උත්සාහවන්තයාට ආත්ම විශ්වාසය තියෙනවා | දිනමිණ

උත්සාහවන්තයාට ආත්ම විශ්වාසය තියෙනවා

රාජකීය පණ්ඩිත, නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි

යහපත් සමාජ පරිසරයක් ගොඩනගා ගැනීම සඳහා උත්සාහවන්ත පුද්ගලයකුගේ ආදර්ශය කදිම අස්වැසිල්ලකි. කුඩා කාලයේ පටන් ම දුක දිනා ජීවිතය ජය ගන්නට හුරු වීම ද පුද්ගලයකුගේ ජීවිතය සාර්ථක කර ගැනීමට වඩාත් මහෝපකාරී වේ. උත්සාහවන්ත පුද්ගලයකු සමාජයට කොපමණ දායකත්වයක් සපයන්නේද යන්න පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය රාජකීය පණ්ඩිත නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමියන් සමඟ සිදු කළ සාකච්ඡාවකි.

බුදුදහම අනුව උත්සාහවන්ත පුද්ගලයා හඳුන්වන්නේ කෙසේ ද?

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් තුළ උත්සාහය (උට්ඨාන) හා වීර්යය (වීරිය) කියන වචන දෙකක් දක්නට ලැබෙනවා. නිර්වාණය නමැති පරම ඉලක්කය ඇතිව කටයුතු කරන කෙනෙක් වීර්ය පාරමිතාව සම්පූර්ණ කළ යුතු වෙනවා. එබඳු වීර්යවන්තයා බෝධිසත්ත්ව වරයෙක්. ඉන්මෙපිට ලෞකික පමණක් නොවෙයි අනෙකුත් ලෝකෝත්තර අරමුණු ජය ගැනීම සඳහාත් උත්සාහය අත්‍යවශ්‍ය බව බෞද්ධ ඉගැන්වීමයි.

උත්සාහවන්තයා තුළ තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ හතරක් බුදුදහමේ පෙන්වා දෙනවා. එනම් මෙතෙක් තමා තුළ දක්නට නැති අකුසල් නූපදින ලෙස කටයුතු කිරීම, මේ වන විටත් තමා තුළ සකස් වී ඇති අකුසල් දුරු කරගනු පිණිස කටයුතු කිරීම, මෙතෙක් තමා විසින් උපදවා ගෙන නැති කුසල් උපදවා ගනු පිණිස කටයුතු කිරීම හා මේ වන විටත් තමා විසින් උපදවා ගෙන තිබෙන කුසල් වඩා වර්ධනය කර ගනු පිණිස කටයුතු කිරීමයි. මම අදහස් කරන හැටියට නම් අදක්ෂකම් අකුසල් හැටියටත් දක්ෂකම් කුසල් හැටියටත් අදහස් කර ගත්තට වරදක් නැහැ. මේවා උත්සාහවන්තයාගේ කැපී පෙනෙන ලක්ෂණ යනුවෙන් හඳුන්වන්න පුළුවන්. සරලව කියනවානම් වැරදිවලින් ඉවත්වීම සඳහාත් නිවැරදි දේ වැඩි දියුණු කර ගැනීම සඳහාත් වෙහෙසෙන පුද්ගලයා උත්සාහවන්තයායි නරක, නපුරු වැරදි පවිටු කටයුතු සඳහා දරන උත්සාහය බෞද්ධ උත්සාහය නොවෙයි. ඒ නිසයි බෞද්ධ විමුක්ති මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හය වන අංගය, සම්මා වායාම කියල අවධාරණය කරල තියෙන්නේ.

බුදු දහම උත්සාහය මත පදනම් වූ ඉගැන්වීමක්. වෙනත් ආගම්වල මෙන් මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ත් ලැබූ ජීවිතයේ ඉහළ පහළ යාමත් දෛවය නිසා හෝ එහෙමත් නැත්නම් දෙවියන්ගේ කැමැත්තට අනුව සිදුවන බවක් බුදුදහමේ ඉගැන්වෙන්නේ නැහැ. ඒ නිසා උත්සාහවන්තයා අනිවාර්යයෙන්ම අලස නොවී ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන කෙනෙක්. ආත්මාර්ථ සාධනය උදෙසා පරාර්ථකාමී වීමත්, පරාර්ථයේ යෙදීම මඟින් ආත්මාර්ථය සාධනය කර ගැනීමත් බෞද්ධ උත්සාහවන්තයාගේ ගති ලක්ෂණයි.

