව විසින් ඒ සම්බන්ධව දැනගත යුතු කාරණා කුමක්ද යන්නත් පිළිබඳ වන දැනුම ඉතා වැදගත් වේ. ප්‍රාදේශීය සභා විසින් එදිනෙදා අවශ්‍යතා සඳහා යම් යම් සේවා ලබාදිය යුතුය. එනම් පානීය ජලය, මාර්ග, වීදි ලාම්පු, කාණු පද්ධති, කැළි කසළ එකතු කිරීම, පොදු ක්‍රීඩාපිට්ටනි, පොදු පුස්තකාල සහ ළමා උද්‍යාන නමැති සේවාවන්ය.

මෙම එක් එක් ප්‍රදේශවල සිදු කරන ලද අධ්‍යයනයට අනුව සේවාවන් කිහිපයක් ජනතාවට ලබා ගැනීමට අවස්ථාව හිමිව ඇත. ජනතාව විසින් ලබා ගන්නා සේවාවන් පිළිබඳව වන තෘප්තිය අනුව ඒ ඒ සේවාවන්හි තත්ත්වය අපට අවබෝධකර ගැනීමට හැකියාව ඇත. විශේෂයෙන් පානීය ජලය යනු මූලික අවශ්‍යතාවයකි. පානීය ජලය නමැති පොදු අවශ්‍යතාව ඉටු කර දීම ප්‍රාදේශීය සභාවේ වගකීමකි. මඩකලපු දිස්ත්‍රික්කයේ පර්යේෂණයට අනුව ප්‍රමාණවත් පරිදි ප්‍රාදේශීය සභාවෙන් ජලය සපයනු ලබයි.

එහෙත් එහි ගුණාත්මක තත්ත්වය පිළිබඳ සියලු ජනතාව සෑහීමකට පත්වන්නේ නැත. මඩකලපුවේ විශේෂයෙන් වන්නිනගර්, මාවේර්කුඩා, කෝවිල්පෝරතීව් බටහිර, දේවපුරම්, මුනෛක්කාඩු උතුර, මහිලඩිත්තීව්, කොක්කඩිච්චෝලෙ සහ අරසඩිත්තීව් නමැති ප්‍රදේශවල පානීය ජලයේ ගුණාත්මක බව ඉතා අඩු බව එහි ජනතාව ප්‍රකාශ කර තිබේ. පානීය ජලය කාලයක් තිස්සේ ඉල්ලා සිටියද නොලැබුණූ පිරිස 30%කි. මුලතිව් හි ජනකපුර, නිකවැව දකුණ, වට්‍රාපෙලෙ, සෙල්වපුරම්, මුල්ලියවෙලෙ උතුර, මුලතිව් දකුණ, මාමුලෙ, ඔට්ටුසුටාන් වැනි ප්‍රදේශවල පානීය ජලය අවම මට්ටමක පවතී.

මාර්ග පිළිබඳව බැලූ කල උතුරු පළාතේ විශේෂයෙන් කිලිනොච්චි, මුලතිව්, මන්නාරම, වවුනියා වැනි දිස්ත්‍රික්කවල සහ නැ‍ඟෙනහිර බොහෝ විට තිබෙන්නේ බොරළු මාර්ගවන අතර එම මාර්ගවල ගමන් කිරීමේදී දූවිලි අධික බව දක්නට ලැබේ. ජනතාව මෙම දුහුවිල්ලෙන් පීඩා විඳිනවාසේම නිසි නඩත්තුවක් නොමැතිවීම නිසා වැසි කාලවලදී මාර්ග භාවිතයට නුසුදුසු තත්ත්වයක පවතී.

දරුවන්ට පාසල් යාමේදී මඩ සහිත මාර්ගවල ගමන් කිරීමට සිදුව ඇත. පාසල ඇරී සපත්තු අතින් ගෙන පෝළිමට පමිණෙන දරුවන් දහවල එකත් දෙකත් අතර සුලබව දැකගත හැකිය. මුලතිව් නිකවැව දකුණ, කිරි ඉබ්බන්වැව, කිරිපන්වැව, ජනකපුර වැනි ගම්මානවල එකදු විධිමත් මාර්ගයක් නොමැත. මුත්තයන්කට්ටුකුලම්, මුල්ලියවෙලෙ උතුර, තිරුමුරික්කන්ඩි නමැති ප්‍රදේශවල තිබෙන මාර්ග ගුණාත්මක තත්ත්වයෙන් ඉතාම අඩු මට්ටමක පවතී. මඩකලපුවේ මවේර්කුඩා, කනේසපුරම්

