නුගදණ්ඩේ සුමනවංශ නාහිමිගේ 92 ජන්ම දින පින්කම 13 දා | දිනමිණ

නුගදණ්ඩේ සුමනවංශ නාහිමිගේ 92 ජන්ම දින පින්කම 13 දා

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ සුන්දර පරිසරයක පිහිටි සරුසාර කෙත්වතුවලින් පිරි නුඟදණ්ඩ (සිරිසමන්පුර) ගම්මානයේ ප්‍රභූ පවුලක 1926 – 09 – 13 දින උපත ලැබූ පුණ්‍යවන්ත පුත් කුමරා 1942 – 11 – 13 දින පූජ්‍ය කහටානේ ශ්‍රී සුමන ජෝති නාහිමියන්ගේ ආචාර්‍යත්වයෙන් නුගදණ්ඩේ සුමනවංශ නමින් පැවිදි ජීවිතයට එක්විය. මූලික පිරිවෙන් අධ්‍යාපන කටයුතු හෝමාගම විද්‍යාවර්ධන පිරිවෙනින් හා බුළුගහපිටිය ශ්‍රී සුමනපිරිවෙන තුළින් ද, කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන තුළින් ද ලැබීය. රත්නපුර ශ්‍රී සුමන මහ පිරිවෙනට ඇතුළත්ව ප්‍රාචීන, මධ්‍යම පරීක්ෂණ විභාගවලින්ද සමත්ව විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව මනාලෙස අධ්‍යාපනය හැදෑරීමෙන් පසු ශ්‍රාස්ත්‍රවේදී උපාධිය ද විද්‍යෝදය කලා සංගමය මඟින් පවත්වන ලද ශාස්ත්‍ර විශාරද පණ්ඩිත විභාගය ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියන්ති පාලක සභාවෙන් පිරිනමන ලද විනයාචාර්ය උපාධිය ද හිමිකර ගැනීමට නාහිමියන් සමත් වූහ. 1946 දී ගාල්ල උදකුක්ඛේප සීමා මාලකයේ දී අධිශීල උපසම්පදා භූමියට ඇතුළත් විය.

1956 දී බුරුමයේ පැවත්වූ ජට්ඨ මහා ධර්ම සංගායනාව නිමිතිකොට ථේරවාදී රටවල් අතර පැවැත්වූ අභිධර්ම විභාගයෙන් ලංකාවේ සමස්ත විභාග පේක්ෂකයින් අතරින් ද්විතීය ස්ථානය ලබාගනිමින් ත්‍යාග සහිතව උසස් ලෙස සමත්විය. රජයේ අධ්‍යාපන සේවයට එක් වී රක්වාන ශාන්ත ඇන්තනීස් විද්‍යාලය, ධර්මාලෝක විද්‍යාලය, දික්පිටිගල මහා විද්‍යාලය, පාතකඩ බෞද්ධ විද්‍යාලය යන විදුහල්වල වසර 27ක් වැනි දීර්ඝ කාලයක් සේවය කරමින් තම අධ්‍යාපන දැනුම විශාල ශිෂ්‍ය පිරිසකට ලබා දීමට නාහිමියන් සමත් විය. තමන්උපන් ගම් ප්‍රදේශය වූ නුගදණ්ඩ ගම් ප්‍රදේශය සිරි සමන්පුර යනුවෙන් විශේෂ ගැසට් නිවේදනයකින් නම් කිරීමටද නාහිමියන් මූලික වී කටයුතු කළහ. සිරිසමන්පුර විහාරස්ථානය දියුණු කිරීමටද, ගම් ප්‍රදේශයේ දූ දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමට මහත් අඩු පාඩුවක්ව පැවති පාසලක් ඉදිකිරීමට ද නාහිමියෝ මූලික වී කටයුතු කළහ.

1958 වර්ෂයේ සිට සර්වෝදය නායක ඒ.ටී. ආරියරත්න මැතිතුමා සමඟ එක්ව සර්වෝදය ප්‍රධාන උපදේශක වශයෙන් කටයුතු කරමින් රත්නපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රාශියක් දියුණු කිරීමට ද අති පූජ්‍ය හේන්පිටගෙදර ඥාණසීහ නාහිමියන් සමඟ එක්ව සර්වෝදය භික්ෂු පුහුණු අභ්‍යාස ආයතන පිහිටුවීමට ද මුල් වී කටයුතු කළහ. වසර 12කට අධික කාලයක් එම ආයතනයේ ජෝතිෂය ශාස්ත්‍රය පිළිබඳ උපදේශකයකු වශයෙන් කටයුතු කළහ.

විචිත්‍ර ධර්ම කථික ස්වාමීන් වහන්සේ නමක් මෙන්ම ජෝතිෂය වැඩකටයුතුවලදී පරිණතව කටයුතු කළ උන්වහන්සේ ආගමික හා සමාජ සේවාවන් පිළිබඳව පැහැදුණු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහානායක හිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මඟින් ශ්‍රී සුමන ජෝතිවංශාලංකාර සද්ධර්ම භාණක යන ගෞරව සම්මානය ද පිරිනැමීය. බෞද්ධ ශාසනයේ දියුණුවට මෙන්ම සමාජයේ දියුණුවට ද ඉමහත් සේවාවක් ඉටුකළහැකි ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරිසක් බිහිකර ඇති නාහිමියන්ගේ 92 වන ජන්ම දිනය නිමිතිකොටගෙන තම පැවිදි ශිෂ්‍ය පිරිස විසින් පැල්මඩුල්ල පාතකඩ ශ්‍රී සුමනාරාමයේ දී 13 වැනිදින පින්කම් මාලාවක් සංවිධානය කර ඇත.

දේශමානව කීර්ති, සාමවිනිසුරු
බුළුගහපිටියේ පී. සිරිසේන ආරච්චි.

නව අදහස දක්වන්න