රටේ ඉදිරි ගමන‍‍ට කෑගල්ලෙන් ශක්තිමත් ව්‍යාපාරිකයන් දහසක් | දිනමිණ

රටේ ඉදිරි ගමන‍‍ට කෑගල්ලෙන් ශක්තිමත් ව්‍යාපාරිකයන් දහසක්

සබරගමුව සමුහ ගාමිණි රම්‍යපාල, කෑගල්ල සමූහ පී. එම්. පී. පොල්වත්ත හා අරණායක ප්‍රදීප් කුමාර

කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල්වලින් වසරකට එකළොස් දහසක් පමණ දරුදැරියන් පිරිසක් අධ්‍යාපනය හමාර කරනවා. මෙයින් උසස් අධ්‍යාපනයට යොමු වන්නේ 750ක් පමණ වු සුළු පිරිසක්. එයින් ද රාජ්‍ය අංශයේ රැකියා ලැබෙන්නේ ද ඉන් අඩකටත් වඩා අඩු පිරිසකටයි. ඒ නිසා වසරකට දස දහසකට ආසන්න පිරිසකට සිදුවෙනවා වෙනත්- වෙනත් වෘත්තිය මාර්ග සොයා යන්නට. එය සපයාගත හැක්කේ පුද්ගලික අංශය දියුණු කරලයි. ඒ සඳහා අපි දිස්ත්‍රික්කය ඇතුළේ ශක්ති සම්පන්න ව්‍යාපාරිකයන් දහසක් හදන්නට ඕනේ. එයින් සියයක්වත් විදේශ වෙළඳපළට භාණ්ඩ යවන තත්ත්වයට දියුණු කිර්මට ද අවශ්‍ය යයි රජය තීරණය කර තිබෙනවා.

කෑගල්ල මහ දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 'කෑගලු අබිමන් - 2018' ව්‍යවසායකත්ව ප්‍රදර්ශනය හා ව්‍යාපාරික අලෙවිසලේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් පැවසීය.

කෑගල්ල නගරයේ නිදහස් මාවතේ දී ආරම්භ වු මේ වැඩසටහන පසුගිය 2දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු කෑගල්ල මහ දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා මෙසේද පැවසීය. “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා“ වැඩසටහනින් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලංකාවේ ප්‍රථම වතාවට කෑගල්ල බිස්නස් ඩෙස්ක් එකක් ආරම්භ කිරිමට අපට හැකිවුණා. අපි විවිධ ආයතන 35ක් එකතුවෙලා හදපු මේ ව්‍යාපාරික සංවිධානයේ සම්බන්ධිකරණ කාර්යාලය මීට සති දෙකකට පෙර අග්‍රාමාත්‍යතුමා අතින් කෑගල්ල දිසා ලේකම් කාර්යාලයේ දී විවෘත කිරිමටත් අපට හැකිවුණා. එහි එක් පියවරක් ලෙස සැළසුම් කරල කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් එක් ස්ථානයකට ගෙනත් පුරා දින තුනක් මෙම වෙළද ප්‍රදර්ශනය පැවැත්විමටත් අපට හැකි වුණා.

අපි දිළිඳුකම අතින් හා තවත් සමහර කාරණා කීපයකින් මේ රටේ නරක ම දිස්ත්‍රික්ක හතර අතරට වැටෙනවා. එහෙත් සමහර කාරණාවලින් අපි හොඳ දිස්ත්‍රික්ක අතර ද ප්‍රථම ස්ථානත් ගන්නවා. මේ නරක කාරණාවලට යොමු වී ඇති පිරිස අඩුකර ගන්න ලැබුණොත් කෑගල්ල ජනතාවටත් වාසනාවන්ත ජීවිත ගෙවන්නට පුළුවන් වෙනවා.

මේ දිස්ත්‍රික්කයේ දේශපාලඥයන් වේවා, නිලධාරින් වේවා, අපි සියල්ලන්ට ම අත්නොහැරිය හැකි වගකීමක් තිබෙනවා. ඒ තමයි කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම. අපි මේ ව්‍යවසායකයන් දහසක් හදන්නේ ඒ ලොකු පියවරක් හිතේ තියා‍‍ ‍ගෙනයි.

කෑගල්ල ප්‍රදේශීය සභාවේ සභාපති ජගත් ජයසිංහ, ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සම සභාපතිවරුන් වන හිටපු ජ්‍යෙෂ්ඨ ඇමති අතාවුද සෙනෙවිරත්න, නිතිඥ ලිලාන් අමරකෝන්, සබරගමුව පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ඩබ්ලිව්. සෝමදාස, මංත්‍රිවරුන් වන හර්ෂ සියඹලාපිටිය සහ ආනන්ද මිල්ලන්ගොඩ, වරකාපොල ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ‍කේ. විජේතුංග මහත්වරුන් ඇතුළු පිරිසක් ද ප්‍රදේශවාසි ජනතාව ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න