අඳුරු කල්පනා ලොවක තනි නොවී... | දිනමිණ

අඳුරු කල්පනා ලොවක තනි නොවී...

‘කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ...!?’ මේ වේදනාකාර සැකකාර මොරගැසීම, හෙන්රි කල්දේරාගේ ජනප්‍රිය ගීයකින් අප අසා තිබෙනවා. මුහුදුබඩ මාර්ගයේ දුම්රියෙන් බැස වැලි ඇතිරූ මිදුල සහිත තම ගෙවත්තට ඇතුළු වන, සැඳෑවන් කිහිපයකම ඔහු දුටුවේ වැඩුණු පිරිමියකු පළඳින පාවහන් යුගලක පියසටහන්ය.

තම සිඟිති පුතු හා නිවැසි බිරිය හැර වෙන කවරකු හෝ නිවසේ නැත. පැමිණිය හැකි කෙනෙකුද නැත. නමුත් මේ සපත්තු අඩි පාරවල් කාගෙද? එහෙත්, තම මිරිවැඩි සඟල තුළ පුංචි දෙපා ඔබා වැලි මිදුලේ කෙ‍ළි‍ෙදලෙන් පසුවන තම සුරතල් පුතු දැකීමෙන් ඔහු තුළ දින ගණනාවක් කැකෑරුණු ගැටලුකාරී රහස සැණින් දුරුවී යයි.

තර්කාන්විත නොවන, අහේතුක අසමබර ලෙස කල්පනා කිරීමට මිනිස් මනස නැමියාවක් නිතරපහේ දක්වනවා. ඇත්තටම මේ තත්ත්වය ඔබට මට වගේම මිනිස් සංහතියටම ඇති මනසුවට එරෙහි මාරුතයක්. මෙලෙස කළු වළාකුලින් බර, අපැහැදිලි අන්ධකාර මනෝරූප සහිත සංකල්පවලින් සිද්ධි හා පුද්ගලයන් දැකීමට අපට සිදුවන්නේ ඇයි? මෙවැනි මායාකාරී තීන්දු විසින් මොන මොන ඛේදවාචක කරා අපගේ ආත්ම තල්ලු කරගෙන යන්නේද? සමාජය පිස්සු කෙළවන ආතතීන් හා විෂාදයන් දිනෙන් දින උග්‍ර වන්නේ මේ නිසා නොවේද?

අතාර්කිකත්වයෙන් කුරුවල් කරන ලද මේ සිතුම් නිතරම අප දක්කාගෙන යන්නේ වැරදි මඟපෙන්වීමක් දෙමින්. නිකමට වගේ පහත දැක්වෙන ආකාර තේරුම් ගනිමු.

හදිසි තීන්දුවකට කඩා වැදීම

මෙලෙස සිදුවන්නේ ඉතාමත් ඇබිති සාක්ෂියක් ඇතිව කඩිමුඩිවීම නිසායි. හරියට අර ගීතයේ සපත්තු අඩිපාරවල් වගේ. නිගමනයට සැණින් කඩා නොවැදුණා නම් දඟකාර දරුවෙක් තබන පියවර අවිධිමත් හා කාමයෙන් සොර සිතින් උපන් වැඩිහිටියකු තබන තීක්ෂණ පියසටහන් අතර වෙනස හඳුනාගැනීම අසීරු නැහැ.

මේ විදිහටම අපි ස්මාර්ට් ෆෝන් එකෙන්, අපේ හද පැහැරගත් කෙනාට මැසේජ් කළවිට, සැණින් ඊට පිළිතුරු නොලැබුණේ නම් සැකය හා බිය විසින් අප නොමග නොයවන්නේද? සදහටම ඔබ මගේ යැයි කී ඔබම ක්ෂණයෙන් සදහමට තෝ එපා කියයි.

මීට හේතුව කුමක්ද. වැලිපොළොවේ දුටු හුදු පාවහන් සටහන මෙන්, ඇබිති වූ ඉඟියක් තරයේ අල්ලා ගන්නා අපේ මනස ඉතාම බලගතු සෙනාරියක් මවා එය පිළිබඳ තද විශ්වාසයක් ඇති කිරීමට අවිචාරමත් දරුණු බවක් ඇති කරන නිසාය.

සෙනාරියක් කියන්නේ; අනාගතයේ සිදුවෙතැයි මනස විසින් යෝජනා කරනු ලබන හා පුද්ගලයා විසින් ඉතසිතින් බාරගන්නා මායාමය සිදුවීම් පෙළකට.

අපේ මනස නම් ප්‍රොජෙක්ටරයෙන් විකාශනය වෙන මේ සෙනාරි නාටක අප ඒත්තු ගන්නේ රිඇලිටි ෂෝ විදිහට. එනම් ජීවිතයේ මුහුණ දෙන සැබෑ සිද්ධි විදිහට. මේ මායා සිද්ධිවලට ගොදුරුවීමෙන් වෙහෙසට හා පීඩාවට පත්වන්නේ අප පමණක් නොවේ. අපේ මිතුරන්, ඥාතීන් ඇතුළු සියලු සමීපතමයින් සැක හා අවිශ්වාස කිරීම මත ඔවුන්ද තදබල අපහසුතාවන්ට පත්වෙනවා. මෙවැනි හදිසි තීන්දුවලට කඩා වැටෙන මොහොතේම එය මායාවක් විය හැකි බව අප පළමුවෙන්ම කල්පනා කළ යුතුයි. එසැනින්ම එය දිගින් දිගට දිග්ගැස්සීමට එරෙහිව නැවතීමේ තිත තැබිය යුතුයි.