බුදුරජාණන් වහන්සේ තම ජීවිතයෙන් උත්සාහවන්ත බවේ ඵලදායී තාවය ප්‍රායෝගිකව පෙන්වා දී තිබෙන්නේ කෙසේ ද?

බුදුන් වහන්සේ මෙලොව පහළ වූ පරමාදර්ශී ශාස්තෘවරයා යි. බුද්ධ චරිතයේ පූර්වභාගය හෙවත් බෝධිසත්ත්ව අවදිය මුළුමනින්ම ආදර්ශ සපයන්නක්. අවවාද කිරීම අරමුණු කොට ගන්නේ බුද්ධත්වය ලැබීමෙන් පසුවයි. මා කලින් කීවා සේ බෝධිසත්ව අවධියේ කැපී පෙනෙන ලක්ෂණයක් තමයි නොපසුබස්නා වීර්යය එය පාරමිතාවක් බෝධිසත්ව සමයෙහි උන්වහන්සේ උත්සාහවන්ත බවේ උපරිමය අත්දුටු බව වණ්ණුපථ වැනි ජාතකකථාවලින් පැහැදිලි වෙනවා. අරමුණට ළඟාවන තුරු උත්සාහය හීන නොකරගත් වග අවසාන ආත්මභාවයෙහි සය අවුරුද්දක දුෂ්කරක්‍රියා කළ අවධියෙන් ද තහවුරු වෙනවා.

මට මතක් වනවා විදුලි බුබුල නිෂ්පාදනය කළ තෝමස් අල්වා එඩිසන් කී කතාව. ඔහු කියන්නේ විදුලි බුබුලක් නිපදවන්නට දහස්වරක් උත්සාහ කළත්, නවසිය අනූඅටවාරයක්ම අසාර්ථක වූ බවයි. ධනාත්මක චින්තනයක් සහිත ඔහුට අනුව නවසිය අනූනමවාරයකදී ම ඔහු විසින් කර ඇත්තේ විදුලි බුබුලක් නිෂ්පාදනය කළ නොහැකි ක්‍රම නවසිය අනූනවයක් ඉගෙන ගැනීමයි. උත්සාහවන්තයා තම ව්‍යායාමයේදී මුහුණපාන අසාර්ථකවීම් දෙස බලන ආකාරය මෙයින් පැහැදිලි වෙනවා. බුදුන් වහන්සේත් විවිධ ගුරුවරුන් ආශ්‍රයෙන් හා තමන්ගේ ක්‍රම අත්හදා බැලීමෙන් බොහෝ වාරවල බුද්ධත්වය ලබන්නට අසමත් වුණා. ඒත් උත්සාහය අත්නොහළ නිසා අවසානයේ දී බුද්ධත්වය අවබෝධ කොට ගෙන සය අවුරුද්දකට පසුව තම අරමුණ ඉටු කර ගත්තා.

බුදුරදුන් ඵලදායීතාව හැටියට අදහස් කළේ බුද්ධත්වයට පත්වීම නොවෙයි. බුදුරදුන් අපේක්ෂා කළ ඵලදායීතාව වූයේ, තමන් දුකෙන් මිදී අනිත් අය දුකෙන් මිදවීමට කටයුතු කිරීමයි. අද සමාජයේ බොහෝ දෙනෙක් විභාග ආදිය සමත් වී රැකියා කර මුදල් උපයා ගෙන තමන්ගේ කියන අයත් සමඟ සතුටින් ජීවත් වෙනවා. මේක ඵලදායීතාව නොවෙයි. ඒක ආත්මාර්ථකාමීත්වයයි. සැබෑ ඵලදායීතාව කියන්නේ තමන් ලබාගත් සමාර්ථයෙන් ලෝකයට යහපතක් කිරීමයි. බුදුන් වහන්සේගේ උත්සාහයේ ඵලදායීතාව වූයේ නිවන් අවබෝධ කරගෙන දුකින් මිදීම පමණක්ම නොවෙයි.

ඇතැම් කෙනෙක් ජෝතිෂ්‍ය ශාස්ත්‍රය විශ්වාස කර තම අනාගතය දෛවයට භාරදී සිටීම මඟින් ඔහුගේ හෝ ඇයගේ උත්සාහයට තැනක් නැති වෙනවා නේද?

