ත්‍රි පුද්ගල විශේෂ අධිකරණයෙන් ගෝඨාභයට අධිචෝදනා | දිනමිණ

ත්‍රි පුද්ගල විශේෂ අධිකරණයෙන් ගෝඨාභයට අධිචෝදනා

කුමුදු හෙට්ටිආරච්චි

රජයේ මුදල් රුපියල් මිලියන 33.9ක් වැයකරමින් වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේ සිද්ධිය සම්බන්ධව අධිචෝදනා 7ක් මත නීතිපතිවරයා පවරා ඇති නඩුවට නොතීසි මත, අධිකරණයේ පෙනී සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7කට බස්නාහිර පළාත් ස්ථිර ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (10) අධිචෝදනා පත්‍ර බාර දෙන ලදී.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කෙරිණි. තවද විත්තිකරුවන් හත්දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදාහැරීමට ද නියෝග කෙරිණි.

විත්තිකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාරදීමට ද නියෝග කළ ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල සියලු විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට ද ඇඟිලි සලකුණු වාර්තාවක් අධිකරණය වෙත කැඳවීමට ද නියෝග කළේය.

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් ‍විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ එවකට හිටපු සභාපති ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, සාමාන්‍යාධිකාරී උදුලාවතී කමලදාස, හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන සුදම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ආබ්‍රහම් ගලප්පත්ති, මහින්ද සාලිය, ශ්‍රීමතී මල්ලිකා කුමාරි සේනාධීර යන විත්තිකරුවන් හට එසේ ඇප නියම වුණි.

විත්තිකරුවන් වෙනුවෙන් ඇප තැබීම සඳහා ග්‍රාම සේවා සහතික සහිතව ඇපකරුවන් ඊයේ (10) විවෘත අධිකරණයට ඉදිරිපත් වූ අතර ඇප තැබූ පසු විත්තිකරුවන් මුදාහැරීමට නියෝග කෙරුණි.

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය සතු මුදල් මෙම ව්‍යාපෘතිය සඳහා වැය කිරීම සම්බන්ධව අධිචෝදනා 07 ක් යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව ඔප්පු කිරීම සඳහා සාක්කිකරුවන් 82 ක් හා ලේඛන 105 ක් ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපේක්ෂා කරයි.

පොදු දේපළ පනත යටතේ හා ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා නඟා ඇත.

නඩුවට අදාළ ලේඛන හා සාක්කි පිටපත් සියල්ල සතියක කාලයක් තුළ විත්තියට ලබා දී අවසන් කිරීමට කටයුතු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් නඩුවට පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසීය. එම ලේඛන විත්තියට ලැබී ඇද්දැයි සලකා බැලීම සඳහා නඩුව ලබන මස 09 වැනිදාට කැඳවීමට ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කළේය.

2013 සැප්තැම්බර් මස 03 හා 2015 පෙබරවාරි මස 02 අතර කාලයේදී විත්තිකරුවන් මෙම වරද සිදුකර ඇති බවට චෝදනා නඟා ඇත.

නඩුව ඊයේ (10) කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් හට අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකිරීමෙන් අනතුරුව විත්තිකරුවන් ඇප මත මුදාහරින්නැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි සියලුම නීතිඥවරු ඉල්ලා සිටියහ.

ඒ අවස්ථාවේ රජය වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ විත්තිකරුවන් මෙම සිද්ධිය සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් වන ප්‍රථම අවස්ථාව මෙය වන බවයි.

විත්තිකරුවන් අධිකරණය නිකුත් කළ නොතීසි මත ඊ‍යේ (10) අධිකරණය හමුවේ පෙනී සිටින බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නඩුව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන ගොස් නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීමට පැමිණිල්ල අපේක්ෂා කරන බව පැවසීය. සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමට සහාය ලබාදීම සඳහා පැමිණිල්ල සෑම විටම සූදානම් බව ද පැමිණිල්ල ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ප්‍රකාශයන් හා ඇමුණුම් විත්තිය වෙත ලබා දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසීය. බාධාවකින් තොරව නඩුව විභාගයට ගැනීම සඳහා වෙනත් ත්‍රිපුද්ගල විනිසුරුවරුන් හමුවේ විභාග වන නඩුවල නඩු කටයුතු අවසන් වන තෙක් විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබුවද මෙය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් බව ද, මෙම චුදිතයන් රජයේ ඉහළ තනතුරු හෙබවූ අයවලුන් බැවින් ද විශේෂයෙන් පළමු විත්තිකරු ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විත්තිකරුවන් අධිකරණයට පැමිණේ යැයි පූර්ව විශ්වාසයක් තිබෙන නිසා විත්තිකරුවන් ඇප මත මුදාහැරීම සම්බන්ධව විරුද්ධව නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසීය.

විත්තිකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලා ඉදිරිපත් කළ කරුණුත් රජය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ කරුණුත් සළකා බලා විත්තිකරුවන් හට ඇප නියම කිරීමට බස්නාහිර පළාත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේය.

විත්තිකරුවනට එරෙහිව පොදු දේපළ පනත යටතේ හා ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇති අතර පැමිණිල්ලට අදාළ කරුණු සළකා බැලීමේදී අධිකරණයට බාධාවක් නැති බව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේය.

ඒ අනුව විත්තිකරුවනට ඇප නියම කළ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විත්තිකරුවන්ගේ ගුවන් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ අතර ගුවන් ගමන් තහනම් කිරීම සම්බන්ධව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම්දීමට ද නියෝග කළේය.

තවද විත්තිකරුවන් විදේශගත වන්නේ නම් අධිකරණ අවසර මත විදේශගත විය හැකි බව ද දැන්විණි.

පළමු විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා හා අලි සබ්රි යන මහත්වරුන් පෙනී සිටි අතර පිළිවෙළින් සෙසු විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න, නීතිඥ සෙනරත් ජයසුන්දර හා නීතිඥ චමින්ද අතුකෝරළ, නිරෝෂන් සිරිවර්ධන යන මහත්වරු පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක, ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ වසන්ත පෙරේරා යන මහත්වරුන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.

ඡායාරූපය-වාසිත පටබැඳිගේ

 

නව අදහස දක්වන්න