වන්නිනගර්, වාහනේරී, සෙල්වපුරම්, කිරාන් නැ‍ඟෙනහිර, කෝරකල්ලිමඩු, අරසසිත්තිව් උතුර, තිගිලිවේට්ටේඝ, මුනෛකාඩු බටහිර, දේවපුරම්,

මුනෛකාඩු උතුර හා කොක්කඩිච්චෝලෙ වැනි ප්‍රදේශවල අවශ්‍යතාවයට සරිලන මාර්ග ප්‍රමාණවත් තරමින් නැත. තිබෙන මාර්ග අබලන් තත්තවයේ පවතී. විශේෂයෙන් වැසි කාලවලදී මාර්ග භාවිත කළ නොහැකි තත්ත්වයේ පවතී. සමහර ප්‍රදේශවල මාර්ග තිබුණද එම මාර්ග භාවිත නොකරන්නේ යැයි ජනතාව මැසිවිලි නැඟූහ. මීට හේතුව වී ඇත්තේ එම පාර්වල් හි ගුණාත්මක තත්ත්වය අඩු වීමය. සමහර මාර්ග ප්‍රාදේශීය සභාවට අයත්ද නැතිද යන්නත් ජනතාව දැනුවත් නැත. එහෙත් ඇතැම් මාර්ග වැසි කාලවලදීත් වියළි කාලවලදීත් පවතින තත්ත්වය හේතුවෙන් මිනිසුන් පීඩා විඳිති.

කැළි කසළ එකතු කිරීම ප්‍රාදේශීය සභාව මඟින් සිදු කළ යුතු කටයුත්තකි. එහෙත් මඩකලපු දිස්ත්‍රික්කයේ 42%ක් ජනතාව මෙම සේවාව භාවිත කරන්නේ නැත. එයට හේතුව එම ජනතාව තමාගේ ස්ථානවලදී කසල ප්‍රතිචක්‍රීකරණය කරන බැවිනි. එහෙත් මෙම සේවාව ඉල්ලා නොලැබුණු ප්‍රතිශතය 17%කි. ප්‍රාදේශීය සභා මඟින් පර්චස් 20 ක් තිබෙන ඉඩම් අයිතිකරුවන් කැළි කසළවලින් දිරන ද්‍රව්‍ය සිය ස්ථානවලම ප්‍රතිචක්‍රීකරණය කළ යුතු බවත් නොදිරන ද්‍රව්‍ය ප්‍රාදේශීය සභාවට භාර දිය යුතු බවත් දන්වා ඇත. එහෙත් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම ඉතා වැදගත්ය.

2016 වර්ෂයේ කුටුම්භ ආදායම් වියදම් සමීක්ෂණයට අනුව නගරබද දරිද්‍රතාවය 1.9%ක් ලෙසද, ග්‍රාමීය මට්ටමින් 4.3%ක් ලෙසද සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ 4.1%ක් ලෙසද තිබේ. උතුරු පළාතේ 7.7ක්ද, නැ‍ඟෙනහිර පළාතේ 7.3%ක් ලෙසද දරිද්‍රතාවය පෙන්නුම් කරයි. අධ්‍යයනය සිදු කළ මුලතිව් දිස්ත්‍රික්කයේ දරිද්‍රතාවය 12.7%ක් ලෙසද, මඩකලපුවේ 11.3%ක් ලෙසද සඳහන් වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයෙන් ඉහළ දිස්ත්‍රික්ක අතුරින් දෙවන ස්ථානය මුලතීවු ලෙසත්, තුන්වන ස්ථානය මඩකලපුව ලෙසත් හඳුනා ගෙන තිබේ. එම දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින එසේම පුරවැසියාගේ අවශ්‍යතාවයන් හා සේවාවන් ලබා දෙන පුද්ගලයින් වෙත ගෙනයාම සඳහාත් ඒ හරහා විධිමත් සේවාවන් ලබාදීම උනන්දු කරවීමත්, එමඟින් තිරසාර සංවර්ධනය කරා ළඟාවීමත් අරමුණු කරගනිමින් ප්‍රතිපත්තිමය වෙනසක් සිදුකිරීම මෙම අධ්‍යයනයන්හි අවසාන අරමුණයි. දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය මඟින් හා තාක්ෂණික සහයෝගීතාවය සඳහා වන නියෝජිත ආයතනය මඟින් මෙම පර්යේෂණ සිදු කරන ලදී.

 

අනූෂා සිවලිංගම්
දරිද්‍රතා විෂ්ලේෂණ කේන්ද්‍රය

නව අදහස දක්වන්න