ඇසිල්ලකින් ඇප් ලෝකය ආක්‍රමණය කළ ටික් ටොක් | දිනමිණ

ඇසිල්ලකින් ඇප් ලෝකය ආක්‍රමණය කළ ටික් ටොක්

චීනයෙන් 2016 දී බිහි වුණු ටික් ටොක් යනු වර්තමානයේ තරුණ, තරුණියන් අතර වඩාත්ම ජනප්‍රිය ඇප් එකකි.මෙය ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් යන ජංගම දුරකතන ජාල දෙකටම පහසුවෙන් භාවිත කළ හැකිය. දිනකට මිලියන 200ක ජනකායක් මෙම ඇප් එකට ලොග් වෙන අතර 2018 පළමු කාර්තුවේදී පමණක් මිලියන 45.8ක් පමණ ඩවුන්ලෝඩ් කරගෙන තිබුනි.

තත්පර 15ක පමණ කුඩා කාලයකට අනුරූප සංගීත ඛණ්ඩයකට අදාළ චලනයන් දැක්වීම ටික් ටොක් හි මූලික අංගය වේ. ටික් ටොක් හරහා ඒ ඒ කුඩා වීඩියෝ සදහා රියැක්ශන් දැමීමේ පහසුවද සකසා තිබේ. ඒ අනුව වීඩියෝ නරඹන අයට තමුන් කැමති ජාතියේ රියැක්ශන් දැමීමේ පහසුව ලැබේ. සාමාන්‍යයෙන් කමෙන්ට් ටයිප් කරනවාට වඩා පහසුවෙන් රියැක්ශන් දැමිය හැකිය. එසේම අදහස කෙලින්ම කියන්නටද හැකිය.

ටික් ටොක් හි සාමාන්‍යෙයන් ලැබෙන කාලය තත්පර 15කි. මෙය සාමාන්‍යයෙන් මියුසික් කොටසක් හෝ ශබ්දයක් වාදනය වන ඉතා සුළු කාලයකි. ඒ කාලයට අනුරූපව යුවතියන් දක්වන චලන, සුරතල් සතුන්ගේ චලන, මෙන්ම විවිධ ආකාර නැටුම් ආදිය ටික්ටොක් හි ජනප්‍රිය වී තිබේ. මෙහි විශේෂත්වය නම් ලොව ඕනෑම අයෙක්ට හැකියාව ඇත්නම් ටික් ටොක් හරහා තමුන්ගේ වැඩ පෙන්වීමට හැකිය. එහිදී සාමාන්‍ය ක්‍රමවලදී මෙන් වේදිකාවක්, අවකාශයක්, චැනල් එකක් අවශ්‍ය නැති අතර දිගින් දිගට ඇදෙන වැඩක් නොවන හෙයින් විශාල කැපවීමක්ද අවශ්‍ය නොවේ. කුඩා කාලයකදී ක්ෂණික තෘප්තියක් ටික් ටොක් හරහා ලබා දේ.

මෙය මීට පෙර පැවති Musical.ly ටික් ටොක් හා එකතු වූ නවතම අඩවියකි. එනම් ටික් ටොක් මියුසිකල් එල්.වයි එකතු වී නවතම ටික් ටොක් අඩවිය සෑදී තිබේ. මියුසිකල් අඩවිය මුලින්ම කරලියට එන්නේ ගීතවලට අනුකූලව තොල් සොලවා ගීතය ගායනා කරන බවක් අගවා පෙන්වීමටය. එහෙත් පසුව මියුසිකල් සහ ටික් ටොක් දියුණු වී දැන් ඒ කුඩා සංගීත ඛණ්ඩයට අදාළව විවිධ ආකාරයේ විදහා දැක්වීම් මිලියන ගණනක් ටික් ටොක් හි තිබේ. ඇතැම් විට එකම සංගීත ඛණ්ඩයට අනුකූලව කරනු ලබන සුන්දර නැටුම්, ජිම්නාස්ටික්, චලන ආදිය දස දහස් ගණනක් ටික් ටොක් වෙත එකතු වී තිබේ. ටික් ටොක්හි හිපොප්, ආර්ඇන් බී තාල වඩාත් ජනප්‍රිය වී ඇති අතර ටික් ටොක් වෙත මියුසික් ඛණ්ඩ ලබා දීමටද ඒ ඔරිජිනල් මියුසික් අයිති සමාගම්ද කැමැත්තෙන් සිටින්නේ තත්පර 15ක කාලයකින් ඔවුන්ගේ මියුසික් එක වාර සිය දහස් ගණනක් ඇප් එක තුළ නොමිලේ දැන්වීම් ආකාරයෙන් ප්‍රචාරය වන නිසා විය හැකිය.

