උපකාරක පන්තිවලට එන දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණන ජංගම කල්ලියක් | දිනමිණ

උපකාරක පන්තිවලට එන දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණන ජංගම කල්ලියක්

නාඋල සමූහ

මහනුවර හා මාතලේ නගර ආශ්‍රිතව ක්‍රියාත්මක උපකාරක පංති සඳහා සහභාගී වන පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත් ද්‍රව්‍ය බෙදා හරින ජංගම සේවාවක් ක්‍රියාත්මක බවට මවුපියෝ චෝදනා කරති.

උපකාරක පන්ති සඳහා සහභාගි වන පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් විවිධ චුයිගම් වර්ග, විවිධ මත් පෙති වර්ග මෙන්ම කුඩා බෝතල්වල ඇසුරු බීම වර්ග මේ කණ්ඩායම මඟින් අලවි කරන බවට ද ඔවුහු චෝදනා කරති.

සූක්ෂ්ම ලෙස විවිධ වාහන භාවිත කරමින් උපකාරක පංති පැවැත්වෙන ස්ථානවල ගැවසෙමින් මේ ජාවාරමේ නිරතවන්නේ එකම කණ්ඩායමක් බව ද ඔවුහු කියති.

ඇතැම් අවස්ථාවල උපකාරක පංති පිළිබද දැනුවත් කරන අත් පත්‍රිකා බෙදා හරිමින් මේ ජාවාරමේ නිරතවන මේ කණ්ඩායම දිනකට විශාල මුදලක් උපයන බව ද තොරතුරු හෙළිකරගත් පිරිස් කියා සිටිති.

අවස්ථා ගණනාවක දි පොලිස් පරික්ෂාවන්වලට ලක්ව ඇති මේ ජාවාරම්කාර කණ්ඩායම පොලිසිය පවා නොමග යවමින් විවිධ හේතු ඉදිරිපත් කරමින් සිය ජාවාරම රිසි සේ සිදුකරන බව තොරතුරු හෙළිකරගත් කණ්ඩායම් කියා සිටියේය. විවිධ අවස්ථාවන්වල දි සුඛෝපභෝගි මෝටර් රථ, විවිධ වෑන් වර්ග වැනි වාහන භාවිත කරමින් පාසල් දරුවන් සඳහා විවිධ මත්ද්‍රව්‍ය ජංගම රථ ආශ්‍රයෙන් අලවි කරන මේ ජාවාරම්කාර කණ්ඩායම ගැන වහාම ආරක්ෂක අංශවල අවධානය යොමුකරන ලෙස එම මවුපියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මේ සම්බන්ධයෙන් පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශකයකු කියා සිටියේ පාසල් දරුවන් ඉලක්ක කර ගත් විවිධ ජාවාරම්වල නිරත පුද්ගලයන් රැසක් පසුගිය සමයේ අත්අඩංගුවට ගත් බවත් ඔවුන් සඳහා අධිකරණ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත්ය.

මධ්‍යම පළාතේ පාසල් දරුවන් ඉලක්ක කරගත් විවිධ ජාවාරම්කරුවන් පිළිබද නිරන්තර අධ්‍යයනයක පසුන බවත් තොරතුරු දන්නා අයකුට ඕනෑම අවස්ථාවක දි පොලිස් හදිසි ඇමතුම් අංකයට හෝ ළඟම පොලිසියට දැනුම් දෙන ලෙස ද එම ප්‍රකාශකයා මහ ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

නව අදහස දක්වන්න