වියට්නාමයේ දී අගමැතිට හරසර | දිනමිණ

වියට්නාමයේ දී අගමැතිට හරසර

වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(10) නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් වියට්නාමයේ, හැනොයි නුවරට ළඟා විය.

ආසියාන් සංවිධානයට අයත් රටවල හා අනෙකුත් ආසියානු රටවල ඉහළ පෙළේ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව අද(11) හැනෝයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ දී ආරම්භ වීමට නියමිතය.

වියට්නාමයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස නොයි බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පිළිගනු ලැබූයේ වියට්නාමයේ තොරතුරු සහ සන්නිවේදන කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය ග්යෙන් මාන් හං (Hon. Nguyen Manh Hung) මහතා සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති දිසානායක මහත්මිය ඇතුළු තානාපති කාර්යාලයීය නිලධාරීන් පිරිසක් විසිනි.

හැනොයි නුවර නොයි බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට විශේෂ රථ පෙරහරකින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස නවාතැන් ගෙන සිටින ලොත්තේ හෝටලය වෙත කැඳවාගෙන පැමිණි අතර එහි දී හෝටල් කළමනාකාරීත්වය සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය නිලධාරීහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස පිළිගනු ලැබූහ.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මෙම සංචාරයට එක්ව සිටිති.

 

නව අදහස දක්වන්න