බයිබලයේ නීතිය සහ විනිසුරුවරයෝ | දිනමිණ

බයිබලයේ නීතිය සහ විනිසුරුවරයෝ

සදාචාරාත්මක නීතියක් පිළිබඳ සවිස්තර කතා පුවතක් ශු. බයිබලය පෙන්වා දෙයි. සදාචාරාත්මක නීතිය යනු කුමක්ද? එහි නෛතික පැවැත්ම ශුද්ධ බයිබලයට සම්බන්ධ වූයේ කෙසේද? ශු. බයිබලය මඟින් පෙන්වා දෙනු ලබන එම නෛතික අදහස් වත්මනටත් ගැළපේද? යන්න විමසා බැලීම කාලෝචිතය.

සදාචාරාත්මක වශයෙන් ශු. බයිබලය නීතියට එකඟය. එදා ඊශ්‍රායෙල් ඉතිහාසය සළකා බැලීමේදී නීතියට ගුණගරුක වූ පාරිශුද්ධ ස්වභාවයක් එහිදී ක්‍රියාත්මක වූ අතර යම් - යම් අවස්ථාවලදී එලෙස ක්‍රියාත්මක නොවූ බවට ද සාක්ෂි තිබේ.

දස පනත වූ කලී ශු. බයිබලයේ පරණ ගිවිසුමේ අඩංගු “නික්මයාම” පොතේ සඳහන් නීති පද්ධතියකි. වරදට පත්වීමට ප්‍රථම අඩුම තරමින් එම අණපනත් දහය රක්ෂා කිරීම කරණකොටගෙන වරදින් ගැළවී සිටීමට ඊශ්‍රායෙලිකයන්ට හැකියාවක් තිබිණ. එබැවින් ශු. බයිබලයේ පරණ ගිවිසුමේ නීතිමය පසුබිම වූයේ ‍මෝසෙස්ගේ මැදිහත් බව හා ස්ථාවර සේවය තුළින් දෙවියන් වහන්සේගෙන් ඔහු ලද “දස පනත” හා ඉන් බැහැර අණ පනත් ය.

දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මැවූයේ උන්වහන්සේගේ ස්වරූපයෙන් ය. ඒ නිසාම මනුෂ්‍යයාගේ කීකරුකම සහ යහපැවැත්ම උන්වහන්සේ උපරිමයෙන් ඔහුගෙන් බලාපොරොත්තු වූ සේක. නිහතමානීකම, අවංකකම සහ සාධාරණත්වය රජකරවීම මනුෂ්‍යයාගෙන් දෙවිතුමා බලාපොරොත්තු වූ අනෙකුත් ගුණාංග විය. එම දිව්‍ය බලාපොරොත්තුවට හේතු සාධකය වූයේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ ස්වරූපයට අනුව මවා තිබූ බැවිනි. (උත්. 1:26)

පැරණි ගිවිසුම

දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට නීතියේ හරයාත්මක පැත්ත සපයා දුන්නේ දේව ස්වරූපය ආරක්ෂා කරමින් සැබෑ මිනිස්කම පවත්වාගෙන යනු සඳහාය. එවැනි නීතිමය පැත්තක් මනුෂ්‍යයාට දී තිබුණේ ලොව තුළ යහපත රජකරවනු පිණිසය. පැරණි ගිවිසුම එහි යථාර්ථය පෙන්වා දෙන්නේ මෙසේය.

“මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට කතාකොට මෙසේ කීවේය. ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී එය අයිති කරගෙන, එහි ජීවත්වන පිණිස ඔබ විසින් ඉටු කළ යුතු, මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට දැන් ඉතින් සවන් දෙන්න.” (ද්විතීය 4:1)

සදාචාරාත්මක නීති හා ආගමික නීති ඒ අතර විය. විදේශිකයන්ට අයුත්තක් නොකිරීමටත්, කණවැන්දුම් ස්ත්‍රීවරුන්ට අනාථ දරුවන්ට හානි නොකිරීමටත් වගබලා ගත යුතු බව පෙන්වා දී තිබේ. දිළින්දන්ට මුදල් ණයට දුන්නොත් පොලී අය කළ නොගත යුතු බව මෙන්ම උගසට මෙන් යමෙකුගේ වස්ත්‍රයක් ගත්තේ නම් ඉර බැස යාමට පෙර එම වස්ත්‍රය ඔහුට දිය යුතු බව සඳහන්ය. මන්දයත් ඔහුට ඇත්තේ එම වස්ත්‍රය පමණක් බැවිනි. දෙවියන් වහන්සේට පරිභව නොකළ යුතු අතර එම සෙනඟගේ (ඊශ්‍රායෙල් සෙනඟගේ) අධිපතියන්ට ශාප නොකළ යුතු බව දේව ආඥාවේ නෛතික වශයෙන් සඳහන්ය. (නික්මයාම 22:21-28)

“යුක්තිය ඉටු කිරීම” පිළිබඳ නීති සංග්‍රහයක් ද පරණ ගිවිසුමේ නික්මයාම පොතේ ඇතුළත් ය. එම නීති සංග්‍රහයේ ඇතුළත් කරුණු මෙසේය.

