අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ පිටුපස කොටස සභා පාලකයන්ගේ හිතවතුන්ට ලබාදීමේ තැතක්? | දිනමිණ

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ පිටුපස කොටස සභා පාලකයන්ගේ හිතවතුන්ට ලබාදීමේ තැතක්?

 අනුරාධපුර නගරයේ ඇති අලංකාරම ස්ථානය වන මහජන ක්‍රීඩාංගණය පිටුපස තුරුලිය කොටසත් අනුරාධපුර මහ නගර සභාවේ දේශපාලන අධිකාරියේ හිතවතුන්ට බෙදාදීම සඳහා පිඹුරුපත් සකස්කර එහි කොටසක් පසුගිය දා ඩෝසර් කිරීම සිදුවූ බවට අනුරාධපුර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ නිලධාරිහු පිරිසක් චෝදනා කළහ.

අනුරාධපුර මහ නගර සභාවේ පාලකයන් ඔවුන්ගේ හිතවතුන්ට කඩ කිහිපයක් අටවාදීමට මේ ස්ථානය ඩෝසර් යොදා ශුද්ධ පවිත්‍රකළ බවත් අනුරාධපුර වෙළෙඳ සංගමයේ නිලධාරින් පිරිසකුත් එම ස්ථානයේ කාර්යාලක් ඉදිකිරීම සදහා ලබාදෙන ලෙස ඉල්ලිම්කර තිබෙන බවත් ඔවුහු අනාවරණය කළහ. පසුගිය දශක කීපය තිස්සේම අනුරාධපුර මහ නගර සභාව පාලනය කළ දේශපාලන අධිකාරිය අනුරාධපුර නගරයේ සෑම බිම් අඟලක්ම විනාශ කරමින් නගරය මහා ව්‍යසනයකට ඇදදමා සිය හිතවතුන්ට බෙදා දෙමින් දේශපාලන වාසි ලබාගත් බව ඔවුහු පෙන්වා දුන්හ. අනුරාධපුර නගරයේ ඉතිරිවී ඇති එකම අලංකාර ස්ථානය මෙය වන අතර එම භූමියත් අල්ලාගෙන එය හිතවතුන්ට බෙදා දෙන තුරු පාලකයන්ට නින්ද නොයන බව ඔවුහු පැවසූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ නිලධාරිහු පිරිසක් මෙසේ කීහ. මේ නගරයේ ජනතාවට කවදහරි හුස්ම ගන්න වෙන්නේ ඔක්සිජන් ටැංකි පිටේ බැඳගෙන. මේ නගර සභාවේ අමන පාලකයන් නගරයේ සියලුම ගහ කොළ කප කපා කඩ සාප්පු අටවනවා හිතවතුන්ට. දැන් මල්කඩ වගයක් දාන්න මේ ස්ථානයේ තියන ගස්ටික කපනවා කියලා දැන ගන්න ලැබුණා. අනුරාධපුර නගරයේ තියෙන ලස්සනම ස්ථානය. විඩාවට පත්වන අයෙකුට සිසිල් සුළං ටිකක් ඇගේ වැදෙන්න ඉන්න පුළුවන් තැන. ඒත් ඔන්න එතනටත් බැල්ම වැටිලා ඩෝසරය දාලා හානවා. මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාගෙන් දිනමිණ කළ විමසුමකදී ඒ මහතා මෙසේ පැවැසුවේය. එහේම සිද්ධියක් නෑ. සම්පූර්ණ වැරැදි වැටහීමක්. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපතිවරයා කිවුවා මෙතනට කුණු දානවා කියලා. ඒ නිසා මම එම ස්ථානය ශුද්ධ පවිත්‍රකළා. මෙතැන කිසිම කඩයක් හදන්නේ නෑ. මම වගකීමෙන් කියන්නේ. මේ භූමියේ ගස් හිටුවලා කම්බි වැටක් ගහනවා.

සටහන හා ඡායාරූපය
අනුරාධපුර මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න