ශ්‍රී ලංකා පිලේ නායකත්වය ‘සූරි’ට | දිනමිණ

ශ්‍රී ලංකා පිලේ නායකත්වය ‘සූරි’ට

ෆවුස් මොහොමඩ්

ලබන සති අන්තයේ හොංකොං නුවර පැවැත්වෙන ආසියානු කුසලාන සත් සාමාජික රග්බි පළමු අදියරේ තරගාවලියේ දි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ප්‍රවීණ ස්ක්‍රම්හාෆ් ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාරට පැවැරී තිබේ. ‘සුරි’ට නායකත්වය පැවැරී ඇත්තේ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලේ නිත්‍ය නායක සුදර්ශන මුතුතන්ත්‍රී ආබාධයකට ලක්වීම හේතුවෙනි. අත්දැකීම් බහුල තවත් ක්‍රීඩකයන් කිහිපදෙනකුම මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින් සූරිට මේ තරගාවලිය අභියෝගාත්මක එකකි.

පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලිය අතරතුර සිය දකුණු අතෙහි මැණික් කටුවේ අස්ථි බිඳීමක් සිදුවීමෙන් මුතුට මෙවර ආසියානු රග්බි තරගාවලියේ පළමු අදියරෙන් ඉවත්වීමට සිදුවිය.

ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වු අනිත් ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම තුරුම්පුවක් වන ධනුෂ්ක රන්ජන්ය. සෙන්ටර් ක්‍රීඩක ධනුෂ්ක පාදයේ ආබාධයකට ගොදුරුවී සිටී. මේ ප්‍රබලතම ක්‍රීඩකයන් දෙදෙනාට මෙවර තරගාවලියේ දෙවැනි අදියර ලෙස මේ මස 29 හා 30 දෙදින දකුණු කොරියාවේ පැවැත්වෙන තරගාවලිය ද අහිමිවනු ඇතැයි වාර්තා වෙයි. මුතුතන්ත්‍රිගේ ආබාධයට අනුව ඔහු සති තුනක කාලයක් විවේක ගතයුතු බව වෛද්‍යවරුන්ගේ අදහස වි තිබේ.

මීට අමතරව ආසියානු ක්‍රීඩා උළෙලේදී දස්කම් අතර සිටි සත් සාමාජික රග්බි තරු දෙකක් වන ජේසන් දිසානායක සහ තරින්ද රත්වත්ත ද පෞද්ගලික හේතු මත ආසියානු කුසලාන පළමු අදියරේ තරගාවලියට සහභාගි වන්නේ නැත. මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරන ජේසන් දිසානායක සිය කණ්ඩායම සමග ඩුබායි නුවර පැවැත්වෙන බටහිර ආසියා රග්බි තරගාවලියට සහභාගි වන අතර රත්වත්ත අධ්‍යාපන කටයුතු හේතුවෙන් තරගාවලියට එක්වී නොමැත.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් හොංකොං තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින් යොවුන් ක්‍රීඩකයන් වැඩි පිරිසකට අවස්ථාව ලබාදීමට රොහාන් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු රග්බි තේරිම් කමිටුව පියවර ගෙන තිබේ. මීට පෙර ජාතික පිල නියෝජනය කළ නවීන් හේනකංකානම්ගේ, කෙවින් ඩික්සන්, අදීෂ වීරතුංග කණ්ඩායමට ඇතුළත් වී සිටිති. මීට අමතරව මහනුවර සාන්ත අන්තෝනි විදුහල් පිලේ හිටපු නායක දිනුක් අමරසිංහට පළමු වරට ජාතික කණ්ඩායමේ දොරටුව විවර වි තිබේ.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල මෙසේය.

ශ්‍රීනාත් සූරියබණ්ඩාර (නායක), ගයාන් වීරරත්න, දනුෂ දයාන් (මහනුවර ක්‍රීඩා සමාජය), කවිඳු පෙරේරා, රීසා රෆායිඩීන්, කෙවින් ඩික්සන්, රෙහාන් සිල්වා (සී.ආර්), නවීන් හේනකංකානම්ගේ, සුදම් සූරියආරච්චි (සී.එච්.), බුද්ධිම පියරත්න, අදීෂ වීරතුංග (නාවික), දිනුක් අමරසිංහ (හැව්ලොක්ස්)

නව අදහස දක්වන්න