සමස්ත ලංකා පාසල් අර්ධ මැරතන් | දිනමිණ

සමස්ත ලංකා පාසල් අර්ධ මැරතන්

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අංශය සංවිධානයෙන් සහ නෙස්ටමෝල්ට් අනුග්‍රහයෙන් පවත්වන ලද සමස්ත ලංකා පාසල් ක්‍රීඩා අර්ධ මාර්ග ධාවන තරගයේ බාලක ශූරතාව දිනා ගැනීමට අඹගස්දෝව ජනාධිපති විද්‍යාලයේ එරංග මධුසංක සමත් වූ අතර බාලිකා ශූරතාව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ පාරමී වසන්තිට හිමිවුවාය.

කිලෝමී‍ටර් 15ක දුරකින් යුතුවු මේ තරගයේ බාලක දෙවැනි ස්ථානය අඹගස්දෝව ජනාධිපති විද්‍යාලයේම චමින්ද නුවන් කුමාර දිනාගත් අතර තෙවැනි ස්ථානය පයාගල බණ්ඩාරනායක මහ විද්‍යාලයේ කවිෂ්ක එරංග සිල්වාට හිමිවිය. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේම බිමාෂි අෂ්මිකා හේරත් බාලිකා තරගයේ දෙවැනි තැන අත්කරගත් අතර වැලිමඩ මහ විද්‍යාලයේ දිල්රුක්ෂි සමරකෝන් තෙවැනි ස්ථාන හිමිකර ගත්තාය.

මීට සමගාමීව කිලෝමීටර් 5ක දුරකින් යුතුව පැවැති ආධුනික තරගයේ බාලක ශූරතාව කවීෂ ඉඳුවර (අඹගස්දෝව ජනාධිපති විදුහල)ට සහ බාලිකා ශූරතාව ලක්මිණි දුලංජි (ගාල්ල සිරි ධම්ම විද්‍යාලය)ට හිමිවූහ.

වෑකඩ මහ විද්‍යාලයේ ලක්මාල් සංදීප සහ තිළිණ මදුෂාන් බාලක තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත් අතර බාලිකා තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන ගීත්මී සංජනා (පයාගල බණ්ඩාරනායක ම.වි.) සහ වී.රිෂාන්තිනි (හැටන් ගවරවිල ම.වි.) හිමිකර ගත්හ.

කුලියාපිටියේ පැවැති මේ තරගයට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2400කට වැඩි පිරිසක් එක්ව සිටියහ. තරගාවලියේ ජය සංකේත ප්‍රදානය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එම අවස්ථාවට කුලියාපිටිය නගරාධිපති ලක්ෂ්මන් අධිකාරි, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ මංජුල කාරියවසම්, අධ්‍යාපන අමාත්‍යවරයාගේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර, නෙස්ලේ සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහත්වරුන් සමග ආරාධිතයන් රැසක්ද එක්වූහ.

කුලියාපිටිය විශේෂ ඩබ්ලිව්.රණසිංහ
ඡායාරූප - කුලියාපිටිය විශේෂ

 

 

නව අදහස දක්වන්න