ජෝතිෂ්‍ය ශාස්ත්‍රය නරක දෙයක් නෙමෙයි. ජෝතිෂ්‍ය ශාස්ත්‍රය පමණක් නෙවෙයි, වෛද්‍ය ශාස්ත්‍රය වුණත් පමණට වඩා වැඩිය. විශ්වාස කරගෙන ඉන්න අවශ්‍ය නෑ. වෛද්‍ය විද්‍යාවෙන් සුව කළ නොහැකි රෝග වෙනත් ක්‍රමවලින් සුව කළ අවස්ථා ඕන තරම් තියෙනවා. අවශ්‍ය කරන්නේ එකම ක්‍රමයක් තුළ ගැලී නොසිට විවිධ සාධාරණ ක්‍රම ඔස්සේ උත්සාහවන්ත වීමයි

පොරොන්දම් නොබලා කරන ආවාහ විවාහ වගේ ම පොරොන්දම් බලා කරන ආවාහ විවාහත් අසාර්ථක වෙනවා. බුද්ධ ධර්මය ඒක හේතුවාදයක් නෙමෙයි. බහු හේතුවාදී ඉගැන්වීමක්. යමක් සඳහා අඩුවැඩි වශයෙන් විවිධ හේතු බලපාන බවයි බෞද්ධ ඉගැන්වීම. බුදුන් වහන්සේ පැරණි සාම්ප්‍රදායික දැනුම සහ විද්‍යාශාස්ත්‍ර ප්‍රතික්ෂේප කළේ නැහැ. අසනීප වූ විට බෙහෙත් ගත්තා. දේහ ලක්ෂණවලින් මිනිසුන්ගේ ගති ලක්ෂණ කිව හැකි බව දැන සිටියා. බුදුරදුන් පමණක් නෙවෙයි සංසාරික දැනුම තුළින් අනාවැකි කිව හැකි බුද්ධ ශ්‍රාවකයනුත් සිටියා. වරද තිබෙන්නේ මේ විද්‍යා ශාස්ත්‍රය තුළ නෙවෙයි. මිනිසුන් ඒවා පරිහරණය කරන ආකාරය අනුවයි.

උත්සාහය අවශ්‍ය කරන්නේ සිල් සමාදන් වෙන්න නෙවෙයි, සිල් රකින්නයි. සමාධිය ගැන ඉගෙනීමට වඩා සමාධිය වඩන්නයි. උත්සාහය අවශ්‍යවන්නේ බොහෝ දෙනෙක් සම්මා වායාමකින් තොරව කෙටි ක්‍රමවලින් නිවන් දකින්න බලනවා මහන්සි නොවී සැප සම්පත් හා සාර්ථකත්වය අපේක්ෂා කරනවා. දැන් බලන්න ධර්මය ගැන ප්‍රමාණවත් දැනුමක් නැති සමහර ධර්මදේශකයන් සීලයෙන් සමාධියෙන් තොරව බණ ඇසීමෙන් ම පහසුවෙන් නිවන් දකින්න හැකි බව කියා මිනිසුන් මුළා කරනව. එක පිරිසක් දිගින් දිගටම බණ ඇසීමෙන්ම නිවන බලාපොරොත්තු වෙනවා. තව පිරිසක් නානාප්‍රකාර පූජා පවත්වමින් නිවන බලාපොරොත්තු වෙනවා. උත්සාහයෙන් වර්ධනය කර ගත යුතු සීල, සමාධි, ප්‍රඥා ගැන උනන්දුවක් නැහැ. ඒ නිසා අද වන විට නිවන් ලබන කෙනෙකුත් නැති තරම්. සංසාරික වශයෙන් දියුණු කරගත් විවිධ දක්ෂතා සහිත පුද්ගලයන් වර්තමාන සමාජයේ සිටිනවා. එහෙත් ඔවුන් වැරදි මාර්ගවල ගමන් කිරීම නිසා සාර්ථකත්වයක් නොලබන බවයි පෙනෙන්නේ.

මවුපියන් විසින් තම දරුවන්ට උත්සාහවන්තකම හුරු පුරුදු කරවීම ළාබාලවියේ සිටම ආරම්භ කළ යුතුද ?