කළු සුදු සිතීම

මගේ දීර්ඝකාලීන ‍මිතුරකුට දවල්කෑමට අවන්හලකට ආරාධනා කොට ඔහුට වාඩිවීමට සලස්වා මොහොතකට මම හදිසි පුද්ගලයකු මුණගැසීමට එළියට ගියා. කාලය තරමක් ඇදී ගිය නිසා සමාව ඉල්ලීමේ බලාපොරොත්තුවෙන් පෙරළා ඔහු වෙත ගියත් ඔහු හිටියේ නැහැ. ඇමතුම් වැලක් ගත්තත් පිළිතුරු නැහැ. මා නොසිතූ පරිද්දෙන් වසර හයක් පමණ අද දක්වා ඔහු මගේ දුරකතන අංකය අවහිර කරලා. කිසිම දිනෙක මුණ ගැසුණේද නැහැ. ඔහුට මා කළු චරිතයක්. නමුත් මට තවමත් ඔහු සුදු චරිතයක්. ඉතා සුළු ප්‍රමාද දෝෂයක් හෝ අත්වැරැද්දක් නිසා කළු චරිතයක් බවට තීන්දු කිරීම මිලිටරි නීතියකට සාධාරණ විය හැකි වුවත් සිවිල් සමාජයේ අපි කවුරුත් කළු සුදු මිශ්‍රිත චරිත හරියට කළු සුදු චිත්‍රපටියක් ටීවී එකක් වගේ. මගේ මිතුරා දැන් මට මුහුණදීමට අපහසුවෙන් සිටින බව දැනගන්නට ලැබුණා.

අපේ වැරැද්දට අනෙකාට දොස්

ගිනි පොලීකාරයෙක්. තම ගනුදෙනුකරුවන් වෙත නිශ්චිත දිනයේ නියමිත වෙලාවටම ළඟාවීම පුරුද්දක්. හරියටම වෙලාවට මුදල් ගෙවීමට නොහැකි වුවොත් ඔහුට යකා නගියි. ඉතාමත් සාධාරණ හේතුවකදී වූවත් ණයකාරයාට ගැලවීමක් නැහැ. එලෙසින්ම පොලීකරු බැංකුවලින් ලබා ඇති ණය සඳහාද නිශ්චිත දිනයේ නියමිත වෙලාවට පෙර මුදල් තැන්පත් කළ යුතුයි. එහෙත් අප දන්නා පරිදි කළමනාකරු දුරකතනයෙන් සිහිකළත් ඇතැම්විට සිහිකැඳවීම් ලිපි ලැබුණත් සමහර විට රිබ් එකට වැටෙන තුරුත් ඔහු තමාගේ බැංකු ණය පියවන්නේ නැහැ. බොහෝ පවුල් තුළ අඹු සැමියන් අතර සබඳතා කාලකන්නි වන්නේ තම වැරදිවලට අනෙකාට දොස් තැබීමේ කැත පුරුද්ද නිසා.

නාටකීය නොවන්න

සීමාව ඉක්මවා හැඟීම් බරවීම හා කුතුහලය අවුස්සා ගනිමින් රහස් පරීක්ෂක නාට්‍ය රංගගත කර ගැනීමට ගොස් තම කාලත්‍රයන් අහිමි කරගත් බිරියන් හා සැමියන්ගේ කතාන්තර ඔබ ඕනෑ තරම් අසා තිබෙන්නට පුළුවන්. අඟල් විසිහතරක රූපවාහිනියන් තුළින් පැය 24 ක ගුවන් කාලයක් ටෙලිනාට්‍ය නරඹන්නාගේ තර්ක බුද්ධිය මයික්‍රො මිලිමීටර් 24 කින් දියවීමට මුහුණ දී ඇතැයි අපට සිතේ. නළු නිළියන් රඟදක්වන්නේ ජීවත්වීමට කීයක් හෝ හම්බකර ගැනීමටය. එකී චරිත හැබෑ ජීවිතයේ රඟදැක්වීමට ගොස් සතුට නැති කරගන්නේ මොන හේතුවකටද?

හැඟීම්වලට වහල් වීම

කෝපය, එනව, යනවා බිය එනව යනව, වෛරය එනව යනවා, ආදරය එනව යනවා. මේ වගේ චිත්තවේග හෙවත් හැඟීම් බොහෝමයකට අප දවසක් තුළදී මුහුණ දෙනවා. නමුත් කිසියම් කාරණයකදී සාධාරණ තීන්දු ගැනීමේදී චිත්තවේග අපේ මඟපෙන්වන්නා විදිහට බාරගැනීම හෝ විශ්වාසය තැබීමේ හෝ හැකියාවක් අපට නැහැ. හැඟීම්වලට වහල් නොවීමට නම් අපේ මනස පාලනයකට නතු විය යුතුයි. ඔබ නිතර චිත්තවේගීය කම්පනයන්ට ගොදුරු වන්නේ නම් එවැනි අවස්ථාවලදී ‘හරේ ක්‍රිෂ්ණා’ යන වචන දෙක හිතින් මතුරා බලන්න.

ඉහත ආකාරවලින් අපේ ජීවිත දෙස බැලීමෙන් සමබර ජීවිතයක් සඳහා අහේතුක කල්පනා තුරන් කිරීමට අවබෝධය ලැබිය හැක. තවත් කොටසක් ලබන සතියේ.

සමුනි විසිනි
මේ ලිපි පෙළ පිළිබඳ කුතුහලයක් හා උනන්දුවක් දක්වන පාඨක අදහස් පහත ලිපිනයට ලියන්න.
“මනසට විටමින්”
විශේෂාංග අංශය, දිනමිණ, ලේක්හවුස්, කොළඹ


නව අදහස දක්වන්න

Or log in with...