රුසියාවේ පමණක් මිලියනයකට වඩා වැඩියෙන් නැරඹූ වීඩියෝ 600 ටික්ටොක්වලින් නිකුත් වී තිබේ. 2018 සැප්තැම්බර මුලදී ම මොස්කව් හිදී කරන ලද සංගණනයකදි රුසියාවේ වැඩියෙන්ම වේගයෙන් පැතිරෙන වීඩියෝ ඇප් අතර ටික් ටොක් පළමු ස්ථානය ලබාගෙන තිබුනි. මෙහිදී ඒ ඒ රටවල් ආශ්‍රිතව මිලියනයට වඩා වැඩි පිරිසක් නරඹන වීඩියෝ නිපදවන අය සදහා යම් ප්‍රමුඛතාවයක් හිමි කරදීමට ටික් ටොක් ඇප් සමාගම ක්‍රියාකරයි. ඒ නිසා ඉන්දියාව, බ්‍රසීලය, පෘතුගාලය, තායිලන්තය, ජපානය, දකුණු කොරියාව ඇතුළු රටවල ඇති ලක්ෂ ගණනක් වූ ටික් ටොක් අන්තර්ගතයන් අතුරින් වැඩිපුරම නරඹන වීඩියෝ සඳහා ප්‍රමුඛතාවයක් සහ ඇගයිමක් ටික් ටොක් වෙතින් ලබා දෙනු ලැබේ.

ලොව ජනගහනය අතින් 4 වන ස්ථානය ගන්නා ඉන්දුනීසියාව ටික් ටොක් රසිකයින් රැසක් සිටින රටකි. එහි 2018 ජූලි 3 වැනිදා ටික් ටොක් සදහා තහනමක් එරට රජය විසින් පනවන ලදී. එයට හේතු වූයේ ලිංගික දර්ශන සහ අවමන් කිරීම් ආදිය ටික් ටොක් හි ජනප්‍රිය වීමයි. ඉන් පසු ටික් ටොක් පරිපාලනය එවැනි අහිතකර අන්තර්ගතයන් ඉවත් කිරීමට සතියක් ඇතුළත කටයුතු කළ අතර ඉන් පසු ඇප් එක නැවත විවෘත කිරීමට කටයුතු කරන ලදී.

මෙම ඇප් එකද ෆේස්බුක් පරිදි වෙළෙඳ දැන්වීම් ආකාරයෙන් මුදල් උපයනු ලැබේ. එසේම මෙහිදී නරඹන්නන්ට ඒ වීඩියෝ හදන අයට වර්චුවල් තෑගි ලබා දෙන්නටද හැකිය. එහිදී කොටසක් සමාගමට ගොස් ඒ අදාල වර්චුවල් තැග්ගේ වටිනාකමෙන් ලොකු කොටසක් නිර්මාණකරුට යයි. කෙසේ වෙතත් ක්ෂණිකව ජනප්‍රිය වූ ටික් ටොක් කලක් යනතෙක් ඇප් එකක් ලෙස අන්තර්ජාලය තුළ තරුණ තරුණියන් අතර ජනප්‍රිය වී තිබෙනු ඇත්තේ ඒ මඟින් නව නිර්මාණකරුවන්ට හා ඔවුන්ගේ නිර්මාණවලට ලබා දෙන ජනප්‍රියත්වය හේතුවෙනි.

 

අමිල චතුරංග

නව අදහස දක්වන්න