මෙතන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. අපේ සමාජය අද දියුණුයි කිව්වට, අතීතයට සාපේක්ෂව නොදියුණු ක්‍රමවලට නැඹුරු වෙලා. වර්තමාන බොහොමයක් මාපියන් දරුවන් හදන හැටි දැක්කහම, හිතෙන්නේ මීළඟ පරම්පරාව තරබාරු, ලෙඩ රෝග බහුල, අලස කම්මැලි පිරිසක් වෙයි කියලයි. අද දරුවෝ හදන්නේ බ්‍රොයිලර් කුකුළන් හදනවා වාගේයි. බොහොමයක් මාපියන්ට එක දරුවයි. වැඩිම වුනොත් දෙන්නයි හදා ගන්නේ.

ඒ නිසා සමස්ත ආදරය එක දරුවෙකුට ගොනුවෙලා

ඒක එක දරුවටත් දරා ගන්න බැහැ. අප ළඟට එන බොහොමයක් මාපියන් හරි ආඩම්බරයෙන් කියනවා දරුවට කවන්නෙත් මමයි කියලා. දරුවට තමන්ගේ අතින් කෑම ටික කන්නවත් ඉඩක් තියන්නේ නෑ. දරුවන්ට පාඩම් කරන්න දෙන්නේ නෑ. මාපියෝ පාඩම් කරනවා. බාල වියේ කළ යුතු හා කළ හැකි කිසිම දෙයක් තනිව කරන්න ඉඩ දෙන්නේ නෑ. මේකේ ඵලදායීතාව දැන් දැන් පේන්න තියෙනවා. දරුවෝ මාපියන් මත ම යැපෙන තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. යම් දවසක ඔවුන්ට ස්වාධීනව ජීවත් වෙන්න සිද්ධවෙන කොට, ඔවුන් අසාර්ථක පුද්ගලයන් වෙනවා. ප්‍රශ්නවලට මුහුණ දෙන්න අත්දැකීම් නෑ. එතකොට දරුවෝ කියාවි මං මෙහෙම වුණේ මාපියන් නිසා කියලා. මම මහණ වුණේ බාල වියේදී ඒ වෙනකොට මම කුඹුරු වැඩට ගියා. වත්තේ වගා කළා. අම්ම ගෙදර දොරේ කළ යුතු වැඩ හැම එකක් ම ව‍ෙග් මාත් කළා. පැවිදි වෙලත් පුංචි කාලේ හැම බරක්ම දරන්න වුණා. ඒ නිසා මට මගේ ජීවිතය තනිවම ගොඩනඟා ගන්න ශක්තියක් ධෛර්යයක් ලැබුනා.

වඩා යහපත් සමාජ පරිසරයක් ගොඩනඟා ගැනීමට උත්සාහවන්ත පුද්ගලයන්ගේ චරිත ආදර්ශයට ගැනීමෙන් ඇතිවන බලපෑම කෙබ ඳුද?

වටිනා පුද්ගල චරිතාශ්‍රයට ගැනීම බුදුහාමුදුරුවෝ හැඳින්වූ‍ෙය් කළ්‍යාණමිත්‍ර සම්පත්තිය කියලයි ඒක දියුණුවට හොඳ ම ක්‍රමයක්. ගිහි පැවිදි බාල මහළු අප කාගේත් ජීවිතවල කළකිරීම් මානසික බිඳවැටීම් ඇති වෙනවා. එහෙම වෙලාවට එබඳු අවස්ථාවනට මුහුණදීල සාර්ථකත්වය ලැබූ අයගෙ චරිත කියවීමෙන් ලොකු උත්තේජනයක් ඇති වෙනවා. වර්තමාන සමාජයේ වැඩි දෙනෙක් සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන්නේ වැරදි අරමුනු ඇතිව. ඒත් මේ සමාජ මාධ්‍ය ජාලවල දුක දිනා ජයගත් මිනිසුන්ගේ ජීවිත කතා සුලබව දකින්න ලැබෙනවා. අභියෝග ජය ගන්න, අපේක්ෂාභංග වූ විට උත්සාහය පවත්වා ගෙන යන්න, සාර්ථකත්වය දක්වා ධෛර්ය සම්පන්නව කටයුතු කරන්න. මේවා යොදා ගත යුතු වෙනවා. බණ හා දේශනවලට සවන් දීමෙන් පොත්පත් කියවීමෙන්, කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් ජීවිත අරමුණු ජයගැනීමට අවශ්‍ය ධෛර්යය හා උත්සාහය පවත්වා ගත යුතු වෙනවා.

සටහන - මදාරා මුදලිගේ


නව අදහස දක්වන්න

Or log in with...