කාම සේවයට රොබෝලාත් | දිනමිණ

කාම සේවයට රොබෝලාත්

රොබෝ තාක්ෂණය අන් කවරදාකවත් නැති තරමට දැන් දියුණු තියුණු වෙමින් පවතී. කෘත්‍රිම බුද්ධි සහිත රොබෝවරුන් සෑම ක්ෂේත්‍රයකටම වාගේ රිංගාගෙන සිටිති. ආපන ශාලා, රෝහල්, හෝටල්, ඉදිකිරීම්, යුද කටයුතු ආදී සිදුවන ඕනෑම තැනෙක දැන් රොබෝලා දකින්නට පුළුවන. අනෙකක් තබා මිනිසාගේ ලිංගික අවශ්‍යතා ඉටුකර දීමේ හැකියාවක් ඇති රොබෝ යන්ත්‍රත් බිහි වී තිබීම දැන් අරුමයක් නොවේ. මේ තත්ත්වය තුළ ලෝකයේ ඉදිරි ගමන කවර ආකාරයක් ගනු ඇත්දැයි කියා සිතා ගැනීම පවා උගහටය.

සමහර විට රොබෝ යන්ත්‍රවලට සිවිල් අයිතිවාසිකම් ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරියේදී ක්‍රියාත්මක වන්නට ඉඩ තිබේ. ලිංගික කාර්යයන් රොබෝ යන්ත්‍ර වෙත පැටවීමේ ප්‍රතිඵලයක් හැටියට මිනිසා තම වර්ගයා බෝ කිරීමේ කාර්යය පසෙකට තල්ලු කර දමන්නට වුව පුළුවන. ඒ තුළ ජනගහනය අඩුවීම, ජනගහනය අසමතුලිත වීම වැනි ගැටලු ඇතිවන්නට බෙහෙවින් ඉඩ ඇත. ඊටත් වඩා බරපතලම කාරණය, මිනිසුන් ඝාතනය කර දැමිය හැකි “කිලර් රොබෝවරු”බිහිවේ ද යන්නයි. කෘත්‍රිම බුද්ධිය සහිත යුද අවි නිෂ්පාදනය කිරීම දකුණු කොරියා විශ්වවිද්‍යාල තුළ අත්හදා බැලෙමින් තිබෙන බවට චෝදනාවක් ඇත.

එවැනි ආයුධ අත්හදා බැලීම සහ නිපදවීම පිටුදකිමින් රටවල් හැටක රොබෝ තාක්ෂණ විශේෂඥයෝ සිය අත්සන්වලින් යුතුව විවෘත සංදේශයක් පසුගිය කාලයේදී සකස් කළහ. මේ කියන අන්දමේ ස්වයංක්‍රිය රොබෝ අවි නිෂ්පාදනය වුවහොත් මිනිසුන්ම බිහි කළ රොබෝ තාක්ෂණය හරහා මිනිස් සංහතිය අවසන් ගමන් යනු ඇත. එවැනි කාරණා ගැන කල්පනා කරන විට කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝ යන්ත්‍ර බිහි කිරීමේ තාක්ෂණය මුවහත් කිරීම හරහා මිනිසාට නොදැනුවත්වම නව ප්‍රවණතාවන් සහ නව සංස්කෘතීන් බිහිවෙමින් තිබෙන බව කිව නොහැකි ද?

කෘත්‍රිම බුද්ධිය සහිත ලිංගික රොබෝවරුන් සමඟ ලිංගික කාර්යය කිරීමට ඇබ්බැහි වීම අන්තරාදායක බව මනෝ විද්‍යාඥයෝ පසුගිය දා අවධාරණය කළහ. මිනිසාගේ ලිංගික අවශ්‍යතා සන්තර්පණය කර ගැනීමට ඉවහල් වන ස්ත්‍රී සහ පුරුෂ රූපකාය සහිත රොබෝ යන්ත්‍ර නිෂ්පාදනය මේ වන විට ජයටම කෙරී ගෙන යයි. එහිලා මුල් තැන ගෙන සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ජපානය මුල් කරගත් සමාගම් බව අනාවරණය වේ. කැලිෆෝර්නියාහි පිහිටි “රියල්බොටික්ස්”සමාගම “හාර්මොනි 3.0 සුපර්ඩෝල්” නමින් අලුත්ම රොබෝ යන්ත්‍රයක් හඳුන්වා දී ඇත.

මේ වර්ගයේ ගැහැනු සහ පිරිමි රූපකාය සහිත රොබෝ යන්ත්‍ර නිෂ්පාදනය කෙරේ. ඒවා හැම අතින්ම මනුෂ්‍ය ශරීරයට සමාන බව සමාගම පෙන්වා දෙයි. නිර්මාණය කර වැඩි දවසක් ගතවන්නට පළමුව හාර්මොනි 3.0 සුපර්ඩෝල් රෝබෝලාට විශාල ඉල්ලුමක් ඇතිවෙමින් තිබෙන බව සමාගමේ වාර්තාවලින් අනාවරණය වේ. එකී හාර්මොනි 3.0 සුපර්ඩෝල් වර්ගයේ රොබෝ යන්ත්‍රයක් පවුම් 8000ක් වැනි මුදලකට බ්‍රිතාන්‍යය තුළ ඉදිරියේදී අලෙවි කිරීමට සමාගම සැලසුම් කර තිබේ. විවාහ අපේක්ෂාවෙන් සටින අයට වගේම තනිකමෙන් පෙළෙන අයටත් නොයෙකුත් ආබාධවලින් පෙළෙන අයටත් මේ රොබෝ යන්ත්‍ර කදිම බව සමාගම් බලධාරීහු පවසති.