අසත්‍ය ප්‍රකාශයක් නො කළ යුතුය. බොරු සාක්ෂි දෙමින් වරදකරුවෙකුට උදව් නොකළ යුතු අතර නපුරක් කිරීමට වැඩි දෙනාගේ පැත්ත නොගත යුතු බව පෙන්වා දෙයි. යුක්තියට පිටුපා වැඩිදෙනාගේ පැත්ත ගෙන බොරු සාක්ෂි නොදිය යුතුය. නඩුවකදී දිළින්දකු වන නිසාම ඔහුගේ පැත්ත ගෙන ක්‍රියා නොකළ යුතුය. එහෙත් දිළින්දකුගේ නඩුවකදී ඔහුට අසාධාරණ ලෙස ක්‍රියා නොකිරීමට වගබලා ගත යුතුය. බොරු පැමිණිලි කිරීමෙන් වැළකිය යුතුය. නිදොස් හා දැහැමි තැනැත්තා මරණයට පත් නොකළ යුතුය. මන්දයත් දෙවියන් වහන්සේ වරදකරුවන් නිදොස් නොකරන්නේය. අල්ලස් නොගත යුතුය. “අල්ලස” වනාහී සාධාරණ ලෙස සිතීමේ බුද්ධිය අඳුරුකොට නිවැරැදිකරුවන්ගේ නඩු - අවනඩු කිරීමට පොළඹවන දෙයකි. (නික්ම. 23:1-8)

කිතු බැතිමතුන් දන්නා පරිදි සමිඳාණන් වහන්සේගේ වචනය අතිශය බලවත් හා සත්‍යතාවයෙන් ස්ථාවර වූ විශ්වාසවන්ත වචනයකි. දාවිත් රජතුමා එය මෙලෙස වර්ණනා කරයි. “ඔබගේ පනත් පිළිපැදීමෙන් මාගේ චර්යාව ස්ථිරව පැවතේවා! ඔබගේ ආඥා සියල්ලට ඇලුම්ව සිටින විට ලජ්ජා නොවෙමි. ඔබේ දැහැමි අණ පනත් මා දැනගත් විට අවංක සිතින් ස්තූති කරන්නෙමි. ඔබේ අණ පනත් පිළිපදින්නෙමි. මා කිසි දිනෙක අත්නොහැරිය මැනව” (ගීතාවලිය 119:5-8)

එකල ඊශ්‍රායෙල් ජනතාව‍ගේ නායකයා වූයේ මෝසෙස්ය. දෙවියන් වහන්සේගේ බලවත් මඟපෙන්වීම යටතේ ඔහු එම නායකත්වය දැරීය.

නීතිය ක්‍රියාත්මක වූ අයුරු

අධිකරණය ගැන ශුද්ධ බයිබලයේ මුල් ම යොමුව තිබෙන්නේ (නික්මයාම 18:13-27) වැනි කොටසේ ය. එකල අර්බුද වළකාගැනීම සඳහා ජනතාව මෝසෙස්ගේ විනිශ්චයා'සනය වෙත පැමිණියහ. දෙවියන්‍ වහන්සේගේ ආඥාවන් අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට මෝසෙස්තුමා පොරොන්දු වී සිටියේ ය. එහෙත් නඩු ප්‍රමාණය වැඩි නිසා යුක්තිය ඉටු කිරීමට බොහෝ කල්ගත විය.

මෝසෙස්ගේ ආරක්ෂාව සහ ජාතියේ යහපත සඳහා “ජෙත්රෝ” යෝජනා කෙළේ විවිධ අධිකාරී මට්ටම්වල විනිශ්චයකාරයන් පත් කරන ලෙසය. බරපතළකමින් අඩු වූ නඩු හබ එම පුද්ගලයන්ට විසඳීමට අවසර ලැබිණි. සෙනඟ වඩාත් ම බරපතළ ප්‍රශ්න මෝසෙස් වෙත ගෙන ගියහ. ඊශ්‍රායෙල් දේශයේ අධිකරණයේ ආරම්භය එය විය. වෘත්තියට සුදුසුකම් ලැබූ අවංක පුද්ගලයන් (විනිසුරුවන්) ඉක්මනින් නඩු ඇසීම කරණකොටගෙන රටේ සමෘද්ධිය ඇති විය.

