වගා කළ හැකි ආහාර භෝග ආනයනය නවත්වනවා | දිනමිණ

වගා කළ හැකි ආහාර භෝග ආනයනය නවත්වනවා

රටේ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පාරිභෝගික වාර්තා ඉදිරියට දමමින් පිටරටින් ගෙන්වීම වහාම නතර කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පෙරවරුවේ හම්බන්තොට මාගම්පුර රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී හම්බන්තොට ගොවි ජනතාව සමඟ පැවැති හමුවක දීය.

ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය වූ පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමට දීපව්‍යාප්තව ක්‍රියාවට නංවා ඇති දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන මෙලෙස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි. ගිං- නිල්වලා ව්‍යාපෘතිය පිළිබඳ ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ එම ව්‍යාපෘතියේ සිදුවූවා යැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවන් පිළිබඳ වත්මන් රජය යටතේ ද නැවත පරීක්ෂණයක් ආරම්භ කිරීමට සිදුවනු ඇති බවයි.

ගිං - නිල්වලා වාරිමාර්ග ව්‍යාපෘතියේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳ, මේ වන විට සිදුවන පරීක්ෂණවල පවතින දැඩි ප්‍රමාදය සහ මන්දගාමි තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණයට එළැඹීමට සිදුවනු ඇතැයි සඳහන් කළ ජනාධිපතිතුමා කෙසේ නමුත් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේ වගකීම පැවරී ඇති ආණ්ඩුවේ සියලුදෙනා ද සිය දේශපාලන වටිනාකම් ආරක්ෂා කරගෙන කටයුතු කළයුතු බව තමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බව ද කියා සිටියේය.

හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කයන්හි සංවර්ධනයේ නව පරිවර්තනයක් සිදුකෙරෙන සහ එම දිස්ත්‍රික්කයන්හි ගොවි ජනතාවගේ අපේක්ෂාවක් වූ ගිං නිල්වලා ව්‍යාපෘතිය ඉතා අවශ්‍ය බවට වූ ප්‍රතිපත්තිය මත රජය කටයුතු කරන බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති කරමින් ගොවි ආර්ථිකය නඟාසිටුවීම වෙනුවෙන් රජය ගෙන යන පුළුල් වැඩසටහන පිළිබඳ ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් දැක්වීය.

ගොවි ජනතාවගේ ගැටලු ඇතුළත් සංදේශයක් ද ජනාධිපතිතුමා වෙත භාර කෙරිණි. අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යූ.ජී.බී. ආරියතිලක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකෙරුණු නව තෙමහල් ගොඩනැගිල්ල අද (10) පෙරවරුවේ ජනතා අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි. ප්‍රදේශයේ පරිපාලන කටයුතු වඩා විධිමත් සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 990ක වියදමින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

ප්‍රදේශයේ ජනතාවට ඉඩම් හිමිකම් පත් ප්‍රදානය, ආබාධිතවූවන්ට උපකරණ ප්‍රදානය, පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම නිලධාරින්ගේ සේවය අගයා තිළිණ ප්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් ද මෙහිදී ක්‍රියාත්මක කෙරිණි.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු ප්‍රදේශයේ පක්ෂ, විපක්ෂ මහජන නියෝජිතයන් ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී.කොඩිකාර, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ. හරිස්චන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 


නව අදහස දක්වන්න

Or log in with...