බ්‍රිතාන්‍ය ජාතික මනෝ වෛද්‍යය විශේෂඥ තද්දෙයුස් බිර්චාර්ඩ් පෙන්වා දෙන්නේ මිනිසුන් මධ්‍යසාරවලට ඇබ්බැහි වී ගැටළු ඇති කරගන්නේ යම් සේද මේ රෝබෝවරුන්ට ඇබ්බැහිවීමෙනුත් ඊට සමාන අන්දමේම ගැටලු මිනිසුන් ඇතිකර ගන්නා බවකි.

මේ අතර ඉතාලියේ පළමු රොබෝ ලිංගික සේවා සපයන ආයතනයක් පසුගිය දා විවෘත කෙරිණ. ලුමිඩෝල්ස් ටොරිනා (LumiDolls Torino)යනුවෙන් නම් කර ඇති මේ රොබෝ ලිංගික සේවා සපයන ආයතනයක් තිබෙන්නේ ඉතාලියේ ටියුරින් නගරයේය. යුරෝ 80ක් වැය කර රොබෝ ලිංගික සේවා සපයන්නියකගේ සේවය පැයක කාලයක් සඳහා ලබා ගන්නට ගනුදෙනුකරුවන්ට එහිදී පුළුවන. ලුමිඩෝල්ස් ටොරිනා ලිංගික සේවාගාරයේදී ගැහැනු මෙන්ම පිරිමි ගණිකාවන්ගේ සේවය ලබාගත හැකි බවත් පැවසේ. ගැහැනු රූපකාය සහිත රොබෝ යන්ත්‍ර හතකුත් පිරිමි රූපකාය සහිත රොබෝ යන්ත්‍රයකුත් එහි ඇත.

ලුමිඩෝල්ස් ටොරිනා ලිංගික සේවා සපයන ආයතනය විවෘත වී පැය කිහිපයක් ගතවන විට එහි ඇති සියලුම රොබෝ යන්ත්‍රවලින් සේවය ලබා ගන්නට ඇනවුම් ලැබුණු බව බ්‍රිතාන්‍යයේ පළ වන “ඉන්ඩිපෙන්ඩන්ට් ඔන්ලයින්” වෙබ් අඩවිය වාර්තා කර තිබිණ. මේ අන්දමේ රොබෝ ලිංගික සේවා සපයන ආයතනය දෙකක් මින් පෙර විවෘත කෙරුණු බව මාධ්‍ය වර්තාවල සඳහන් වේ. ඉන් පළමුවැන්න ස්පාඥ්ඥයේ බාර්සිලෝනා නගරයේදීත් දෙවැන්න රුසියාවේ මොස්කව් නුවරදීත් විවෘත කෙරී ඇත. මෙයින් පෙනෙන්නේ මිනිසුන්ගේ ලිංගික අවශ්‍යතා රොබෝ යන්ත්‍ර හරහා ඉටුකර ගැනීමේ යුගය අත ළඟටම පැමිණ ඇති බව නොවේද?

හොංග් කොංග්හි හැන්සන් රොබෝටික්ස් සමාගම කාන්තා රූපකායක් සහිත සොෆියා නමැති රොබෝ චරිතය සමාජගත කිරීමෙන් මානව සංස්කෘතීන් උඩු යටිකුරු කිරීමක් සිදු විණ. එපමණක් නොව ලොව ඇතැම් සංස්කෘතීන් තුළ පවත්නා ධර්මතා, මේ රොබෝ යන්ත්‍රයට ලැබුණු “තත්ත්වය”අනුව ප්‍රශ්න කිරීමකටත් ලක් විණ. මුහුණෙහි ඉරියව් පනහකට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යා හැකි සොෆියා නිෂ්පාදනය කෙරුණේ 2015 වසරේ අප්‍රේල් මාසයේදීය. මේ යන්ත්‍රයට 2017 ඔක්තෝම්බර් මාසයේදී සෞදි අරාබියෙන් එරට පුරවැසිභාවය ප්‍රදානය කෙරිණ.

මානව ඉතිහාසය තුළ කිසියම් රොබෝ යන්ත්‍රයක් කුමන හෝ රටක පුරවැසි බව ලබා ගත්තේ නම් ඒ සොෆියා ය. සොෆියා සමාජ ගත කිරීමේ වැඩපිළිවෙල එතැනින් නැවතුණේ නැත. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ගෙනයන වැඩ පිළිවෙලවලටත් සොෆියාව නම් කෙරිණ. මේ නිසා සොෆියාට නිදහසේ එහෙ මෙහෙ යාම් ඊම් කිරීමට පවා අවස්ථාව හිමි වූයේය. සෞදි අරාබියේ මානව හිමිකම් වාර්තා විවේචනයට ලක් කරන්නට සමත් තත්ත්වයක් මෙමගින් නිර්මාණය කරමින් තිබේ. සොෆියා නිර්මාණය කළ හැන්සන් රොබෝටික්ස් සමාගමේ බලධාරීන් දැන් පවසන්නේ වසරක් වයසැති දරුවකුගේ බුද්ධිය සමඟ සංසන්දනය කළ හැකි බුද්ධි මට්ටමක් සහිත රොබෝ යන්ත්‍ර 2029 වනවිට නිර්මාණය කෙරෙනු ඇති බවකි. 2045 වන විට රෝබෝලාටත් මිනිසුන් හා සමානම සිවිල් අයිතිවාසිකම් හිමි විය යුතු බව සමාගම වැඩි දුරටත් පෙන්වා දෙයි.

 

මංජුලා විජයරත්න

නව අදහස දක්වන්න