“මෝසෙස්” (නික්මයාම 18:25) සහ “සාමුවෙල්” (1 සාමුවෙල් 8:1) වැනි ප්‍රභූවරුන් විසින් බලය පවරා නඩුකාරයන් පත්කරන ලදී. පසු කලෙක එම කටයුත්ත රජවරුන්ගේ අතට පත්විය. (2 රාජාවලිය 19:5)

“මෝසෙස් ඊශ්‍රායෙල්වරුන් සියලු දෙනා අතරින් දක්ෂ මිනිසුන් (නායකයන්) තෝරා සහශ්‍රාධිපතීන් ද, ශතාධිපතීන් ද පනසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් සෙනඟගේ නායකයන් ලෙස පත් කෙළේය. ඔව්හු සියලු අවස්ථාවලදී සෙනඟ විනිශ්චය කළහ. අති දුෂ්කර ප්‍රශ්න ඔවුන් මෝසෙස් වෙත ගෙනා නමුත් සෑම සුළු කරුණක් ම “නායකයන්” මඟින් විනිශ්චය කළහ. (නික්මයාම 18:25-26)

“සාමුවෙල් ද මහලු වයසට පත් වූ කල ඔහු තමාගේ පුත්‍රයන් ඊශ්‍රායෙල්වරුන්ගේ විනිශ්චයකාරයන් වශයෙන් පත් කෙළේය. ඔහුගේ කුළුඳුල් පුත්‍රයාගේ නම ජෝවෙල් ය. දෙවැන්නාගේ නම අබියා ය. ඔව්හු “බෙයර්ෂෙබා” හී විනිශ්චයකාරයෝ වූහ. එහෙත් මෙම පුත්‍රයෝ පියාගේ (සාමුවෙල්ගේ) අඩි පාරේ නොගොස් වස්තු තණ්හාවෙන් අල්ලස්ගෙන යුක්තියට පටහැනිව ක්‍රියා කළහ.” (1 සාමුවෙල් 8:1-3)

අදටත් මෙවැනි අඳුරු වූ අයුක්ති සහගත ක්‍රියාවන් අප රටේ ද සිදුවන බව කවුරුත් දනිති. එදා සිදු වූ අයහපත් දෑ වත්මනෙහි ද සිදුවන බව කිවමනා ය. විප්‍රවාසයට (Exile) පසු “අර්තක්ෂස්තා රජු” එස්රාට නියම කෙළේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව දන්නා විනිශ්චය කාරයන් ද, නඩු කාරයන් ද පත්කර දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ද, රාජ ආඥාව ද ඔවුනට උගන්වන ලෙස ය. (එස්රා 7:25-26)

“එස්රා; නුඹ යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සියලු සෙනඟ විනිශ්චය කරන පිණිස ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ගැන දන්නා වූ විනිශ්චයකාරයන් ද, නඩු කාරයන් ද ඔබට ප්‍රදානය කොට ඇති ඔබේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලෙස පත්කර ගන්න; නොදන්න අයට එය උගන්වන්න. ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ද, රාජ ආඥාව ද, නොපවත්වන සියල්ලන්ට මරණීය දණ්ඩනයෙන් හෝ රටින් පිටමං කිරීමෙන් හෝ දේපළ රාජසන්තක කිරීමෙන් හෝ හිර අඩස්සි කිරීමෙන් හෝ වහාම යුක්තිය ඉටු කරන්න.” (එස්රා 7:25-26)

යුක්තිය පසඳාලීම සඳහා දාවිත් රජුගේ කාලයේ කල්ගත වූ බැවින් “අබ්සලොම්” ඉක්මනින් නඩු විසඳා දුන් නිසා ඔහු ඉතා ම ජනප්‍රිය වූයේ ය. (2 සාමුවෙල් 15:6)

“දේශයේ විනිශ්චයකාරයා වශයෙන් මා පත්කළොත් යහපත! එවැනි නඩුවක් හෝ පැමිණිල්ලක් හෝ ඇති කෙනකු මා වෙත ආ කල්හී මම ඔහුට යුක්තිය ඉටුකර දෙන්නෙමි” යි අබ්සොලම් කීවේය. (2 සැමුවෙල් 15:4)

සාධාරණ බව

ඉහත සඳහන් කළ සියලු ම කරුණු සංක්ෂිප්ත වශයෙන් ගත් විට එදා සහ අද තත්ත්වයන්වලද, වෙනසක් දකින්ට නුපුළුවන. යුක්තිය හා සාධාරණය අකුරට ම ඉටුවන විට රටේ සංවර්ධනය නිරායාසයෙන් ම සිදු වේ. එලෙස ම දැහැමි රජයක් මඟින් යුක්තිය හා සාධාරණත්වය ද ඉටුකළ යුතු බව ඉඳුරා ම කිව යුතුය. ඒ නිසා යුක්තිය පසඳාලීම සඳහා හැකි ඉක්මනින් නඩුහබ ද විසඳාලිය යුතු බව සක්සුදක් සේ පැහැදිලි ය. ඒ බයිබලීය අදහසය.

මහගම සේකර කිවිඳුගේ අරුත්බර කවි බිඳක් මගේ මතකයට නැඟේ.

“ධර්මය වටහාගත හැකි

“සත්‍යය” - සුන්දර බව දැනගත හැකි,

උත්තරීතර සමාජයක් ගොඩ නැගීමේ

මුල් පියවර වනුයේ...

කෑමෙන් - බීමෙන් - ඇඳුමෙන්

ගෙයින් - දොරින් තෘප්තිමත් වූ

ලොවක් තැනීම ය.

ඒ සඳහා ම - මම නවතිමි

නැවතීම ම ය - ගමන”

-මහගම සේකර
සිරිමල් ජයලත් ද සිල්වා පියනම

නව අදහස දක්වන්න