කලාඔයේ ‘කහ පාලම’ අලුත්වැඩියාවට කාලේ හරි | දිනමිණ

කලාඔයේ ‘කහ පාලම’ අලුත්වැඩියාවට කාලේ හරි

1964 වර්ෂයේදි රාජාංගණය ගොවි ජනපදය ආරම්භ වී කෙටි කලක් ගත වෙද්දි රාජාංගණය ව්‍යාපාරයේ වම් ඉවුර හා දකුණු ඉවුර යා කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කලාඔය මතින් ඉදිකර ඇති මේ පාලම ප්‍රදේශයේ ජනතාව අතර වඩාත් ප්‍රචලිත වී ඇත්තේ ‘කහ පාලම’ යන නමිනි. කහ පාලම ඉදිකළ දා පටන් මේ දක්වා ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා එම පාලම භාවිතා කරන රියැදුරෝ මෙන්ම මගීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

කිලෝ මීටර් 30ක් පමණ දුරක් ගෙවාගෙන දකුණු ඉවුරේ ජනයාට වම් ඉවුරටත් වම් ඉවුරේ ජනයාටත් යෑමට තිබූ දුර කිලෝ මීටර් 4ක් 5ක් දක්වා අඩු කිරීමට මේ පාලම මහඟු දායකත්වයක් ලබාදුන් බව කිව යුතුමය.

බී. ජී. චමින්ද මහතා - අපි ඉතා අපහසුවෙන් හා බයෙන් මේ පාලම උඩින් යන්නේ. අපි දන්න කාලේ ඉදලා මේක පිළිසකර කෙළේ නැහැ. අද වෙනකොට මේ පාලමට දාලා තියෙන ලී දිරාපත් වෙලා. අනතුරක් වුණොත් වෙන විනාශය වචන වලින් විස්තර කරන්න බැහැ.මේ පාලම උඩින් රෝගීන් අරන් යනවා. ඒ වගේම එළවළු පලතුරු අරන් යනවා. මේක ගොවි ජනපදයක ජනතාව, බඩු බාහිරාදිය එහා මෙහා කරන පාලමක්. මේක යම් විදිහකින් කැඩුණොත් අපේ ආර්ථිකයත් ඉවරයි.

ජේ. ඒ. කීර්ති කැළුම් කුමාර මහතා - මේ රාජාංගණය ගැන කැක්කුමක් තියෙන්නේ අපිට.මේ පාලමේ වටිනාකම දැනෙන්නෙත් අපිට.මේකේ ලෑලි දිරලා .තහඩු හොරු අරගෙන යනවා. දවසක් මම නිදාගෙන ඉන්න කොට ඇහුනා මේකේ තහඩු ගලවනවා.මම යනකොට ලොරියත් අරගෙන යන්න ගියා.මේක ආරක්ෂා කරන්න කවුරුවත් මැදිහත් වෙන්නේ නැහැ.

රාජාංගණය ප්‍රාදේශිය සභාවේ සභාපති ජී. සරත් ගාමිණි මහතා - මේක ඇත්තටම අවදානමක්. මේක ඉක්මනින් ප්‍රතිසංස්කරණය විය යුතු පාලමක්. මේක අපිට අයිති නැහැ. අපිට පිළිසකර කරන්න අපට බලයක් නැහැ. අයිතිය තියෙන්නෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුව.

රාජාංගණය වාරි මාර්ග ඉංජිනේරු සඹිර ප්‍රියංකර සුමනදාස මහතා - කිසියම් පිරිසක් ‍තහඩු ගලවලා තිබුණා. .අරන් ගිහිල්ලා තිබුනේ නැහැ.අපි ගලවපු ටික සේවකයෝ යොදලා සවිකළා. ප්‍රාදේශිය සභාව මේ පාලම ලිඛිතව ඉල්ලුවොත් අපි දෙනවා. මේ පාලම ප්‍රතිසංස්කරණය කරන්න අපිට සල්ලි නැහැ. ප්‍රධාන කාර්යාලයට මේ සම්බන්ධයෙන් දන්වනවා. මුදල් ලැබුනොත් හදනවා.

සටහන හා ඡායාරූපය
තලාව සමූහ සමන්ත ධර්මකීර්ති

නව අදහස දක්වන්න